Home විදෙස් පුවත් චීන ඒජන්තවරිය මහා බ්‍රිතාන්‍යය හොල්ලයි

චීන ඒජන්තවරිය මහා බ්‍රිතාන්‍යය හොල්ලයි

by Hela news

චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ කාන්තාවක බ්‍රිතාන්‍ය දේශපාලන ක්‍රියාවලියට මැදිහත්වීමට කටයුතු කරන බව එරට දේශීය බුද්ධි අංශය වන එම්.අයි-5 ඒජන්සිය (MI5 – Military Intelligence, Section 5) බ්‍රිතාන්‍යයට අනතුරු අඟවා ඇත. එංගලන්තයේ උපන් 59 හැවිරිදි මේ චීන සම්භවයක් සහිත කාන්තාව ක්‍රිස්ටීන් චිං කුයි ලී ලෙස හඳුන්වා දෙන එම බුද්ධි සේවය චීන රජයේ උපදෙස් මත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කරමින් සිටින බව ද වැඩි දුරටත් අනාවරණය කැර ඇත. ඇය බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමඟ සම්බන්ධතා පවත්වමින් සිටින බවත්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැරී ගාඩ්නර්ගේ සමීපතම මිතුරියක් බවත් එම වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම අවශ්‍යතාව මත හසුරුවීමට චීනය මේ කාන්තාව උපයෝගි කැර ගෙන ඇති අතර, සිය අභිමතය පරිදි කටයුතු කරන එම මන්ත්‍රීවරුන්ට ඇය විශාල ගෙවීමක් සිදු කරන බවත් හෙළි වී ඇත.

වසර 2015 සිට කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බැරී ගාඩ්නර් වෙත වසර 5ක කාලයක් පුරා පවුම් හාරලක්ෂ තිස්දහසක් පමණ ලබා දී ඇති අතර, ඇගේ එම මූල්‍ය පරිත්‍යාග පිළිබඳ 2017 වසරේදී ටයිම්ස් පුවත්පත ද වාර්තා කැර තිබිණි. මීට අමතරව ලිබරල් ඩෙමොක්‍රොටික් පක්ෂයේ නායක ශ්‍රීමත් එඩ් ඩෙවි එවකට බලශක්ති ලේකම්වරයා ලෙස කටයුතු කළ අවධියේදී ඇය ඔහුට පවුම් පන්දහසක මුදලක් පරිත්‍යාග කැර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම හරහා බ්‍රිතාන්‍ය දේශපාලනයට රහසිගත මැදිහත් වීමක් කිසි කිරීමට ඇය උත්සාහ දරන බව අනුමාන කරන බව එම්.අයි.-5 බුද්ධි තොරතුරු බ්‍රිතාන්‍ය රජයට දැඩි ලෙස අවධාරණය කැර ඇත.

අදාළ කාන්තාව ලන්ඩනයේ සහ බර්මින්හැම් නුවර නීති උපදෙස් ආයතන පවත්වාගෙන යන නීතිඥවරියක් වන අතර, එරට පුරවැසියකු ලෙස ලැයිස්තු ගතව සිටී. බ්‍රිතාන්‍ය ඉහළ සමාජයේ කැපී පෙනෙන ප්‍රතිරූපයක් මවා ගැනීමට ඇය සමත්ව සිටින අතර, එරට සුප්‍රකට සමාගම් 19ක අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළු වීමට ද සමත් වී තිබේ. ඒ අතරින් දැනට ඇය අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන සමාගම් ප්‍රමාණය 9කි. ඇය චීන ඒජන්තවරියක ලෙස කටයුතු කරන අතරතුරදීම බ්‍රිතාන්‍ය සමාගම්වලට සම්බන්ධ වීමත් දැඩි කුතුහලයට කරුණක් වී ඇත.

එම්.අයි-5 බුද්ධි ඒජන්සිය අනාවරණය කළ මේ ආන්දෝලනාත්මක කාරණාව පෙනෙන හැටියට වඩා බරපතළ බව එරට දේශපාලන විශ්ලේෂකයෝ පවසති. ක්‍රිස්ටීන් චිං නමැති මේ චීන ඒජන්තවරිය චීන කොමියුනිස්ට් පක්ෂයේ න්‍යාය පත්‍රය වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුව තුළ ඉදිරියට ගෙන යෑම සඳහා මන්ත්‍රීවරුන්ට විශාල ගෙවීමක් සිදු කිරීම දැඩි අවධානයට ලක් විය යුතු කරුණක් බව කියැවේ. එරට දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ පුද්ගලයන්ගේ අවධානය යොමු වී ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කැලඹූ චීන කාන්තාවට ඉදිරියේදී අත්වන ඉරණම පිළිබඳ නොව ඇය විසින් මුදල් ගෙවන ලද මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව කෙරෙහිය.

