ජන දිවිය අරුත් කළ අලුත් සහල් මංගල්‍යය

0
38

සිංහල ආර්ය ජනයාගේ ආරම්භය සහ විකාශනය මෙන්ම පැවැත්ම ගැන කරුණු සෙවීමේදී කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු ජනතාවක් මෙරට වාසය කළ බව පැහැදිලිය. ඒ අනුව දියුණු වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියූ ඔවුන් බත බුලතින් සරු ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියූ බව නොරහසකි.

මහ පොළොව ගිනියම් කළ අව්ව මෙන්ම පොළොවට වැටෙන වැස්ස ආදී මෙකී ස්වාභාවික වෙනස්වීම්වලට මුහුණ දෙමින් ඔවුන් මහ පොළොව සමඟ පොරබදා ආර්ථිකය ශක්තිමත් කළේ කිසිවකුට අත නොපා ජීවත්වීමටය. කැත්ත, උදැල්ල, හරකාබාන ඔවුන් සතු පොදු වස්තූන් විය. වැවෙන් ලැබෙන නිල් දියවරින් ගොවිතැන්බත් සරිකර ගත්තා සේම දාගැබෙන් පන්සලෙන් ඔවුන්ගේ ආධ්‍යාත්මික චින්තනයට අවැසි මනසක් නිර්මාණය කළේය.

මිහිඳු සංස්කෘතියෙන් පෝෂණය වූ මෙරට හර පද්ධතිය රැකගැනීමට සිංහල රජ දරුවෝ දිවිහිමියෙන් කටයුතු කළෝය. එසේම තම යුතුකම වූ රට දැය සමය ආරක්ෂා කිරීමට ද නිරන්තරයෙන්ම වගබලා ගත්හ.

සිංහල සංස්කෘතියේ සමාරම්භය මිහිඳු හිමියන්ගේ පැමිණීමට පෙර වූවක් බව බොහෝ වියතුන්ගේ මතය වේ. මහින්දාගමනයට පෙර සිංහල සංස්කෘතිය ආරම්භ වූ බවට හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් දක්වන අදහස මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් ද පිළිගෙන ඇත. විජයාවගමනයෙන් මෙරට ඉදිවූ අනුරාධ ග්‍රාමය මුල්කරගෙන නව කෘෂිකාර්මික දියුණුවක් ඇති විය.

මහාවංසයේ සඳහන් කරන තොරතුරුවලට අනුව මෙරට ඉදිවූ ආදිතම වැව ලෙස හඳුනාගනු ලබන්නේ ක්‍රි. පූ. හතර වැනි සියවසේ ඉදිකරන ලද බසවක්කුලම වැවය. සිංහල ජනයා ස්වකීය ජල කළමනාකරණ ශඛ්‍යතාව මත නිර්මිත වූ මුල්කාලීන ශිෂ්ටාචාරය තුළින් මානව වංශයේ සුවිශේෂ ස්ථාවරත්වයකට පත්ව ඇත.

සිංහලයා සතු සංවර්ධිත වාරි තාක්ෂණ ඥානය සහ බෞද්ධ ස්මාරක ලොව මවිතයට පත් කිරීමට හැකි විය. වැව සහ දාගැබ පදනම් වූ ආර්ථික රටාවක් බිහිවීම ද සුවිශේෂී අවස්ථාවකි. මෙම පරිසරය තුළ ප්‍රධාන ආහාරය බත් වීමත්, සහල් සපයා ගැනීමට කුඹුරු කිරීමේදී වැව් මඟින් ජලය ගැනීමත් නිසා විවිධ උපකරණ, සාමුහික ක්‍රියා පිළිවෙත් සහිත නව සංස්කෘතියක් පණ්ඩුකාභය රාජ්‍ය සමයේදී ගොඩනැඟිණි.

මෙම පදනම හෙළ සංස්කෘතියේ පදනම බවට පත්වේ. ප්‍රධාන ආහාරය ලෙස සහල් සපයා ගැනීම නිසා වැව රැකියා සම්මුති සහ ජීවනෝපාය මත පදනම්ව ගොඩනැ‍ඟෙන සංස්කෘතිය හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් හඳුනාගන්නේ ‘සහල් සභ්‍යත්වය’ යනුවෙනි.

මිහිඳු මාහිමියන්ගේ ආගමනය සිංහල සංස්කෘතිය නව දිශානතියක් කරා මෙහෙය වූ ප්‍රබලතම සංස්කෘතික විප්ලවය වශයෙන් පෙන්වා දීමට පුළුවන. මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් පසු අටළොස් ශ්‍රේණියක කුලවල වෘත්තිකයන් මෙරටට පැමිණීමෙන් අපේ රට ආර්ථික, දේශපාලනික, සාමාජික වශයෙන් ඉහළ තලයකට පැමිණි බව නොරහසකි. මහා දාගැබ්, මහා වැව් පමණක් නොව රාජකීය උද්‍යාන, රාජකීය පොකුණු, විවිධ ගොඩනැගිලිවලින් අලංකාර නගර නිර්මාණයක් පණ්ඩුකාභය රජුගෙන් පසුව ඇරඹි බව ඉතිහාසය පෙන්වා දෙයි.

ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමත්, මහා විහාරය වැනි විශිෂ්ට ගණයේ අධ්‍යාපන ආයතන බිහිවීමත් මහාමෙවුනා උයන, ථූපාරාමය වැනි පරම පූජනීය ස්ථාන ගොඩනැඟීම තුළින් මිනිසුන්ගේ චිත්ත සන්තානය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර රැසක් මේ තුළින් බිහිවීමට හේතු විය. විශේෂයෙන් තමන්ගේ ආර්ථීකය ශක්තිමත් කළ වී ගොවිතැනේදී සිදුවන විපත් මඟහරවා ගැනීමේ අරමුණින් හා සශ්‍රික බව අරබයා පුද පූජා පැවැත්වීමේ සම්ප්‍රදායක් මේ අනුව බිහි විය.

වැසි නොලැබෙන කාලවලදී ශ්‍රී මහා බෝධියට කන්නලව් කළ අතර නියං සමයේදී තිසාවැවෙන් පැන් ගෙන පෙරහරෙන් ගොස් බෝධීන් වහන්සේ නහවා තිබේ. දළදා වහන්සේට ද මෙබඳුම බලයක් පවතින බවට සමස්ත ජන සමාජයම පිළිගෙන ඇත.

ශ්‍රී සුමංගල ශබ්දකෝෂයට අනුව කුඹුරු යනු ‘ගොයම් වැවෙන දිය සහිත කෙත’ ය. කෙත හෙවත් ඛෙත්ත යන්නද ‘කුඹුර’ යන අරුත දීමට යෙදෙන්නකි. ත්‍රිපිටක අර්ථ කෝෂයට අනුව ‘සාරඛෙත්ත’ යනු සරුසාරවත් කුඹුර යන අරුත ගෙන දෙයි. කුඹුර, කුබර, කෙත විය ආදී නම්වලින් ද එය ශිලා ලේඛනවල දැක්වේ. පූජාවක් පිළිබඳ සඳහන් කරන රිටිගල සෙල්ලිපියේ ද කුබර හා කෙත යනුවෙන් සඳහනක් දැකිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here