Home දේශීය පුවත් ගුරු-විදුහල්පති වැටුප් විසමතාව විසඳන්න අයවැයෙන් රු. කෝටි 3,000ක්

ගුරු-විදුහල්පති වැටුප් විසමතාව විසඳන්න අයවැයෙන් රු. කෝටි 3,000ක්

by Hela news

මුදල් ඇමැති බැසිල් අය-වැය රහසක් හෙළි කරයි

ගැටලුව එකවර විසඳන බවත් කියයි

දරුවන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් ගුරු විදුහල්පති වැටුප් විසමතාව ඉවත් කිරීම සඳහා මෙවර අයවැයෙන් අමතර රුපියල් කෝටි 3,000ක් වැය කරන බවත් ඒ අනුව වැටුප් විසමතා ගැටලුව එකවර විසඳන බවත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන්ට ඊයේ (10) දැනුම් දුන්නේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට මෙරට අධ්‍යාපනය සඳහා වැය කරන මුදල සමස්ත අය වැයෙන් සියයට 7.51ක් වනු ඇතැයිද මේ හමුවේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

විසි පස් වසරකට ආසන්නව පවතින වැටුප් විසමතාව ඉවත් කිරීම පිළිබඳ දැනුම් දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ හමුව පැවැත්විණි.

වැටුප් විසමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයෝ මෙහිදී සිය ප්‍රණාමය පුද කළහ.

ඒ අනුව වෘත්තිය සමිති ඉල්ලීම ඉටු කිරීමට ගැන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ස්තුති කළේය.

මේ හමුවේදී මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

“අපි මේ පිළිබඳ මුලින්ම සාකච්ඡා කළේ ජූලි මාසේ 26 දා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි. එහිදී මහාචාර්ය ජී. එල්. පීරිස්, ගාමිණී ලොකුගේ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ලසන්ත අලගියවන්න මහත්වරුන් ඇතුළත් කමිටුවක් පත් කළා. ඒක පසුව 4 දෙනකුට සීමා වුණා. එහි නිර්දේශ ඉදිරිපත් කළා. මුදල් ඇමැතිවරයා හැටියට මගේ නිරීක්ෂණය ඉදිරිපත් කළේ මූලිකව මේ ඉල්ලීම් සියල්ල වැටුප් වැඩිවීමක් නෙමෙයි කියලා. මේක අවුරුදු විස්සක් විසි පහක් පවතින ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විසමතාවක්. මෙය නිවැරැදි කරන්න කියලා තමයි ඉල්ලීම ඉදිරිපත් කරලා තිබුණෙ. අපේ නිර්දේශය වුණේ සමස්ත රාජ්‍ය සේවය තුළ වැටුප් සම්බන්ධ අසමමිතිකතාවක් ඇති නොවන පරිදි ඉදිරි අය වැය තුළින් සලකා බැලීම සුදුසුය කියලා. දැන් අය වැය එනවා. අදාළ නිර්දේශ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳ මල්වතු, අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දේශපාලන පක්ෂත්, මා හමු වුණ අවස්ථාවලදීත් පැවසුවේ මේ ගුරු විදුහල්පති ප්‍රශ්නය මෙවර අය වැය තුළින් විසඳන්න කියලා. අගමැතිවරයාත් විශේෂයෙන්ම ජනාධිපතිවරයාත් අධ්‍යාපන ඇමැතිවරයාත් නිර්දේශ කරලා තියෙනවා අනිවාර්යයෙන්ම මේක විසඳන්න කියලා. වෘත්තීය සමිති පැත්තෙන් විශාල සහයෝගයක් මේ වෙලාවේ අපට ලැබිලා තිබෙනවා. අපට ඕන වුණ එකම දේ අධ්‍යාපනය ළමයින්ට ලබා දෙන්න. මේ වෙනකොට සියලු පාසල් විවෘත කර සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල් කටයුතු සිදු වෙනවා. ඒ නිසා අපි බොහොම අමාරුවෙන් වුණත් නිර්දේශිත මේ මුදල වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

මේක විසමතාවක් ඉවත් කිරීමක් මිස වැටුප් වැඩිවීමක් නෙමෙයි. මෙතන සිටින මහා සංඝරත්නය ඇතුළු වෘත්තීය සමිතිවලින් මම ඉල්ලා සිටිනවා අවුරුදු විසි ගණනක් විසඳන්න බැරිව තිබුණ වැටුප් විසමතාවක් සාධාරණ මට්ටමෙන් විසඳීමක් විධියට දකින්න කියලා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව දැනට වෙන් කරලා තිබෙන මුදලට අමතරව රු. මිලියන 30000ක් අපි ලබන අය වැයෙන් ගුරු හා විදුහල්පති වැටුප් විසමතාව ඉවත් කිරීම සඳහා වෙන් කරනවා. අය වැයටත්, කැබිනට් මණ්ඩලයටත් ඉස්සරවෙලා ඔබතුමාලට කිව්ව එකම රහස ඒක.

එදා උද්ඝෝෂණ කළ අයට අමතක වුණාට මහින්ද ජනාධිපතිවරයා ඇතුළු අපේ ආණ්ඩුවට එය අමතක වුණේ නැහැ. අපි පිළිගන්නවා අධ්‍යාපනය මේ රටේ ලොකුම ආයෝජනය කියලා. සෞඛ්‍ය හා අධ්‍යාපනය ගත්තම අපි ලෝකයේ ඇතැම් දියුණු රටවලට සමාන මට්ටමේ ඉන්නවා. දකුණු ආසියාවේ අපි ඉහළම තැනක ඉන්නවා. ආයෝජනය වගේම ඵලදායීතාවත් වැඩි කරන්න කියලා අපි මේ හැම වෘත්තීය සමිති නියෝජිතයකුගෙන්ම ඉල්ලනවා. අධ්‍යාපනය දියුණු කරන්න ඔබ සියලු දෙනාගේ සහයෝගය අධ්‍යාපන අමාත්‍යාංශයට, ආණ්ඩුවට දෙන්න කියලා ඉල්ලනවා. ඊට එහා යන ඉල්ලීම් ගැන මුදල් ඇමැතිවරයා හැටියට අපට කතා කරන්න පුළුවන්” යැයිද ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මෙහිදී ගුරු විදුහල්පති වැටුප් විසමතාව විසඳීම සඳහා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය සම්මත කළ යෝජනාවලිය මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට භාර දුන්නාය.

1997 වසරේ නිර්මාණය වූ මේ අර්බුදයේ සම්පූර්ණ වැටුප් විසමතාව ඉවත් කිරීමට යම් කාල රාමුවක් අවශ්‍ය බව පිළිගත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයෝ එහි ආරම්භයක් ලෙස තුනෙන් එකක කොටස ලබන අය වැයෙන් එකවර දීම ගැන සතුටු වන බව පෙන්වා දුන්හ. අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ, ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ, ශ්‍රී ලංකා වෘත්තීයවේදි විදුහල්පතිවරුන්ගේ සංගමයේ සභාපති සුගීශ්වර විමලරත්න, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ මොහාන් වීරසිංහ මහත්ම මහත්මීන් ඇතුළු ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

0 comment
0

Related Posts

Leave a Comment