Home කාලීන පුවත් ගෝලීය වසං­ගතය හමුවේ අන්ත­ර්ජා­තික දේශ­පා­ල­නික හැසි­රීම

ගෝලීය වසං­ගතය හමුවේ අන්ත­ර්ජා­තික දේශ­පා­ල­නික හැසි­රීම

by Hela news

මේ වන විට කොවිඩ් 19 වසංගතය සමස්ත ලෝකයම වසා පැතිරුණු ව්‍යසනයක් බවට පත්ව ඇත. වසංගත ලෝකයට අලුත් මාතෘකාවක් නොවෙයි. එනමුත් මෑත කාලීන ගෝලීය වසංගතයක් බවට පත්වූ මේ කොවිඩ් 19 වසංගතය කිසිවකු අපේක්ෂා නොකළ සහ කිසිදු රටක පුද්ගලයකුගේ හෝ දේශපාලන නායකත්වයක වරදින් හෝ කිසිවකුගේ අවශ්‍යතාවක් මත ඇති වූවක් නොවෙයි. ලෝක ඉතිහාසය තුළ වසංගත ඇතිවී තිබේ; නමුත් ලෝක වසංගතයක් බවට පත්ව සමස්ත ලෝකයේ ම ආර්ථික සමාජ ක්‍රියාවලීන් උඩුයටිකුරු කරමින් විශාල ව්‍යසනයක් බවට පත් කරමින් ගලාගෙන පැමිණියේ කොවිඩ් වසංගතයයි. කෙසේ හෝ මේ වසංගතයට මුහුණ දීම පවතින යථාර්ථයයි.

ඉතිහාසයේ වසංගත හේතු කොටගෙන අනපේක්ෂිත තත්ත්වයන් ලෝව පුරා ඇති වී තිබේ. උදාහරණයක් ලෙස 14 සියවසේ යුරෝපයේ කළු මරණය BLACK DEATH නමින් හැඳින්වෙන යුරෝපයේ මිලියන විස්සක් මිය ගිය බව සඳහන් වෙයි; යුරෝපයේ වැඩවසම් ක්‍රමය බිඳ වැටීමට එම වසංගතය එක් හේතුවක් විය; ඉඩම් හිමියන් මිය ගිය පසු ඒ ඉඩම්වල වැඩ කරන ලද ප්‍රවේණිදාසයන් නගරවලට පැමිණ කම්කරුවන් බවට පත්ව ඇත.

මෑත භාගයේදි පළමු වැනි ලෝක යුද්ධය අවසානයේ දී එනම් 1918 දි වසරේදී තවත් වසංගතයක් මතු විය. එය ස්පාඤ්ඥ උණ නම් විය; පළමු ලෝක යුද්ධයට සම්බන්ධ නාවුකයන්ට මීයන් ආශ්‍රිතව ඇතිවූ වසංගතය වැලැඳිණි. මේ ලෝක වසංගතයක් ලෙස ලෝකය පුරා ව්‍යාප්ත විය; එහිදී මිලියන පනහක් මිය ගිය බව සඳහන් වෙයි; දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය ප්‍රමාණයට වඩා වසංගතයෙන් මරණයට පත්විය. පළමු වැනි හා දෙවැනි ලෝක මහ යුද්ධය මහ ව්‍යසනයක් වුවත් ඊට වඩා ප්‍රතිශතයක් මේ ස්පාඤ්ඤ උණෙන් මිය ගොස් ඇති බව සඳහන් වෙයි.

ලංකාවේද 20,000ක් පමණ එම වසංගතයෙන් මිය ගිය බවද වාර්තා වෙයි; ඉන් අනතුරුව මෙරට කොළරා වසංගතය ඇති වූ විය.

එහිදී එනම් 1880 ගණන්වල මෙරට මුල්වරට එන්නත්කරණය ආරම්භ විය. ඉන් පසුවත් විවිධ ව්‍යසනයන් ජාතික හා අන්තර්ජාතිකව ලොව පුරා ඇති විය.

