Home ක්‍රීඩා පුවත් ගුවන් හමුදාවට විරුද්ධව පරීක්ෂණ කිරීමට පෙර කබඩි සභාපතිට ඇති පැමිණිලි විභාග කළ යුතුයි

ගුවන් හමුදාවට විරුද්ධව පරීක්ෂණ කිරීමට පෙර කබඩි සභාපතිට ඇති පැමිණිලි විභාග කළ යුතුයි

by Hela news

ගුවන් හමුදාපති කියයි

ජාතික කබඩි තරගාවලියට ක්‍රීඩකයන් සහභාගි නොකිරීම සම්බන්ධව ගුවන් හමුදාවට එරෙහිව විනය පරීක්ෂණක් පැවැත්වීමට පෙර කබඩි සම්මේලනයේ සභාපතිවරයා සහ සෙසු නිලධාරීන් සම්බන්ධව ඇති පැමිණිලි විභාග කළ යුතුව ඇතැයි ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා ප්‍රකාශ කළේය. නව වසරේ ගුවන් හමුදාවේ ක්‍රීඩා සැලසුම් පිළිබඳ ඊයේ ගුවන් හමුදා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ‘දිනමිණ’ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා එසේ කීවේය.

පසුගියදා නිමාවට පත් වූ ජාතික කබඩි තරගාවලියට පූර්ව දැනුම්දීමකින් තොරව ක්‍රීඩකයන් සහභාගි නොකිරීම සම්බන්ධව ගුවන් හමුදාවට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවත්, එම පරීක්ෂණය නිමා වනතුරු ගුවන් හමුදාවේ කබඩි ක්‍රීඩා කමිටුවේ සභාපතිවරයාට සහ ලේකම්වරයාට කබඩි විධායක සභාව තහනම් කළ බවත් කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා ඉකුත් දා ‘දිනමිණ’ට ප්‍රකාශ කර තිබිණි. මෙවර ජාතික කබඩි තරගාවලිය දිස්ත්‍රික් මට්ටමින් පැවති අතර, ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන්ට ද අදාළ දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩා කළ යුතුව තිබිණි.

“අපේ අතින් වරදක් වෙලා තියෙනවා නම් විනය පරීක්ෂණයක් කරන්න ඔවුන්ට බෑ. ක්‍රීඩා අමාත්‍යාංශයේ හෝ ක්‍රීඩා ඇමැතිතුමාගේ අවශ්‍යතාව මතයි අපිට විනය පරීක්ෂණයක් පවත්වන්න පුළුවන්. මම දන්න විදිහට කබඩි සංගමයේ සභාපතිතුමාට සහ සාමාජිකයන්ට විරුද්ධව පැමිණිලි තියෙනවා. ඒ පරීක්ෂණය ඉවර කරලා ගුවන් හමුදාවේ විනය පරීක්ෂණය කළා නම් හොඳයි කියලා තමයි මට කියන්න තියෙන්නේ.” ඔහු පැවසීය.

“අපේ කබඩි ක්‍රීඩකයන් මේ තරගාවලියට සහභාගි නොකිරීම සාමුහිකව ගත්තු තීරණයක්. අපි ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හැටියට ඉදිරිපත් වෙනවා මිස අපේ ක්‍රීඩකයන්ට තැන් තැන්වල ගිහිල්ලා දිස්ත්‍රික් මට්ටමින් තරග කිරීමට අවස්ථාව දෙන්න අපිට හැකියාවක් නෑ. මොකද අපි ඔවුන්ගේ විනය ගැන වග කියන්න ඕනා. ඔවුන්ගේ ආරක්ෂාව ගැන වග කියන්න ඕනා. ඒ යන තැන්වල ඔවුන්ට තියෙන පහසුකම් ගැන අපි වග කියන්න ඕනා. ඒ නිසා අපේ ක්‍රීඩකයන් තැන් තැන්වල යවන්න බෑ. මම ඒක පැහැදිලිවම අදාළ නිලධාරින්ට දැනුම් දුන්නා. අපිට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය හැටියට ඉදිරිපත් වෙන්න පුළුවන් නම් අපි ඉදිරිපත් වෙනවා කියලා. නමුත් ඒකට අපිට අවස්ථාවක් දුන්නේ නෑ. අපේ හමුදාවේ සාමාජිකයන් ක්‍රීඩකයන් වෙන්නේ දෙවැනුව. පළමුව ඔවුන් ගුවන් භටයන්. ඉතින් මම ඒ ගුවන් භටයන් නැවත කැඳෙව්වා. ඔවුන්ගේ රාජකාරි සඳහා නියම කළා. මං හිතන්නේ ඒත් එක්කම අනිත් හමුදාවලත් ඒ ඒ ක්‍රීඩකයන් නැවත ඔවුන් කැඳෙව්වා. මොකද ඒ ඔවුන් කළින් ගත්තු තීරණය වැරදි නිසා.” ගුවන් හමුදාපතිවරයා කියා සිටියේය.

“ජාතික ආරක්ෂාවත්, රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමත් ප්‍රධාන අරමුණ කර ගත් ගුවන් හමුදාව මෙරට ක්‍රීඩාව දියුණු කිරීමටත් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරනවා. ක්‍රීඩකයන් දිරිගන්වමින් දිය හැකි සහයෝගය දෙනවා. ඉතින් සමහර අවස්ථාවලදී මේ වගේ සුලු ප්‍රශ්න එනවා අතීතයේදිත් ආවා. වර්තමානයේ වගේම අනාගතයේදිත් එවැනි ප්‍රශ්න ඒවි. ඒ ඒ සමාජවල ඉන්න විවිධ නිලධාරීන්ගේ බුද්ධි මට්ටම සහ ඔවුන්ගේ දැනුම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. සමහර විට ඔවුන්ට හමුදා පිළිබඳ දැනුමේ අඩුපාඩු තියෙනවා. සමහර අය හමුදාවෙන් පැනලා ගිහිල්ලා තරහෙන් වැඩ කරන කට්ටිය ඉන්නවා. ඒ නිසා අපි මේ වගේ ප්‍රශ්නවලට සැලෙන්නේ නෑ. අපිට ජාතික මෙහෙවරක් තියෙනවා. අපිට යන්න පුළුවන් ඉලක්කයක් තියෙනවා.ඒ ඉලක්කයට ගමන් කිරීම තමයි බලාපොරොත්තුව.” ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා වැඩි දුරටත් එසේ කීවේය.

0 comment
0

Related Posts

Leave a Comment