Home කාලීන පුවත් චීන තරුණ පරපුරේ සිහින බිඳ වැටෙයි

චීන තරුණ පරපුරේ සිහින බිඳ වැටෙයි

by Hela news

වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට අන්තර්ජාලය කදිම වේදිකාවකි. වෘත්තීය කුමක් වූවත් ඊට සරිලන වටිනාකම ඉස්මතු කර පෙන්වීමට මෙන්ම දැනුම සහ සුදුසුකම් ලොවට කියා පෑමට ලින්කෙඩින් (LinkedIn) යනු අන්තර්ජාලයේ ඇති වඩාත්ම වෘත්තීය මට්ටමේ යෙදවුමකි.

වෙබ් අඩවියක් ලෙස මෙන්ම ජංගම දුරකතන යෙදුවුමක් ලෙස භාවිත කළ හැකි මේ අනගි මෘදුකාංගය අමෙරිකානු සමාගමකි. සේවාදායකයා සහ සේවායෝජකයා අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීමට ලින්කෙඩින් වෙතින් ලැබෙන පිටුවහල එය භාවිත කරන්නෝ දනිති. වසර 2003දී ආරම්භ කළ ලින්කෙඩින් මෘදුකාංගය වෘත්තීය මට්ටමේ ජාලයක් මෙන්ම වෘත්තීය සංවර්ධනයට කදිම මෙවලමකි. රැකියා සොයන්නන්ට ඔවුන්ගේ ජීවදත්ත මුදා හැරීමටත්, සේවායෝජකයාට සිය සමාගමේ රැකියා පුරප්පාඩු මුදා හැරීමටත් මේ මෘදුකාංගය භාවිත කළ හැකිය. කැලිෆෝනියාවේ මූලස්ථානය පිහිටා ඇති ලින්කෙඩින් වසර 2016දී මයික්‍රොසොෆ්ට් සමාගමට එක් විය. ඉන් අනතුරුව එහි ජනප්‍රියත්වය සහ භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව වර්ධනය වූයේ විදුලි වේගයෙනි. මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට ලින්කෙඩින් හා සම්බන්ධ පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 774 ඉක්මවා ගියේ රටවල් 200කට ජාලය ව්‍යාප්ත කරමිනි.

ලින්කෙඩින් ජාලය තුළ පුද්ගලයකුගේ ආකෘතියක් (profile) නිර්මාණය කළ හැකි අතර, මේ මෘදුකාංගයේ සාමාජිකයකු වන ඕනෑම පුද්ගලයකුට එය කියැවීමට හැකියාව තිබේ. එමගින් වෘත්තීය මට්ටමේ සම්බන්ධතාවක් ගොඩ නගා ගත හැකි වන අතර, ඔහුගේ හෝ ඇයගේ සේවය ලබාගැනීමට ලොව ඕනෑම සමාගමකට අවස්ථාව උදාවනු ඇත.

චීනය දැන් අත්හැරීමට සූදානම් වන්නේ එවැනි පහසුකම් රැසක් ඇති මෘදුකාංගයකි. ලොව පුරා රටවල් විශාල සංඛ්‍යාවක සාමාජිකයන්ට කදිම අත්වැලක් වූ ලින්කෙඩින් මෘදුකාංගය චීනයෙන් ඉවත් කරගැනීමට මෘදුකාංග දැවැන්තයන් වන මයික්‍රොසොෆ්ට් සමාගමට සිදු වී ඇත්තේ එරට රජයේ සියුම් පරීක්ෂාවට භාජනය වීම හේතුවෙනි. චීනයේ අන්තර්ජාලය පාලනය කිරීම දැඩි නීති රාමුවක් තුළ සිදුවන්නකි. මේ මෘදුකාංගය හරහා වෙනත් රටවල මෙන්ම චීනයේ ද විශාල පිරිසක් ඔවුන්ගේ ජීවදත්ත සහ ආයතනික රැකියා පුරප්පාඩු මුදා හරිමින් සිය අවශ්‍යතා ඉටු කරගනිමින් සිටින අතර, එම ක්‍රියාකාරකම් එරට රජයේ පරික්ෂාවට ලක්වී ඇත්තේ වසර කිහිපයක සිටය. එහි ප්‍රතිඵලය ලෙස මේ වසර අවසන් වනවිට චීනය හැර යෑමට මේ අමෙරිකානු මෘදුකාංගයට සිදු වී තිබේ.

ලින්කෙඩින් චීනය හැර යන්නේ එරට මිලියන 54ක අතිවිශාල සාමාජිකයන් පිරිසකි. එය ඔවුන්ට වෙනත් රටවල වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට ඇති ඉඩකඩ එහෙම පිටින්ම අහුරා දැමීමක් බව අන්තර්ජාල විශේෂඥයෝ පවසති. මන්ද වර්තමානය වනවිට චීන ජනතාවට එවැනි වෙනත් මෘදුකාංගයක් නැති බැවිනි.

අන්තර්ජාලයේ ඇති පහසුකම් සහ මෘදුකාංග පිළිබඳ වැඩි දැනුමක් සහිත චීන ජාතිකයන් එතුළින් ලෝකය ජය ගැනීමට අසීමිතව භාවිත කරන අතර, මෑත කාලයේ ලොව පුරා විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ දැනුම බෙදා හදා ගනිමින් සිය වෘත්තීය ජීවිතය දීප්තිමත් කරගැනීමට ඔවුන්ට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. ලින්කෙඩින් ඒ අතර ප්‍රමුඛස්ථානය ගත් යෙදවුමකි.