මේ වර්තමානයේ ඇතිවූ ව්‍යසනය අවස්ථාවේදී එවකට හිටපු අමරිකානු ජනාධිපතිවරයා මේ වසංගතය වූහාන් වයිරසය ලෙස හඳුන්වන්නට විය. එය සමච්චලයකට ලක් කරන ලදී; දේශපාලන ගැටුම් මුල් කරගෙන එය චීනයට බැර කිරීමට උත්සහ කරන ලදී.

ඉන් අනතුරුව ඇමරිකාවේ සියලු ක්ෂේත්‍ර වලට බලපෑම් කරමින් වසංගතය රට පුරා පැතිරෙමින් මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා කරන්නට විය. කොවිඩ් ලෝක බලවතාද ආක්‍රමණය කරන ලදී. එයින් ඇමරිකාව විශාල අර්බුදයකට මුහුණ පාන්නට විය.

මේ වසංගත තත්ත්වයෙන් වැඩි පීඩාවකට පත්වූයේ යුරෝපිය රටවල් යැයි කිවහොත් නිවැරදිය; කෙසේ වෙතත් බටහිර පෙරදිග රටවල් මේ උවදුර අවස්ථාවේදී එම රටවල්වල අභ්‍යන්තරික දේශපාලනික හැසිරීම් සම්බන්ධයෙන් අප රටක් ලෙස සබුද්ධිකව බලා ආදර්ශයන් සපයා ගතයුතුය.

අප අවධානය යොමු කළ යුතු රටවල් කිහිපයක් වෙයි. එහිදී ඕස්ට්‍රේලියාවේ ආණ්ඩු පක්ෂය විපක්ෂ සමඟ දේශපාලනික මතවාද වශයෙන් එකඟ නොවන නමුත් මේ අවස්ථාවේදි වෘත්තිය සමිති ඇතුළු ක්ෂේත්‍ර එරටේ සෞඛ්‍ය කටයුතු හැර වෙනත් කිසිදු කරුණක් සඳහා යොමු නොවන ආකාරයක් දක්නට ලැබෙයි.

සමහර ජන කොටස් තාවකාලිකව රට වසා දැමීමට විරෝධය පළ කරන විට රජය විසින් එම උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගෙන දඩ ගැසීම සිදු විය. ඒ සඳහා කිසිදු පාර්ශ්වයක් විපක්ෂ බලවේගයක් විරෝධය පළ නොකිරීම ඉතා වැදගත් ආදර්ශයකි. ඒ රජය ගෙන යන ක්‍රියාමාර්ගයට සියලු දෙනා සහය දීම ජාතික වගකීමක් ඉටු කිරීමකි. එසේ ක්‍රියා කරන්නේ රටේ ජනතාව රෝගයෙන් මුදවා ගැනීමටට බව එරට ජනතාව සවිඥානිකව වටහා ගෙන ඇත. එමෙන්ම බ්‍රිතාන්‍ය තුළ විරුද්ධ පක්ෂය මේ අවස්ථාවේදී කිසිදු ආකාරයට කොන්සවේටිව් පක්ෂය ගෙන යන ප්‍රතිපත්තිය විවේචනයට ලක් නොකරයි. ස්කොට්ලන්ත ජාතික පක්ෂය ඔවුන්ට ස්කොට්ලන්ත රාජ්‍යයක් ලබා දෙන ලෙසට ජනමත විචාරණයක් ඉල්ලා සිටිමුත් වසංගතය හේතු කොටගෙන එම දේශපාලන ඉල්ලීම් ඉවත දමමින් ඔවුන් ක්‍රියා කරන ආකාරය ඉතා දියුණු දේශපාලනික සංස්කෘතියක ලක්ෂණ ය. ඉන්දියාව පවා කොන්ග්‍රස් පක්ෂය භාරතීය ජනතා පක්ෂය සමඟ දේශපාලනිකව එකඟ නොවුණත් ඔවුන් විරෝධතා ක්‍රියාත්මක නොකරයි; ඒ රටවල සමාජ මාධ්‍ය පවා මේ වසංගතය මර්දනය කිරීම උදෙසා හැර වෙනත් විරෝධතා රජයට චෝදනා කිරීම් වෙනුවෙන් ක්‍රියා නොකරන බව ඉතා පැහැදිලියි. මේ වන තෙක්ම මේ රෝගය ලෝකයේ සෑම රටකම ආර්ථික, සමාජ, ගෝලිය ක්‍රියාවලිය බිඳ දමමින් පැතිර යනු ලබයි.

