Home කාලීන පුවත් ඡන්දෙට කලින් ජනතාවගේ බලය පෙන්වන්න පුළුවන්

ඡන්දෙට කලින් ජනතාවගේ බලය පෙන්වන්න පුළුවන්

by Hela news

අරගලයක් ගැන වාසුගෙන් ඉඟියක්

අප මේ පසුකරමින් සිටින්නේ මෙරට ඉතිහාසයේ අතිදුෂ්කර සමයකි. කොරෝනා මෙරට ජනසමාජයේ සියලූ කටයුතු අකර්මණ්‍ය කරද්දි ජනතාව සිටිනුයේ දැඩි පීඩාවකය. අහස උසට යන බඩු මිලය. අනෙක් පසින් භාණ්ඩ හිඟය. රටේ විනිමය අර්බුදය විසඳීම උදෙසා ආණ්ඩුව මේ මොහොතේ රාජ්‍ය සම්පත් පිටරැටියන්ට විකුණන බවට චෝදනා නැගේ. එහි බරපතළම කාරණය නම් ආණ්ඩුව ඇතුළෙන් එවැනි විරෝධී හඬක් නැගීමයි. ‘මහජන මන්ත‍්‍රණ සභාව’ ඊට හොඳම නිදසුනයි. ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා මේ මොහොතේ සිටිනුයේ මහජන මන්ත‍්‍රණ සභාව ඇතුළේ ආණ්ඩු විරෝධී හඬට පණපොවමිනි. මේ ඔහු ඒ විරෝධයන් ගැන දැක්වූ අදහස්ය.

ප‍්‍රශ්නය:- මේ මොහොතේ ඔබ ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව බරපතළ ලෙස විවේචනය කරනව. ඒ වෙනුවෙන් ‘මහජන මන්ත‍්‍රණ සභාව’ නමින් සංවිධානයකුත් පිහිටුවාගෙන තියෙනව. ආණ්ඩුවට මේ මොහොතෙ තියෙන අසාර්ථක බව මැඬලීමට කරන බොරු රඟපෑමක් ලෙසින් තමයි මේක විපක්ෂය නම් දකින්නෙ. ඇත්තටම මේ කරන්නෙ ජනතාව ඇන්දවීමක්ද?

පිළිතුර:- ඉතිහාසය මේ පිළිබඳව තීන්දුව දෙයි. ඔය චෝදනා කරන ජනතා විමුක්ති පෙරමුණට ඉතිහාසයෙන් දීල තියෙන තීන්දුව දරුණු ඉරණමක්. අපි ගත්ත සාධනීය තීරණයන් උඩ ජනතාව අපිට දීල තියෙන තීන්දුව කියන්නෙ ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය. ඇත්තටම ජනතා විශ්වාසයක් නැත්තෙ ජනතා විමුක්ති පෙරමුණට. ඒනිසා ඔය ප‍්‍රකාශය මේ රටේ ජනතාව විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා අවසාන වශයෙන් සිදුවීම් කෙළවර වී ගෙන එද්දි මේකෙ ඇත්ත නැත්ත පැහැදිලි වෙයි රටටයි, ජනතාවටයි. එතකොට ජනතා විමුක්ති පෙරමුණට නැගිටල ඉන්න කකුල් දෙකක් නැති වේවි.

ප‍්‍රශ්නය:- ඒ කියන්නෙ මේ අරගලය ආණ්ඩුවට එරෙහිව ඉදිරියෙදිත් දිගට අරගෙන යනව කියන එකද?

පිළිතුර:- ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්නෙ නෑ. මොකද අපිත් ආණ්ඩුවට අයිතියිනෙ. අපි විරුද්ධ වෙන්නෙ ආණ්ඩුව ඇතුළෙ වැරැදි තීන්දු තීරණවලට.

