Home කාලීන පුවත් ‘ජංගි හොරා’

‘ජංගි හොරා’

by Hela news

ලාංකික සිනමාවේ ළමා චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙස විරුදාවලී ලබා තිබූ සෝමරත්න දිසානායකයන් වෙනස්ම සිනමා ආඛ්‍යානයක් වෙත යොමු වී තිබෙන ආකාරය ජංගි හොරා සිනමා කෘතිය තුළින් දැකගත හැකිය. ජංගි හොරා සිනමා කෘතියට ඔහු විසින් වස්තු විෂය කොට ගෙන තිබෙන්නේ සමාජ මනෝ විද්‍යාවේ දී සාකච්ඡුාවට බඳුන් කෙරෙන එක්තරා මනෝ ලිංගික ව්‍යාධියෙන් පෙළෙන තරුණයෙකු වටා ගෙතුණු කතා ප‍්‍රවෘත්තියක් ය.

සිනමා කෘතිය දිගහැරෙන්නේ කාන්තා යට ඇඳුම් සොරකම් කරමින් ඉතා අහිංසක ලිංගික ආස්වාදයක් විඳින තරුණයකු වටා ය. සෑම් නමැති මේ තරුණයා කාන්තා යට ඇඳුම් සොරකම් කරමින් සහ කාන්තාවන්ගේ පියයුරු අතගාමින් ලිංගික ආස්වාදයක් විඳින තරුණයෙකි. මේ තත්ත්වය නිසා ඔහු විවිධ අවස්ථාවලදී සමාජයෙන් අවමානයට ලක්වනවා පමණක් නොව පහර කෑම්වලට ද ලක්වෙන ආකාරය සිනමාපටය පුරා අපූරුවට නිර්මාණය කිරීමට අධ්‍යක්ෂකවරයා සමත් වී තිබේ. පුබුදු චතුරංග ඒ චරිතයට ප‍්‍රශස්ත මට්ටමේ සාධාරණයක් ඉටුකරන බව කිව යුතුය.

‘සෑම්’ වැනි මනෝ ලිංගික ව්‍යාධි තත්ත්වයන් ගෙන් පෙළෙන පුද්ගලයන්ගෙන් සමාජය අනියම් ආකාරයට වාසි අත්කර ගන්නා ආකාරය කරුණාගේ චරිතයත් මහේෂ්ගේ චරිතයත් යොදා ගෙන අපූරුවට නිරූපණය කර තිබෙයි. ආර්ථික පීඩනය නිසාම මෙහෙකාර කරුණා සෑම්ගෙන් එක තනයක් ඇල්ලීමට රුපියල් 200 ක් අය කරයි. මෙය සිනමාපටය තුළ හාස්‍යජනක දර්ශනයක් ලෙස නිර්මාණය කිරීමට අධ්‍යක්ෂකවරයා සමත් වී තිබෙයි. තනය ඇල්ලීමට දීමෙන් මසකට මුදලක් උපයාගත් කරුණාට එය අහිමි වී යන්නෙ නයනීගේ මැදිහත් වීම නිසාය. පසුව කරුණා එක තනයක් රුපියල් 50 කට හෝ අලෙවි කිරීමට උත්සාහ ගැනීම තුළින් ගැඹුරු දේශපාලන යථාර්ථයක් සංකේතවත් කිරීමට අධ්‍යක්ෂකවරයා උත්සාහ ගෙන ඇති බව කිව යුතුය.

සියල්ලම වෙළෙඳපළ ක‍්‍රමය විසින් ගිලගනිමින් තිබෙන වටපිටාවක මානවීය ධර්මතා විරහිත වීම ස්වභාවය වෙයි. සමාජය ධර්මතා විරහිත තත්ත්වයකට පත් වූ විට හුදු ස්වාර්ථය මිස පරාර්ථය ගැන නොසිතන තත්ත්වයක් සමාජය තුළ ඇති වීම ස්වාභාවිකය. එය නයනී හැර සෙසු සියලුම චරිත තුළින් නිරූපණය කිරීමට නිර්මාණකරු සමත් වී තිබෙයි.

