Home උණුසුම් පුවත් ජනපතිට, අගමැතිට සහ ජනතාවට ආශිර්වාද පතා රුවන්වැලි සෑ පුදබිමේ ආගමික වතාවත්.

ජනපතිට, අගමැතිට සහ ජනතාවට ආශිර්වාද පතා රුවන්වැලි සෑ පුදබිමේ ආගමික වතාවත්.

by Hela news

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, රටට සහ ජනතාවට ආශිර්වාද පළ කරමින් අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑ රඳුන් අභියස ආගමික වතාවත් සිදුකර තිබේ.

රුවන්වැලි මහ සෑ රඳුන් අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විශේෂ චීවර කප්රුක් පූජාවට ද සහභාගී වී ඇති අතර අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ත්‍රෛයිනිකායික මහනායක, අනුනායක නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය, ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම ආශිර්වාද පිංකම පවත්වා තිබේ.

එහිදී අනුශාසනා සිදුකරමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි සඳහන් කළේ, සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව නව දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනිකව කිළිටි නොවූ නායකයෙකු බවය.

මෛත්‍රිය, දයාව සහ අධිෂ්ඨානය ප්‍රතිපත්තිය කරගත් වත්මන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රට වෙනුවෙන් සුවිසල් වැඩකොටසක් ඉටු කරමින් සිටින බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අතීතයේ මෙන්ම පසුගිය යුද ජයග්‍රහණයේදී ද මහා සංඝරත්නය රාජ්‍ය නායකත්වයට අවවාද අනුශාසනා ලබාදුන් බව පැවසූ පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා කෙරෙහි නිරන්තරයෙන් ඇහුම්කන් දෙන නායකයන් බව සඳහන් කළහ.

සියලුදෙනා එක්ව ලැබූ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කර ගැනීමේ හෝරාව අද එළැඹ ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ විනයගරුක සමාජයක්, බෙදුම්වාදය සහ ජාතිවාදය තුරන්කර සියලුදෙනා සහජීවනයෙන් ජීවත්වන රටක් ගොඩනැගීමට සියලුදෙනා එකාවන්ව එක්විය යුතු බව ද සඳහන් කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමි,

“ඔබතුමා සාම්ප්‍රදායික දේශපාලඥයෙක් නොවෙයි. ඔබතුමා මේ රටේ රාජ්‍ය පරිපාලනයේ හිටපු රාජ්‍ය නිලධාරියෙක්. ඔබතුමා නායකත්වයට පත්වුණාට ඔබතුමා නිරන්තරයෙන් බලන්නේ, පුද්ගල නායකත්වයට වඩා ප්‍රතිපත්ති නායකත්වයට තැනදීමටයි. මිනිසුන්ගේ ජීවන අවශ්‍යතාවයන් ඉතාමත් මැනවින් තේරුම් ගෙන ඔබතුමා කටයුතු කරන්නේ. අනාගත දැක්මක් තිබෙනවා. සංවර්ධනයට සැලසුම් තිබෙනවා. ඒ වගේම පොදු අරමුණුවලින් කටයුතු කරනවා. නිර්මාණශීලි දැක්මක් තිබීම තවත් වැදගත්. තනතුරෙන් හිස උඳුම්මවා නොගෙන කටයුතු කිරීමත් අප රට වැනි රටකට ඉතාම වැදගත් කාරණයක්. කුරීරු දේශපාලන ක්‍රමයෙන් කිළිටු නොවුණ චරිතයක් ඔබතුමා ගොඩනගාගෙන තිබෙන්නේ. ආනයනය කරන රටක් වු මේ රට අපට පේනවා නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලියට අප රට ගෙන යෑම බොහෝම අමාරු කාර්යයක්. එහෙත් ඔබතුමා ගන්නා වු උත්සහයට අපි ආශිර්වාද කරනවා.”

පාලකයන්ට අපහාස කිරීමෙන් හෝ බැණ වැඳීමෙන් මෙම දුෂ්කර අවස්ථාවෙන් එගොඩවිය නොහැකි බවත්, රටේ ඉදිරි ගමන් මඟ වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය සහ අවංක කැපවීම අවශ්‍ය බවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ විශේෂ අනුශාසනාවක් සිදුකරමින් පෙන්වා දුන්හ.

“අවුරුදු 50ක් තිස්සේම අපේ රටට හිටපු පාලකයන් හැමදෙනෙක්ම වෙනත් රටවලින් ණය අරගෙන තමයි කන්න දුන්නේ. මේ වර්තමාන ජනාධිපතුමාටවත් අගමැතිතුමාටවත් බැනලා වැඩක් නෑ. හිටපු හැම දෙනාම වගකියන්න ඕනේ මේ මහත් දුෂ්කර අවස්ථාවට ලංකාව පත්කරලා තියෙන්නේ. සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ කාළේ යම් යම් පිටරටින් ගෙන්න දෙවල් සීමා කරන්න කළා. දැනුත් එහෙම කරන්න සිද්ධවෙලා තියෙනවා. හැබැයි ඒ කළේ මේ ජනතාවට හිංසා පීඩා කරන්න නෙමේ. මේ රට ගොඩගන්නයි ඒ දෙවල් කළේ. දැනුත් කරන්නේ එයයි.”

ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන සමය ඉතා අභියෝගාත්මක සමයක් බවත් සියලු ගැටලු නිරවුල් කර ගනිමින් ඉදිරියට යාමට අමරපුර මහා සංඝ සභාවේ අශිර්වාදය එතුමාට හිමිවන බවත් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන් වහන්සේ  විශේෂ අනුශාසනාවක් කරමින් පැවසූහ. 

කොරෝනා අභියෝගය ජය ගනිමින් ජන ජීවිතය සුවපත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට උන්වහන්සේ ආශිර්වාද පළ කළහ. 

ඉවසීමෙන් යුතුව කටයුතු කොට රට පෙරට ගැනීමට ජනපතිට සියලුදෙනාගේ සහාය හිමිවිය යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමිපාණන් වහන්සේ පැවසූහ. 

වළගම්බා රජ සමයේ සිට නියං සාගතවලට රට මුහුණදී ඇති බවත් එම සාගතයන්ගෙන් රට බේරාගැනීමට මහාසංඝරත්නය නිරන්තරයෙන් අවවාද, අනුශාසනා සිදුකළ බවත් පැවසු උන්වහන්සේ ඉතිහාසය දන්නා වත්මන් ජනාධිපතිවරයා ද එම දුෂ්කර සමයේ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අපේක්ෂා කිරීම සතුටට කරුණක් බව සඳහන් කළහ.

සියලු පක්ෂ, පාට භේද පසෙකලා අපේ රට, අපේ ජාතිය යන හැගීමෙන් යුතුව රට ගොඩනැඟිමේ වැඩපිළිවෙළට සහාය දීම සියලුදෙනාගේ වගකීම බව ද උන්වහන්සේ අවධාරණය කළහ. 

0 comment
0

Related Posts

Leave a Comment