ප‍්‍රශ්නය:- මහජන මන්ත‍්‍රණ සභාවෙදි ඔබ ඇතුළු කණ්ඩායම එදා කිව්වෙ බැරිම තැන මහජනයා ඉදිරියට ඇවිත් මේ විදිහට විවේචනය කරනව කියල. මහජනයාගේ ප‍්‍රශ්න විසඳන්න තෝරාපත් කරල එවපු නියෝජිතයන් දැන් කටයුතු කරන්නෙ ඒ වෙනුවෙන් නොවේ. මහජන නියෝජිතයෝ මහජනයා ඉදිරියට ඇවිත් ඔවුන්ගෙ දුක කීමක්ද මේ වෙන්නේ…

පිළිතුර:- ජනතාවට තමයි පරම බලය තියෙන්නෙ. ඒ නිසා ජනතාව තමයි මේ ගැන අවසාන විනිශ්චයක් දෙන්න ඕන. ජනතාවම තමයි ශ්‍රේෂ්ඨාධිකරණය. ව්‍යවස්ථාදායකයත්, විධායකයත් අයිති ජනතා පරමාධිපත්‍යයට ඇමතීම හැර අපිට වෙන කරන්න දෙයක් නෑ. තවත් පිරිසක් මේ වෙද්දි උසාවි ගිහින් තියෙනව. වෘත්තීය සමිති වැඩවර්ජනයක් ආරම්භ කරල තියෙනව ස්ථාන තුනක. මේ ක‍්‍රියාදාමයක් ඔක්කොම එකතුවීමේ ප‍්‍රතිඵලය ආණ්ඩුවේ වැරැදි තීන්දු වෙනස් කිරීමට හේතුවෙන්න පුළුවන්.

ප‍්‍රශ්නය:- හරි… පරමාධිපත්‍යය ජනතාවට තමයි. නමුත් අපි මේ විරෝධයන්ගෙ ප‍්‍රතිඵල ලැබෙන්නෙ නම් තව අවුරුදු තුනක්වත් බලන් ඉන්න ඕන. මොකද මේ ආණ්ඩුවෙ නීත්‍යානුකූල ආයුෂ තව අවුරුදු තුනක් තියෙනව. එතකොට වෙන්න ඕන දේවල් සේරම වෙලා තියෙයි නේද?

පිළිතුර:- නෑ, ජනතා පරමාධිපත්‍ය තීන්දුව දෙන්න ඡන්දයක් ඕනම නෑ. ඡන්දයට පෙර මේ රටේ ජනතාවගෙ මතය පෙන්වන්න පුළුවන් . දැන් වෘත්තීය සමිති පෙන්වනව වගේ. අනෙක් පැත්තෙන් අධිකරණය පෙන්වන්නට ඉඩ තියෙනව. මේ රටේ ජනමතය ආණ්ඩුවේ වැරැදි ක‍්‍රියාමාර්ගයන් ගැන විරෝධය පළ කරන්න පටන්ගත්තොත් එය තවත් ක‍්‍රියාමාර්ගක්. පෝස්ට්කාඞ් මගින් හෝ ජනතාව සිය මතය ඉදිරිපත් කළහොත් එය ජනමතය විදිහට තේරුම්ගන්න වෙනව.

ප‍්‍රශ්නය:- ඔබ මේ කියන්නෙ මහා ජනතා අරගලයක් ගැන ඉඟියක්ද?

පිළිතුර:- නෑ…. ජනතා අරගලයක් නෙමෙයි. විරෝධයක් පෑමේ අවස්ථාවක්. පිකටිං, පෙළපාලිවලින් කියන්නෙ විරෝධය තමයි. අපිත් එක්කම හිටපු පිරිස අපට විරෝධය පානව නම් ඒක තමයි සංඥාව මෙය වෙනස් කළ යුතු බවට.

ප‍්‍රශ්නය:- ඔබලාගේ මේ විරෝධය ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගැනීමක්ද?

