Home ගොසිප් පුවත් ගැහැනියකට ස්වාධීනව නැඟිටින්න හොඳ පෞරුෂයක් හදාගන්න ඕනෑ

ගැහැනියකට ස්වාධීනව නැඟිටින්න හොඳ පෞරුෂයක් හදාගන්න ඕනෑ

by Hela news
  • හමාර බණවර’ ගීතයේ රචිකාව ඉරේෂා හේමමාලි
  • ‘හමාර බණවර’ හරහා මම කතා කරන දේශපාලනයක් තියෙනවා
  • දකින අහන දේට වඩා මට වැදගත් දැනෙන දේ

ඇය නමින් ඉරේෂා හේමමාලිය. පසුගිය දිනෙක බොහො කතාබහට ලක්වුණු රවී රොයිස්ටර් විසින් ගායනා කරනු ලබන පුරුදු පාරේම අදත් යනවා ගීතයේ ගී පද ලියැවෙන්නේ ඇය අතිනි. මෙම ගීතයට ලැබුණු ප්‍රතිචාර අතිමහත් ය. නන්විධ කලා භූමිකා රැසක නිමග්න ඇය කලා ලෝකයේ සිය අනන්‍යතාව සටහන් කරන්නේ සිය අඛණ්ඩ කැපවීම ගුරු කර ගනිමිනි. ඇය ගේය පද රචිකාවක්, ලේඛිකාවක්, තිර පිටපත් රචිකාවක්, චිත්‍ර ශිල්පිනියක් හා සම්මානලාභී ජයාරූප ශිල්පිනියක් ද වෙයි. අද සිළුමිණ රසඳුන කතාබහට ඉඩහසර වෙන් වූයේ ඉරේෂා හේමමාලි කිවිඳියගේ වගතුග විමසීමටයි.

මුලින්ම හමාර බණවර ලියන්නට හේතු කාරණා වුණ වස්තු බීජය ගැන කතා කරමු.

ඇත්තටම හමාර බණවර මගෙ පුද්ගලික අත්දැකීමක්. පුද්ගලික අත්දැකීමක් වනවිට මට එය දැනෙන ප්‍රමාණය වැඩියි. බොහෝ වෙලාවට අපි සින්දුවක් ලියන්න හරි කවියක් ලියන්න හරි අනුභූතිය සොයා ගන්නවා. ඒ හමුවෙන අත්දැකීම් සිව් ආකාරයි. එකක් අපි දකින දේවල්, අනික ඇහෙන දේවල්, කියවන දේවල් සහ හතරවෙනි කරුණ ස්ව අත්දැකීම් ය.

ඉතින් හමාර බණවරට මට ලැබුණෙ අත්දැකීමක් විදියට. මේ පෞද්ගලික අත්දැකීම තමයි මගෙ ස්වාමි පුරුෂයාගේ අයියා කෙනෙක් මිය ගියා. ඔහුගේ දේහය අරගෙන කනත්තට රැගෙන යද්දි ඔහුගේ ළමයි දෙන්නා තමයි දෙපැත්තෙන් මිනිය අරන් ගියේ. ඔහුගේ කන් දෙක දෙපැත්තෙ තමයි ඔහුගෙ දරුවන් දෙදෙනාගෙ අත්දෙක තිබුණෙ. ඒක දකිනකොට මට හිතුනා ජිවත් වෙලා ඉද්දි අපි මිනිස්සු ගැන ලොකු සැලකිල්ලක් නැහැ මිය ගියාම අපි ඔහුට දක්වන සැලකිල්ල වැඩියි නේද කියලා. එහෙම තමයි මුල් පද ලියවෙන්නෙ.

පුරුදු පාරෙම අදත් යනවා කියලා මට ලියන්නට අවශ්‍ය වුණේ. ඒ අවස්ථාවෙ මිනි පෙට්ටිය ඇතුළෙ තාත්තාට කතා කරන්න පුළුවන්නම් ඇත්තටම තාත්තා කියයි එයාව බර නිසා බිමින් තියන්න කියලා. හමාර බණවර හරහා මම කතා කරන දේශපාලනයක් තියෙනවා. මේ කවියේ මම අවසානයට පුපුරා හරින පදයේ ” යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් පලයන් අම්මගේ” කියන තැනදි අම්මව බලාගන්න කියන ආරාධනයේ යටි පෙළ අරුත. දකුණු ආසියාතික කලාපයේම පේන්න තියෙන පුරුෂ මූලික සමාජය ගැන මම ඒකෙන් කතා කරනවා. තාත්තගෙන් පුතාට වගකීම් මාරුවෙන විදියේදී පෙන්නුම් කරන දේශපාලනයයි මම ඉන් කතා කරන්නේ.

කවිය ගීතයක් වෙලා එළියට පැමිණියායින් පසු ඔබ රූප රචනයක් නිර්මාණය කරන්න බොහෝ කාලයක් ගත්තා. එයටත් හේතුවක් ඇති?

