Home උණුසුම් පුවත් චීන පොහොර සඳහා ගෙවීම් ගැන වාණිජ මහාධිකරණය දුන් නියෝගය

චීන පොහොර සඳහා ගෙවීම් ගැන වාණිජ මහාධිකරණය දුන් නියෝගය

by Hela news

චීන පොහොර සඳහා ගෙවීම් නොකරණ ලෙස මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 19 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (05) නියෝග කළේය.

ඒ බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙනආ බව කියන චීන සමාගමට, එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් ය.

ලංකා පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් යළි සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී  වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහ කල් ඉල්ලා ඇත.

ඒ අනුව නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ඉදිරි දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට අධිකරණයේ නියම කළේය.

පෙත්සම්කාර පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගත් වගඋත්තරකාර චින්දාඕ සීවින් බයෝටෙක් සමාගම නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව දැනුම් දී තිබුණි.

ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මගින් පිළිගෙන ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ජාතික ශාක නිරෝධායන සේවය වෙත වගඋත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියදිය පරීක්ෂා කිරීමේදී එහි ඇතැම් පොහොර කොටස්වල හානිකර බැක්ටීරියා ඇතුළු ජීවින් සිටින බව තහවුරු වී ඇතැයි ද සඳහන් කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ තත්ත්වය මත වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි චෝදනා කළේය.

ඒ අනුව අදාළ චීන සමාගම වෙනුවෙන් නිකුත් කොට ඇති ණයවර ලිපියට අනුව කිසිදු මුදලක් එම සමාගමට, එහි දේශීය නියෝජිත ආයතනය වෙත හෝ මහජන බැංකුව වෙත ගෙවීම් හෝ ලබාගැනීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
 

0 comment
0

Related Posts

Leave a Comment