පිළිතුර:- ඕන කෙනෙක් අනෙක් කෙනා මනින්නෙ තමන්ගෙ මිම්මෙන්. අපි ඡන්ද බලාගෙන කටයුතු කරනව නම්, අපි අරන් තියෙන මේ ස්ථාවරය නිසා වැඩියෙන් ඡන්ද ලැබෙනව නම් ඒකම නේද සාධකය ආණ්ඩුව අපි මේ කියන ස්ථාවරය ගත යුතු බවට.

ප‍්‍රශ්නය:- ඔබ මේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයෙක්. ඒ වගේම ආණ්ඩු විරෝධී අනෙක් පිරිසත් මහින්ද සුළඟ හරහා මේ ආණ්ඩුව

ගොඩනගන්න ඉදිරිපෙළ හිටපු අය. නමුත් මේ වෙද්දි මේ ආණ්ඩුවේ ලොක්කො ඔබ ඇතුළු පිරිස කියන දේවල් අහන් නැති තත්ත්වයට පත්වුණේ කොහොමද?

පිළිතුර:- ආණ්ඩුව නෙමෙයි… ආණ්ඩුව ඇතුළෙ යම් යම් තීරණ ගන්නා වූ අවස්ථාවන්හිදී අපි ඒවා ගැන පෙන්වා දෙන හරි වැරැද්ද නොතකා කටයුතු කිරීම ගැන අවනඩුවයි මේ තියෙන්නෙ.

ප‍්‍රශ්නය:- කවුද ඔබලා කියන දේවල් අහන්නෙ නැත්තෙ….

පිළිතුර:- මම එතනදි නම් කියන්න කැමැති නෑ. එහෙම වුණොත් ඒක පුද්ගලබද්ධ වෙනව. ඒනිසා නම් නොකිය ප‍්‍රශ්නය කියනව.

ප‍්‍රශ්නය:- ඇයි නම් නොකියන්නෙ. ඒ ඔවුන් සුපිරි බලයක් ගොඩනගාගෙන තියෙන නිසාද?

පිළිතුර:- නෑ… එතකොට අපිත් එක්ක උරණ වෙන්න ඔවුන් ඉලක්ක කරගනිමින් පුද්ගලිකව ජනතාව පෙළගස්වනව කියල. අනෙක් එක නම් කියන එකෙන් වෙන්නෙ මේ ප‍්‍රශ්නය තවත් අවුල්වෙන එක.

ප‍්‍රශ්නය:- ඇමැති මණ්ඩලය ඇතුළෙ ඉඳගෙන මේ දේවල් විසඳගන්න අවස්ථාවක් ඇත්තෙම නැද්ද?

පිළිතුර:- එහෙම අවස්ථාවක් නැති නිසා තමයි අපි මේ පියවර අරන් තියෙන්නෙ.

ප‍්‍රශ්නය:- එදා ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් අලියයි හෙණ්ඩුවයි උපමාවට ගෙන කී කතාව ගැන මොකද කියන්නේ. එදා උන්වහන්සේ සඳහන් කළේ අලියා හරිමග ගෙන යෑමට භාවිතා කරන හෙණ්ඩුව අලියා පාරෙන් පිට පැන්න පසු ”අනේ අලියා හරි පාරේ යන්නේ නෑනේ” කියනවා වගේ වැඩක් තමයි ඔබතුමන්ලා මහජන මන්ත‍්‍රණ සභාව හදලා මේ කරන්නේ කියලයි.

පිළිතුර:- ඒ හාමුදුරුවන්ගෙ උපමාව සම්පූර්ණයෙන්ම වැරැදියි. හෙණ්ඩුව කියන්නෙ අපි නෙමෙයි, ජනතා පරමාධිපත්‍යය. අපි ජනතාව විසින් පත්කරපු මණ්ඩලය. ඒ මණ්ඩලය ඇතුළෙ යම් වැරැදි තීරණයක් ගැන ප‍්‍රශ්නයක් මතුවෙද්දි අපි කොහොමද හෙණ්ඩුව වෙන්නෙ. ඒ නිසා මේක අලියයි හෙණ්ඩුවයි ගැන කතාවක් නෙමෙයි. අපි ඔක්කොම ඇතුළත් මේ ආණ්ඩුවට. එහෙම බැලූවොත් අපි ඔක්කොම අලිය. හෙණ්ඩුව තමයි ජනතාව, වෘත්තීය සමිති.