මේ වනවිටත් කොවිඩ් සඳහා නිශ්චිත ඖෂධයක් සොයා ගෙන නැත; එකම විසඳුම එන්නත්කරණයයි; එන්නත වසංගතයට ඖෂධයක් නොවූවද යම්කිසි ප්‍රතිශක්තිකරණයක් ඇති වෙයි; ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයා යටතේ මේ වන විට බොහෝ පිරිසකට එන්නත්කරණය සිදු වෙයි. ජනාධිපතිවරයා ඇතුළු රජයේ පරමාර්ථය සැප්තැම්බර් වන විට මේ රටේ සියලු ජනතාවට එන්නතත ලබා දීමයි. ජාත්‍යන්තරිකව ගත් විට අපිට මේ එන්නත ලබා දීමට චීනය විශාල ලෙස සහය ලබා දී ඇත.

ඇමරිකාව ජපානය වැනි රටවල් ගණනාවකින් අපට මේ වන විට එන්නත් මාත්‍රා විශාල සංඛාවක් ලබාදී ඇත ඒවගේ ම ලෝක සෞඛ්‍ය සංවිධානයද ඇතුළු අන්තර්ජාතික වශයෙන් අපිට සහයෝගය ලබා දෙයි. මෙවැනි ගෝලීය ව්‍යසනයකදී අන්තර්ජාතික සහයෝගිතාව පවත්වාගත යුත්තේ මේ නිසාවෙනි. හුදකලාව පිළිතුර සෙවීම කිසිසේත් කළ නොහැක්කකි.

මෙය ලෝකයේ ඇතිවූ දරුණුතම වසංගතයක් වෙයි. මේ ව්‍යාසනයෙන් නැවත ගොඩ ඒමට නම් ප්‍රතිපත්තිමය ආකල්පමය එකඟතාවන්ට පැමිණිය යුතුයි.

මෙවැනි උවදුරකදී එකිනෙකාට අත දිගු කිරීම දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගැනීම නොව කවුරුත් සමඟිව ඒකාබද්ධ වැඩ පිළිවෙළක් යටතේ කටයුතු කළ යුතු කිරීම ඉතා වැදගත් වෙයි. මේ වනවිට රජය ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ විසින් යම් කිසි වැඩපිළිවෙළක් දියත් කර ඇත; එහිදි කිසිදු ජනවාර්ගික පාට පක්ෂ ආගමික භේදයකින් තොරව සැමට සමානව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් බව සඳහන් කළ යුතුයි. එන්නත්කරණය සාර්ථකව මේ වන විට ක්‍රියාවට නැඟෙයි; සංවර්ධනය වූ රටකට මෙන් නොව සංවර්ධනය වෙමින් පවතින රටකට මෙවැනි ව්‍යසනයන්ට මුහුණ දීම අසීරු කාර්යයකි. එසේ ආර්ථිකමය හැකියාව නොමැතිව වුවත් මේ රෝගය පාලනය කර ගැනීමේ කඩිනම් විසඳුම් නොගෙන සිටීමටද හැකියාවක් නැත. එහිදි රජය ගන්නා යම් පියවර වලදී එදිනෙදා ජීවනෝපාය සකසා ගෙන සිටින ජනතාවට මෙමඟින් දැඩි අසීරුවටන්ට මුහුණ දීමේ අවකාශයක් ඇත. එමෙන්ම රජයද දැඩි අසීරු ආර්ථිකමය අර්බූදයකට මුහුණ පා ඇත.