මේ අපූරු මෘදුකාංගය ලොව පුරා විවිධ රටවල කාර්යාල 33ක් පිහිටුවා තිබේ. අමෙරිකාවේ පමණක් ඔවුන්ගේ කාර්යාල 5කි. මීට අමතරව බ්‍රසීලයේ සාඕ පාවොලෝ, එංගලන්තයේ ලන්ඩන්, අයර්ලන්තයේ ඩබ්ලින්, නෙදර්ලන්තයේ ඇම්ස්ට්‍රඩෑම්, ඔස්ට්‍රියාවේ ග්‍රෑස්, ඉතාලියේ මිලාන්, ප්‍රංසයේ පැරිස්, ජර්මනියේ මියුනිච්, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්, ස්වීඩනයේ ස්ටොක්හෝම්, සිංගප්පූරුව, හොංකොං, චීනයේ බීජිං, ෂැංහායි, ජපානයේ තෝක්යෝ, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිඩ්නි, කැනඩාවේ ටොරොන්ටෝ, ඉන්දියාවේ බැංග්ලෝර්, ගුර්ගෝන්, මුම්බායි, නවදිල්ලි, මැලේසියාවේ ක්වාලලම්පූර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කාර්යාල මගින් ලින්කෙඩින් ග්‍රාහකයන්ට අවශ්‍ය සේවාව සපයනු ලබයි.

මේ මෘදුකාංගයට චීනයෙන් ඉවත් වීමට සිදු වූයේ එහි අන්තර්ගතය නවීකරණය කරන ලෙස චීනයේ අන්තර්ජාල නියාමනය පසුගිය මාර්තුවේදී කළ දැනුම් දීම හේතුවෙනි. ඒ සඳහා දින 30 කාල සීමාවක් ලබා දී තිබිණි. ෆේස් බුක් , ගූගල් සහ වට්ස්ඇප් පවා තහනම් කර ඇති චීනය පසුගිය සැප්තැම්බරය වන විට මාස දෙකක් පුරාවට එරට සමාජ මාධ්‍ය ජාලයේ පර්යේෂකයන්ගේ ආකෘතිය සහ අධ්‍යාපන සුදුසුකම් ආදිය අවහිර කර තිබිණි.

අන්තර්ජාල ගවේෂණ යාන්ත්‍රණය සහ යෙදවුම් ලෙස ෆේස් බුක්, ගූගල් සහ වට්ඇප් ලොව පුරා අසීමිත ජනප්‍රියත්වයක් ලබා ඇති අතර, එහි වැඩිපුරම සැරි සරන්නේ තරුණ හා යොවුන් පරපුරය. එහෙත් එම යන්ත්‍රණය සහ යෙදවුම් වැඩිපුර භාවිත කරන්නේ හුදු ආශ්වාදය සඳහාය. එබැවින් රැකියා සොයන්නන්ට සහ රැකියා සපයන්නන්ට ලින්කෙඩින් කදිම වේදිකාවක් බවට පත්වී තිබේ.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අනුව අමෙරිකාවේ උසස් පාසල්වල සිසුසිසුවියන් ඔවුන්ගේ පාසලේ අයැදුම්පත් සමඟ ලින්කෙඩින් ආකෘති නිර්මාණය කිරීමට පෙලඹී සිටිති. භාෂා 24කින් ලොව පුරා ක්‍රියාත්මක වන ලින්කෙඩින් සෙසු රටවල පාසල් සිසුන් අතරත් ඉහළ ජනප්‍රියත්වයට පත්වී තිබේ.

අන්තර්ජාල විශේෂඥයන්ට අනුව චීනයෙන් බාධා එල්ල වී ඇත්තේ ලින්කෙඩින් යෙදවුමට පමණක්ම නොවේ. තාක්ෂණයේ දැවැන්තයන් තවත් කිහිපදෙනෙකුටම මේ ඉරණමට මුහුණ පෑමට සිදු වී ඇතැයි වාර්තා වේ. ඒ අතර වඩාත්ම බලවත් අන්තර්ජාල අලෙවි සමාගමක් වන අලිබබා සමූහ ව්‍යාපාරය ද වේ. දැඩි නීති සම්පාදනය කිරීම හේතුවෙන් අලිබබා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ලොව සුප්‍රකට ජැක් මා චීන මූල්‍ය වෙළෙඳපොළේ වාර්ෂික සමුළුවේ සිදු කළ දේශනය අතරතුර චීනයේ බැංකු සහ නියාමන අධිකාරිය විවේචනය කිරීම හේතුවෙන් එරට රජයේ උදහසට ලක්වී සිටි බව ප්‍රසිද්ධ රහසකි. මේ හේතුවෙන්ම ඔහු මාස 4කට අධික කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේය. චීනයේ සිව්වැනි ධනවතා සහ ලොව 32 වැනි ධනවතා ලෙස අන්තර්ජාතික වර්ගීකරණ රැසකටම ඇතුළත් වී සිටින ජැක් මා අද වන විට ගත කරන්නේ තරමක් නිහඬ ජීවිතයක් බව වාර්තා වේ.

ඇතැම් වාර්තාවලට අනුව චීනයේ අන්තර්ජාල නියාමනය සිදු කරනු ලබන්නේ බලවත් පුද්ගලයන් පාලනය කිරීමටය. ලින්කෙඩින් යෙදවුමට ඔවුන් අත තැබුවේ එබැවිනි. එහෙත් අවසානයේ සිදු වී ඇත්තේ එරට මිලියන ගණනාවක තරුණ තරුණියන්ට අන්තර්ජාතික වශයෙන් රැකියා අවස්ථා අහුරා දැමීමය.

0 comment
0

Related Posts

Leave a Comment