ප‍්‍රශ්නය:- ඔබතුමාගෙ ඉතිහාසය ගැන බලද්දි වෘත්තීය සමිති නායකයෙක්. නමුත් දැන් දැන් වෙද්දි ඔබ තුළ තිබුණු රැඩිකල් අදහස් දියවෙමින් තියෙන බවක් පේනව…

පිළිතුර:- මම ඒ ගැන හිතලත් නෑ, මට දැනිලත් නෑ. ඒ මොහොතේ කළ යුතු හොඳම දේ මම කරනව. මම ගැන තක්සේරුවක් කරන්න මට අවස්ථාවක් ලැබිල නෑ. රැඩිකල්වීම මම හිතල කරපු දෙයක් නෙමෙයි. එහෙම වුණේ රටේ ප‍්‍රශ්න ගැන හිතේ තියෙන දැවිල්ලට.

ප‍්‍රශ්නය:- ඔබලාගේ විරෝධයන් හමුවේ ආණ්ඩුව ගත් තීරණ හකුලා ගනියිද? උදාහරණයකට කෙරවලපිටිය බලාගාරය ඇමරිකාවට විකිණීම වගේ තීරණ…

පිළිතුර:- බලාගාරය ඇමරිකාවට විකිණීම විතරක් නෙමෙයි, මේ බලාගාරයේ අනෙත් අතට අන්සතු වීමත් එක්ක අපේ රටට ගෑස් සැපයීමේ ඒකාධිකාරය විදේශයනට යනව. එම තීරණ හකුලා ගනියි කියන බලාපොරොත්තුවෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නෙ. ආණ්ඩුව කියන්නෙ රටට සල්ලි නැති නිසා මේ දේවල් කරනව කියල… ආණ්ඩුවට ඩොලර් නැති නිසා රටේ සම්පත් විකිණීම භයානක තත්ත්වයක්. අපි ඩොලර්වලට විකුණන්නෙ නැති දේවල් තියෙනව. ඒවා අතර තියෙනව අපේ ජාතික මර්මස්ථාන. සෞභාග්‍යයේ දැක්මෙත් තියෙනව ඒව විකුණන්නෙ නෑ කියල. ඒ නිසා ඒ ගැන අපේ සමාවක් නෑ. මේවට අපි විසඳුම් සොයන්න ඕන අපේ රට, ජනතාව පාවා නොදී.

ප‍්‍රශ්නය:- ජාතික මර්මස්ථානය චීනයට, ඇමරිකාවට, ඉන්දියාවට වෙන්දේසි වෙන බවත්, රනිල්, චන්ද්‍රිකා පාලන කාලවලදීවත් සිදුනොවන ආකාරයේ විකිණීමක් මේ ආණ්ඩුවෙන් සිදුවෙන බවත් තමයි විමල් වීරවංශ ඇමැතිතුමා කියන්නෙ. එහෙම කියමින් ඔබලාට ආණ්ඩුවෙ තවදුරටත් ඉන්න පුළුවන්ද?

පිළිතුර:- ආණ්ඩුවෙ ඉන්න වෙනව. ජනතාව අපිව පත්කරල තියෙන්නෙ ආණ්ඩුවක් හදන්න. මහජන වරමෙ තියෙන්නෙ ආණ්ඩුවෙ ඉඳගෙන මේක කරපල්ල කියල. ඒ නිසා ඒක අපි හිතා දරාගෙන වැඩකරන නිසා රටේ මර්මස්ථාන දෙන වෙලාවක අපි නිහඬව ඉන්නෙ නෑ කියල. බටහිර ජැටිය සම්බන්ධයෙන් තත්ත්වය ගැන ගනිමු. මීට පෙර ජැටියක් සංවර්ධනය කරන චීන සමාගමකට දුන්න. ඒ සමාගම අපිට සියයට පහළොවක් ආදායමෙන් දෙනව. බටහිට ජැටිය ලබාදීමෙදි චීනයට ලබාදුන්න කොන්දේසි මතම ලබාදෙන බව තමයි කිව්වෙ. නමුත් ඊට වඩා නරක කොන්දේසි තමයි අපි බාරගෙන තියෙන්නෙ බටහිර ජැටිය සංවර්ධනයෙදි. අපේ රාජ්‍ය භාගය අපේ බදු මුදල බලද්දි ඒක පැහැදිලියි.