‘නයනි’ගේ චරිතය සිනමාපටය තුළ අධි යථාර්ථවාදී කාන්තාවකගේ චරිතයක් ලෙස ඉස්මතු කිරීමට නිර්මාණකරුවා උත්සාහ ගෙන තිබෙයි. සෑම් ගිටාරය වයන විට නයනී අතීතකාමය තුළ ආස්වාදනීයත්වයට පත්වෙයි. සෑම්ගේ ගිටාර් වාදනය තුළින් නයනී මානසිකව තම ළමා කාලයට දිවයයි. ඒ තුළින් ඈ තුළ පැවති පොදු ගැහැනු ගති ඉක්මවා යමින් දුර්ලභ වූ ස්ත‍්‍රී ගති ස්වභාවයන් මතුවෙයි. ඈ තුළ සෑම් කෙරෙහි ස්නේහයක් උපදී. නයනී තුළ ජීවත් වන ගැහැනිය සහ ස්ත‍්‍රිය අතර මානසික අරගලය පුපුරා යන මොහොතක් හැටියට ඉස්මතු වන්නේ ඇය සෑම්ට අනුකම්පා විරහිතව සිදු කරන බැණ වැදීමයි. ‘‘මම තමුසෙගෙ බිරිඳත් නෙමේ, අම්මත් නෙමේ, සහෝදරයත් නෙමේ. වැඩකාරිත් නෙමේ’’ යනුවෙන් පැවසීමෙන් එය ගම්‍ය වෙයි. එම ප‍්‍රකාශය නයනීගෙ ගැහැනු ගතිය බලවත්ව නැගී සිටි අවස්ථාවක් ලෙස පෙන්වාදිය හැකිය. නමුත් එයින් පසුව නයනී තුළ ජීවත් වන ස්ත‍්‍රිය නැගී සිටී. කරුණා හුදු ගැහැනියක් පමණි. අල්ලපු ගෙදර කාන්තාවද ගැහැනියක් ම පමණි. නයනී හැරුණුකොට මේ සිනමා පටයේ හමුවන සැම කාන්තාවක්ම හුදු ගැහැනුන්ම පමණි.

මෙම සිනමාපටය තුළ ඉතාමත් සාර්ථක රංගනයක නියැලෙන්නෙ කරුණාය. මෙහෙකාර තරුණියක ලෙස ඇය රංගනයක යෙදෙමින් සිනමාපටය තුළ කිහිප විටක්ම නිරුවත් වෙයි. එම රංගනය ලංකාව වැනි ගෝත‍්‍රවාදී ආකල්පවලින් නන්නත්තාර වී සිටින මිනිසුන් ඉන්න රටකට අති දුෂ්කර ය. නමුත් ඇය එම රංගනය ඉතා ප‍්‍රශස්ත ලෙස සිදුකර තිබේ. ඇයගේ නිරුවත දකින පේ‍්‍රක්ෂක මනස තුළ කාමුක හැඟීම් ඇති නොකිරීමට තරම් ප‍්‍රබල නිරූපණයකට එය ගෙන ඒමට නිර්මාණකරු දක්වා ඇති සමත්කම අගය කළ යුතුය.

ජංගි හොරා සිනමාපටය නැරඹීමට බොහෝ පිරිසක් පැමිණෙන්නේ ද ගැහැනියකගේ නිරුවත දැකීමට බොහෝ පිරිමින් තුළ අවිඥානික කෑදරකමක් පවතින හෙයින් යැයි කිව යුතුය. මෙම සිනමාපටය සඳහා යොදාගෙන තිබෙන භාෂාව අපූරුය. සිංහල ජනවහරේ එන වචන අමුවටම යොදාගෙන තිබීම ද මෙම සිනමාපටය පේ‍්‍රක්ෂකයන් වැළඳ ගැනීමට හේතුවක් වී ඇති බව කිව යුතුය. ඒ නයින් බලන කල ජංගි හොරා අපූර්වතම සිනමා ආඛ්‍යානයක් ලෙස අවසාන වශයෙන් හඳුන්වා දිය හැකිය.

0 comment
0

Related Posts

Leave a Comment