පළමුවැනි ලෝක මහ යුද්ධයේදිත් දෙවැනි ලෝක මහ යුද්ධයේදිත් බ්‍රිතාන්‍යයේ දේශපාලනිකව විරුද්ධ පාර්ශ්වයන් ආණ්ඩු පක්ෂයත් සමඟ සහයෝගයෙන් කටයුතු කළ බව අපිට ලෝක ඉතිහාසයෙන් ආදර්ශයන් ගත හැකිය.

එසේ සහයෝගිව එදා එරටේ දේශපාලනිකමය තීන්දු ගනු ලැබීමෙන් යුද්ධය නැමැති උවදුරට සාර්ථකව මුහුණ දෙන ලදි; මෙ රටේද ඒ සම්බන්ධයෙන් උදාහරණ වෙයි; මැලේරියා උවදුර ඇතිවූ අවස්ථාවේදී ලංකා සමසමාජ පක්ෂය යටතේ සුරි‍යමල් ව්‍යාපාරය යටතේ ලංකා සමසමාජ පක්ෂය මෙරටේ සුබ සාධනය පිණිස කටයුතු කරන ලදී. එමෙන් ම 1964 වර්ෂයේදි ජාතික අර්බුදයක් ව පැවැති වතුකම්කරුවන්ගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුවේදි ඉන්දියානු අගමැතිවරයා සමඟ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් සාකච්ඡා කරන අවස්ථාවේදී එවකට විපක්ෂ නායක ඩඩ්ලි සේනානායකයන් සමඟ සාකච්ඡා කරමින් එම ගිවිසුම් ගතවීම සිදු විය.

එසේම 1971 ඇති වූ ව්‍යසනය දී ජේ. ආර්ජයවර්ධන මහතා විසින් එවකට හිටපු අගමැතිනියගේ පක්ෂ සහයෝගිතාව පළ කර තිබේ. එසේම ස්වභාවික ව්‍යසනයක් වන සුනාමි ව්‍යසනයේදී ලෝකයේ බොහෝ රටවල් අන්තර්ජාතිකමය වශයෙන් සහයෝගයෙන් ක්‍රියාකරන ලදී. මෙලෙස ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අපිට අත් දැකිම් වෙයි. සුළු හෝ මහ පරිමාණයෙන් ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් සෞඛ්‍ය ආර්ථික වාර්ගික තරුණ අරගලයන්හීදි හෝ ස්වභාවික විපතක දී හෝ සියලු දෙනා ඒකරාශි වී විසඳුම් සොයන ආකාරය අපිට ඉතිහාසය උදාහරණ සපයයි. මෙවැනි ජාතික ව්‍යසනයකදී පාලන අධිකාරියට සෞඛ්‍ය අංශවලට ආරක්ෂක අංශවලට ඇගිල්ල දිගු කරනවාට වඩා මේ ව්‍යසනයෙන් මිදීමට රටක් ලෙස අපි ක්‍රියා කළ යුතුයි. පුරවැසියන් ලෙස අපි කනගාටු වන්නේ මෙවැනි අවස්ථාවක දී පවා එය දඩමීමා කරගනිමින් බොරදියේ මාළු බෑමට සුදානම් වන පාර්ශ්වයන් පිළිබඳවයි. මේ අවස්ථාව දේශපාලනික වාසි ලබා ගනු ලබන අවස්ථාවක් නොවන බව අපි වටහා ගත යුතුයි. මෙය රජයේ අසමත්භාවයක් යැයි කියමින් කටයුතු කිරීම නොව සිදුවිය යුත්තේ කොවිඩ් 19 පැරදවීමේ ව්‍යායාමයට සියලු පාර්ශ්වයන් ඒකරාශීව උරදිමයි; ලෝක වසංගතයක් වන මෙය කුමන ආණ්ඩුවක් බලයට පත් ව සිටියත් මර්දනය කිරිමට අසීරු බව අපි වටහා ගත යුතුයි. පාරම්පරික වෛද්‍ය ක්‍රමයන් හෑල්ලුවට ලක් නොකළ යුතු අතර ඇතැම් රටවල සැබෑ දේශිය ඖෂධයන්ද භාවිත කරමින් යම් සහනයක් හෝ ලබා ගත් බව අමතක නොකළ යුතුයි. මෙය පටු දේශපාලනික අරමුණු හෝ අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සාහ කරන අවස්ථාවක් නොවන බව අප වටහා ගත යුතුයි.