ප‍්‍රශ්නය:- රටේ සම්පත් නොවිකුණා මේ විනිමය අර්බුදයෙන් ගොඩඑන්න ඔබ ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කරන විසඳුම් මොනවද?

පිළිතුර:- විකල්ප විසඳුම් ඕන තරම් තියෙනව. ගෑස් සමාගම ප‍්‍රශ්නය ගනිමු. අපි පළමුවෙන්ම බලවත් ගෑස් සැපයුම් සමාගමක් සම්බන්ධයෙන් ආණ්ඩු – ආණ්ඩු අතර එකඟතාවක් ඇති කරගන්න ඕන. රුසියාවේ ඉතා ප‍්‍රබල ගෑස් සැපයුම් සමාගම් තියෙනව. ලෝකයේ ඉහළ පිළිගත් සමාගම්. අපි මේ ගිවිසුම් ඇතිකරගෙන තියෙන ගෑස් සමාගම ලෝකයේ පළමු සමාගම් 250 අතරෙවත් නෑ. පළමු සමාගම් දහය අතර තිබෙන රුසියානු සමාගම් තියෙනව. ඒ නිසා ආණ්ඩු – ආණ්ඩු අතරේ ඇතිවෙන එකඟතා ඇතිවුණොත් ගෑස් සැපයුම ඒ හරහා ඇති කරගන්න පුළුවන්. එතනදි 51/49 පදනම මත බද්ධ සමාගමක් ඇතිකරල ක‍්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකෙන් ගෑස් සැපයීමෙන් එන ලාභය අපට 51කුත්, ආයෝජකයට 49කුත් යනව. ඒක තමයි මෙච්චර කලක් අපි අනුමත කරගෙන තිබුණු ක‍්‍රමය. නමුත් අද තියෙන ගිවිසුම් අනුව ගෑස් සපයන සමාගමට ඒකාධිකාරයක් පමණක් නෙමෙයි, විශාල ලාභය අයිතිවෙන්නෙත් ඒ සමාගමට. බලාගාරය වෙනුවෙන් අපේ ගෙවපු සියලූ ණය ගෙවල අහවරවෙලා තියෙන මොහොතක සියලූ ආදායම් අපිට. එවැනි වාසි සහගත අවස්ථාවක සීයයට 40ක් විදෙස් සමාගමකට විකිණීම මගින් අවුරුදු පහක් තුළ ඩොලර් මිලියන 600ක් පිටට යනව.

අනෙක රටේ ණය බේරන්න අපිට කරන්න තියෙන්නෙ ණය ප‍්‍රතිව්‍යුහගත කර ගැනීම. එතනදි අපිට තව කාලයක් ණය ගෙවන්න වෙයි. එතනදි අපේ රටේ සම්පත් වැඩිදියුණු කර ගනිමින්, විදේශ ආදායම වැඩිදියුණු කර ගනිමින් ණයගෙවීමේ ක‍්‍රමවේදයට යා හැකියි. ණය පිළිබඳ අද අපට තියෙන දුෂ්කරතාව පෙන්වමින් අයිඑම්එෆ් එක එකතුවෙලා රටේ සුබසාධන වැඩපිළිවෙළ කඩාකප්පල් වෙනවට නම් අපි විරුද්ධයි. ඒකට ඉඩදෙන්න බෑ. අපි අපේ ආදායම වැඩිකරගන්න ඕන. ඒකට අවස්ථා කීපයක් තියෙනව.

