Home දේශීය පුවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා දැයි දැඩිව විමර්ශනය කළ යුතුයි

ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා දැයි දැඩිව විමර්ශනය කළ යුතුයි

by Hela news

සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කර රට විවෘත කිරීමත් සමඟ ජන ඒකරාශි වීම් වන හෙයින්, එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී සෞඛ්‍ය අංශ ඊයේ (1) අවධාරණය කළේය.

කොවිඩ් වසංගතය පැතිරී යෑමේ අවදානම යළි මතු නොවීමට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය බවද සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පැවසූහ.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (1) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීම පැවැති අවස්ථාවේදී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවයට කැඳවීමේදී හා ප්‍රවාහන කටයුතු පිළිබඳ අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ, අදාළ චක්‍රලේඛයන්ට අනුව පවත්වාගෙන යා යුතු බවත් අදාළ චක්‍රලේඛ මේ වන විටත් අමාත්‍යාංශ වෙබ් අඩවි මඟින් පළ කර තිබෙන බවත් එහිදී අනාවරණය කළේය.

තවද මගී අවශ්‍යතාව මත බස් රථ සහ දුම්රිය ප්‍රමාණවත් පරිදි ධාවනයට එක් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද එම කමිටුවේදී පෙන්වා දුන්නේය.

සංචාරක සහ ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

වසංගත තත්ත්වය පාලනය කර, ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යෑමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස්, මාධ්‍ය මඟින් ජනතාව වෙත අඛණ්ඩව දීමටද එහිදී තීරණය විය.

0 comment
0

Related Posts

Leave a Comment