මේ වනවිට පුද්ගලික අංශයේ සමහරක්ගේ රැකියා අහිමි වී ඇත. රාජ්‍ය අංශයේ සියලුදෙනා වැටුපක් ලබන බව අපි දනිමු; රජය එය කෙසේ හෝ ඉටුකිරිම සම්බන්ධයෙන් අපි කෘතවේදි විය යුතුයි. මේ රටේ මහජනතාවගේ බදු මුදලින් යැපෙන පිරිසක් වන ඇතැම් රාජ්‍ය සේවකයන්ට වැටුප් පිළිබඳව යම්කිසි ගැටලු විය හැකියි; ව්‍යසන වෙලාවේදි එයින් කුරිරු සතුටක් ලබන්නට තරම් අපි නීහීන නූගත් ජාතියක් නොවෙමු.

මේ රටේ ජාතික උවදුරක්ව වසර තිහක් පැවැති ත්‍රස්තවාදයේදී රණවිරුවන් වන ත්‍රිවිධ හමුදාව ජීවිත පරිත්‍යාග කරමින් සටන් නොකොට මේ රට රැක නොගෙන; ඒ අය ඔවුන්ගේ වැටුප් විෂමතා හෝ වෙනත් ඉල්ලීම් සිදු කළේ නම් අද අපිට මුහුණ පාන්නට සිදුවන්නේ මීට වඩා වෙනස් අත්දැකිම් වලටය‍. එදා අපි ජාතියක් ලෙස ඒ අවස්ථාවේදී එකමුතුව ක්‍රියා කළ ආකාරයට මේ අවස්ථාවේදී ද ක්‍රියා කළ යුතුයි. අප බුද්ධිමත්ව හැසිරිය යුතුයි. මේ අවස්ථවේදී ජනතාවගේ සිත සන්සුන් වන ආකාරයට යහපත් ආකාල්ප ගොඩනැඟීමට කටයුතු කළ යුතුයි. වෘත්තිය අරගල වලට සිතු පැතූ සම්පත් ලබාදිය හැකි අවස්ථාවක් නොවන බව වටහා ගත යුතුයි;

අපේ රටේ දේශපාලන අධිකාරිය, ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, ආගමික නායකයන් සහ මාධ්‍ය යන සියලු ජන කොටස්වලට වගකීමක් පැවරී ඇත. විශේෂයේ සමාජ මාධ්‍ය වැරදි අසත්‍ය ප්‍රවෘත්ති පළ නොකර සත්‍ය පළ කළ යුතුයි. මේ සමාජ මෙහෙවර අපි ඉටු කළ යුතුයි. මේ අවස්ථාවේදි යම්කිසි සහයක් දිය හැකි පිරිස් මේ සඳහා යම් දායකත්වයක් දිය යුතුයි. සමස්ත පුරවැසියන්ගේ මේ අවස්ථාවේ වගකීම එයයි.

අප රටේ ජනතාවගේ ජිවිත බේරා ගැනිමේ සටනට උරදිය යුතුයි. වගකිව යුතු පුරවැසියන් ලෙස පටු දේශපාලනික අරමුණ උදෙසා පෙනී නොසිටිය යුතුයි; විපතකදී පිහිට වීම අපේ සංස්කෘතියේ යම් සම්මත සම්ප්‍රදායක් වෙයි. මේ රෝගය එක් පක්ෂයකට හෝ පාටකට ජාතියකට හෝ වැලඳෙන රෝගයක් නොවන බව අපි දනිමු; කිසිවකුගේ අසමත් හෝ සමත් කම් පෑමට මෙය අවස්ථාවක් නොවන බව අප වටහාගත යුතුයි; සියලු පාර්ශ්වයන් විසින් එක්ව සහයෝගිතාවෙන් කටයුතු කළ යුතුයි.

0 comment
0

Related Posts

Leave a Comment