අපේ මිනිරන් කර්මාන්තය ගනිමු. ඒකෙන් හදන්න පුළුවන් ග‍්‍රැෆීන්. ඒක ඉතා වටිනා ලෝහයක්. ග‍්‍රැෆීන් කියන ලෝහය හදන්න පුළුවන් තාක්ෂණය තියෙන ආයෝජකයෙක් එක්ක සම්බන්ධවෙලා, ඔවුනගෙ උපදෙස් අරගෙන, ඔවුන්ගෙ තාක්ෂණය අරගෙන හෝ අපි ග‍්‍රැෆීන් නිෂ්පාදනය කරල ලෝකයට දුන්නොත් අපිට මේ ණය ගෙවන්න පුළුවන්. මම මේ එකක් විතරයි කිව්වෙ. අමාත්‍ය මණ්ඩලයක් විදිහට කොහොම ද මේ ණය ගෙවන්නෙ මොකක්ද ගත යුතු ක‍්‍රමෝපාය කියන සංවාදය තිබිය යුතුයි. අවාසනාවකට එහෙම කතාබහක් අපේ ඇතිවෙලා නෑ. අපි දෙතුන් දෙනාට කරුණු මතු කරන්න පුළුවන් නමුත් කැබිනට් මණ්ඩලයේ න්‍යාය පත‍්‍රය අපට තීන්දු කරන්න බෑ. ඒනිසා තවත් කැබිනට් ඇමැතිවරු වැඩි ගණනක් ඉදිරිපත් වුණොත් පවතින තත්ත්වයන් වෙනස් කරගන්න පුළුවන්වෙයි. එහෙම නොවීම තමයි මේ මොහොතේ තියෙන ගැටලූව.

ප‍්‍රශ්නය:- ඔබ කරන මේ යෝජනා ගැන කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළේ නැද්ද?

පිළිතුර:- කතා කළා. ඒ ඉතා සීමිතව. මේ සම්බන්ධ කැබිනට් පත‍්‍රිකාව කල්වෙලා ඇතිව ඉදිරිපත් වුණේ නෑ. අපි නිරීක්ෂණ දුන්න. ඒව ගැන නැවත සාකච්ඡා වුණෙ නෑ. ඒ වෙනුවට අපිට මුදල් අමාත්‍යවරයත් එක්ක සාකච්ඡාවක් කරන්න කිව්ව. ඒකෙන් අපේ ප‍්‍රශ්නය විසඳුනෙත් නෑ.

ප‍්‍රශ්නය:- විපක්ෂය කියන්නෙ ඇමරිකානු පුරවැසිකම තියෙන අය තමයි මේව කරන්නෙ කියල. මොකද ඒ ගැන හිතෙන්නේ…

පිළිතුර:- මම දන්නෙ නැහැ එහෙම යට පෙම් බැඳුමක් තියෙනවද කියලා…

ප‍්‍රශ්නය:- දැන් බලන් යද්දි ආණ්ඩුව ඇතුළෙත් ආණ්ඩුවක් තියෙනව. එහෙමද?

පිළිතුර:- ඒකෙන් අදහස් කරන්නෙ ආණ්ඩුව ඇතුළෙ ප‍්‍රධාන කාරක බලයක් තියෙනව කියන එකනෙ. ඔව් එහෙම තියෙනව. අපි ඉදිරිපත් කරන හැම කැබිනට් පත‍්‍රිකාවකටම මුදල් අමාත්‍යාංශයෙන් නිර්දේශ දෙනව. නිරීක්ෂණ. එහෙම බැලූවාම මේ ධුරාවලියේ කාරක බලයක් තියෙනව. ඉහළම තනතුරු දරන පුද්ගලයන්ට වැඩි කාරක බලයක් තියෙනව කැබිනට් මණ්ඩලයේ අනෙක් ඇමැතිවරු අතර.