1963 වසරේ ඔක්තෝබරයේ උපන් බව කියන ක්‍රිස්ටීන් චිං සොලිසිටර් හෝ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන සමාගම් ද එම්.අයි-5 බුද්ධි තොරතුරු අනාවරණයෙන් බරපතළ අර්බුදයකට හසු වනු ඇතැයි ද වාර්තා වේ.

එම්.අයි-5 බුද්ධි ඒජන්සියේ නිලධාරීන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ කථානායක ශ්‍රීමත් ලින්ඩ්සේට සියලු තොරතුරු දන්වා ඇති අතර, චීන රජයේ අවශ්‍යතාව පරිදි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට මැදිහත් වීමට කාන්තාවක් යොදවා ඇතැයිද, ඇගෙන් පරිස්සම් වන ලෙස ද කථානායකවරයා මන්ත්‍රීවරුන්ට ඊමේල් පණිවිඩ මඟින් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

ක්‍රිස්ටීන් චිං බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ චීන ආධිපත්‍ය පතුරුවාලීමට බහුලව භාවිත කැර ඇත්තේ කම්කරු පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අතර, එම පක්ෂයේ තවත් මන්ත්‍රීවරයකු වන බ්‍රෙන්ට් නෝර්ත් සමඟ ද ඇය සම්බන්ධතා පවත්වා තිබේ. ඇගේ පුත්‍රයා මේ මන්ත්‍රීවරයාගේ වෙස්මිනිස්ටර් කාර්යාලයේ ‘diary planner‘ලෙස කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කෙළේය. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාඩ්නර් සඳහන් කර ඇත්තේ බුද්ධි තොරතුරු මඟින් ක්‍රිස්ටීන්ගේ රහස් කටයුතු පිළිබඳ දැනගැනීමෙන් පසු ඇගේ පුත්‍රයා එම රැකියාවෙන් ඉවත් වූ බවය.

ක්‍රිස්ටීන් චිං සමඟ සම්බන්ධතා පැවත් වූ තවත් පිරිසක් සිටිය හැකි බවට අනුමාන කෙරෙන අතර, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් චීන න්‍යාය පත්‍රය බ්‍රිතාන්‍ය තුළ ස්ථාපිත කිරීමට සෘජුව හෝ වක්‍රාකාරව දායකත්වය සපයනු ලැබූ බවට ද වාර්තා පළ වෙයි.

කථානායකවරයා චීන කාන්තාවගේ ක්‍රියාකාරකම් පිළිබඳ මන්ත්‍රීවරුන්ට දැනුම් දීමෙන් පසු බොහෝ මන්ත්‍රීවරුන් දැඩි ලෙස කෝපයට පත් වූ බව ද වාර්තා වේ. ඇතැම් මන්ත්‍රීවරුන් ඇය සමඟ සමීප සම්බන්ධතා පැවැත්වීම පිළිබඳවත්, ඇගේ මූල්‍ය පරිත්‍යාග පිළිගැනීම පිළිබඳවත් ඔවුන්ගේ දැඩි සැකයට හේතු වී ඇත. ක්‍රිස්ටීන් ලී වහාම රටින් පිටුවහල් කරන ලෙස ඉල්ලා රජයට බල කිරීමට ද වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පියවර ගනිමින් සිටිති.

තෙරේසා මේ අගමැතිනිය ලෙස කටයුතු කළ අවධියේදී චීන කාන්තාවට සම්මානයක් පවා ප්‍රදානය කර ඇත. අගමැති අතින් සම්මාන පිරිනැමෙන පුද්ගලයන් පිළිබඳ අගමැති කාර්යාලයේ ආරක්ෂක අංශය සොයා බැලීමක් සිදු කරන අතර, අදාළ චීන කාන්තාව පිළිබඳ සොයා නොබැලීම මේ වන විට මතභේදයට තුඩු දී ඇත.

0 comment
0

Related Posts

Leave a Comment