ප‍්‍රශ්නය:- නමුත් මේ ආණ්ඩුව ඇතුලෙ ඒ කාරක බලය එක් පාර්ශ්වයක යම් බූදලයක් බවට පත්ව තියෙන බවට ඇතැමුන් චෝදනා කරනවා.

පිළිතුර:- අපිට එහෙම තේරෙන්නෙ නෑ. මේව පුද්ගල බද්ධ ප‍්‍රශ්න නෙමෙයි. මේවායේ තියෙන්නෙ ව්‍යුහාත්මක ප‍්‍රශ්න. ඒ කියන්නේ මේ හැදී තියෙන ආකෘතිය තුළ මතුවන ප‍්‍රශ්න. නැත්නම් මේ ප‍්‍රශ්න එක්තරා ආකාරයක අපේ දර්ශනයත් එක්ක ගැටෙන ප‍්‍රශ්න. අපි හැමෝම මේවා ගැන එකඟතාවකින් තමයි සෞභාග්‍යයේ දැක්ම හදාගත්තෙ. ඒ තුළ පිහිටා අපි ක‍්‍රියාකරනව නම් මේව විසඳගන්න පුළුවන්.

ප‍්‍රශ්නය:- ඒ කියන්නෙ දැන් සෞභාග්‍යයේ දැක්ම ක‍්‍රියාත්මක වෙන්නෙම නැද්ද?

පිළිතුර:- මෙතන වෙලා තියෙන්නෙ සෞභාග්‍යයේ දැක්මෙ තියෙන දේවල් එක එක්කෙනාගෙ දැක්මට අනුව විග‍්‍රහ කරන්න යෑම හින්ද. ඕක තමයි උසාවියෙත් වෙන්නෙ. කට්ටියක් පෙන්වන නීතියේ අර්ථය එක විදිහකට. අනෙක් කට්ටය පෙන්වනව වෙන විදිහකට. අවසාන වශයෙන් විනිශ්චයකාරවරු තීරණය කුමන අර්ථය ද නිවැරැදි කියල.

ප‍්‍රශ්නය:- ඔබ කියන දේ තර්කානුකූලව නිවැරැදි වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ මේ බිමේ යථාර්ථය බොහොම කටුකයි. මහපාරේ ගෑස්, කිරිපිටි, සීනි, පෝලිම්. සෞභාග්‍යයේ දැක්මෙ මෙහෙම පෝලිම් සංස්කෘතියක් ඇති කරනවා කියලා කොහෙවත් නෑනේ…

පිළිතුර:- ඒක හරි. බඩු භාණ්ඩවල මිල සම්බන්ධයෙන් මහජනයාට දරන්න බැරි බරක් පැටවී තියෙනව. අපි මේව බේරාගෙන යායුතු ගමනක් තමයි තියෙන්නෙ. ජනතාව විඳින දුක අපිට තේරෙනව. ඒ නිසා තමයි මේ විදිහට එළියට ඇවිත් කතා කරන්නේ.

ප‍්‍රශ්නය:- රාජ්‍ය දේපල, රටේ සම්පත් විකිණීමට එරෙහිව මේ හඬ නැගීමේ අරමුණ නව බලවේගයක් ගොඩනැගීමටද?

පිළිතුර:- අද ඒ පෙරමුණ ගොඩනැගිල තියෙන්නෙ. අපි මේ ආණ්ඩුව ඇතුළෙ ඉඳන් පොරබදන්නෙ අපි නිවැරැදියි කියල හිතන මතය ආණ්ඩුවේ මතය බවට පත්කර ගැනීමට. ඔබ අදහස් කරන්නෙ ආණ්ඩුවෙන් පිටට ඇවිල්ල වෙන විකල්ප බලවේගයක් ගොඩගන්න අවස්ථාවක් නැද්ද කියල නම්, ඒකට උත්තරය එහෙම අදහසක් තවම නෑ.

0 comment
0

Related Posts

Leave a Comment