ඇත්තටම හමාර බණවරට බොහොම ප්‍රතිචාර ලැබුණා.හිතුවෙවත් නැති විදියට මම ක්ෂේත්‍රයට පැමිණි අලුත බොහෝ ප්‍රතිචාර ලැබුණා. මම ම තමයි රවීට මේ සින්දුව දෙන්නෙ. මෙතරම් ප්‍රතිචාර ලැබෙන්න ඔහුගෙ හඬත් අනිවාර්යයෙන් උපකාරී වුණා. අපි මේකට රූප රචනයක් කරන්න හිතුවෙ නැහැ. නමුත් ඉන්දුනිසියාවේ ව්‍යාපාරිකයෙක් සිටියා. ඔහු මේ සින්දුව අහලා පුදුම විදියට ආස හිතිලා ඔහුගෙ මියගිය තාත්තා වෙනුවෙන් යමක් කරන්නට ඕනේ කියලා ඔහු මේ රූප රචනයට මුදලින් දායකත්වය ලබා දුන්නා. මෙහි රූප රචනයට අදහස දුන්නෙ සංජය ඈපා. විඩියො එක අධ්‍යක්ෂණය කළේ රවීන් වෙත්තසිංහ.

ඔබ බොහෝ කලාවන් ස්පර්ශ කරන කාන්තාවක්

පොඩි කාලෙ ඉදන්ම මට ඕන වුණේ වෙනස්ව හිතන්න අනිත් අය කරන දේට වඩා වෙනස් දෙයක් කරන්න. මට දකින අහන දේට වඩා දැනෙන දේයි වැදගත්. මම පරිසරයට හරිම සංවේදීයි. මට එතනදි අහුවන දේ එක්ක මගේ ජීවිතේ මේ වෙනකන් ලබපු අත්දැකීම් නිර්මාණවලට පිටිවහලක් වුණා. මම බොහෝ අභියෝගවලට කුඩා කාලේ ඉඳන්ම මුහුණ දුන්නා. ඒ හැම දෙයක්ම සුන්දරව බාරගෙන ජීවිතේ සතුට මගෙන්ම ලබන කෙනෙක් මම.

මට මේ වෙනකොට මගේ ජීවිතේ තරමක් විවේකයක් ලැබිල තියෙනවා. ඉතින් මට මගහැරුණ හැකියාව මරා දාන්නෙ නැතුව සමාජයට දෙන්න ඕන කියල හිතුවා. ඒකට මම වයස බාධාවක් කරගන්නෙ නෑ. මට කුඩා කාලේ ඉදන්ම කලා හැකියාව තිබුණා. මම අහන දේ, දකින දේට වඩා දැනෙන දේ තමා නිර්මාණවලට ගන්නේ. ඉතින් ජීවිතේ මුහුණ දීපු අත්දැකීම් අභියෝග මේ හැමදේම එක්ක සතතාභ්‍යාසයේ නියැළෙමින් විවිධ දේ ලියන්න අඳින්න ජායාරූපගත කරන්න පටන් ගත්තා. හැබැයි මේ හැකියාව කුඩා කාලේ ඉදලම තිබුණ එකක්. දැන් ඒවා පොලිෂ් කර ගනිමින් ගමනක් යන්න හිතනවා. මගේ පාසල්වලින් මම ලබපු පන්නරයත් මගේ නිර්මාණ දිවියට බලපෑවා. මම පාසල් දෙකකට ගියා. මුලින්ම අලවතුගොඩ මධ්‍ය මහා විද්‍යාලයටත් පසුව මාතලේ ශාන්ත තෝමස් බාලිකාවත් තමා මගේ පාසල් වුණේ.

සුභාවිත ගීතයට තියන තැන කොහොමද ඔබ දකින්නෙ වර්තමානයේ?

සුභාවිත ගීතය කියන්නෙ අපිට අහන්න සුදුසු සින්දුවලට. ඒකට මහා ලොකු සාහිත්‍ය තියෙන්න ඕනෙ නැහැ. සමහර බයිලා ලස්සනයි. අලුත් අයගෙ ගීත තියෙනවා හරි ලස්සනයි. මට අහන්න පුළුවන්නම් මම අහනවා. ඒකට සුභාවිතද කියලා මම අදාළ කර ගන්නෙ නැහැ. මට සාපේක්ෂව මම ආස සින්දු මම අහනවා.

ඉරේෂා කියන්නෙ ස්ත්‍රිවාදී චරිතයක්ද?

මේ සමාජයේ ගැටෙන කොට අපි ගැහැනුන් විදියට විඳවන්න වෙන දුක් ගැහැට පේන්නම තියෙනවා. ඒ ගැන මගේ වෙනම මතවාද තියෙනවා. ඒ නිසා ඒ මතවාද ගැටලු කතාකරන්න ස්ත්‍රීවාදී ද නැද්ද කියන එක වැදගත් නෑ. අනික ස්ත්‍රීවාදී එකේ විරුද්ධ පැත්ත ගත්තොත් පුරුෂවාදී කියන එකනේ. එහෙමනම් කවුරු හරි ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි පුරුෂ ගැටලු නැද්ද කියලා. ඔව් තියෙනවා. නමුත් මම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළ ගැහැනියකට විතරක් ආවේණික වුණු පස් වැදෑරුම් දුක් හරහාත් ඈත අතීතයේ බමුණන්ගේ ඉදන් මේ වෙනකන් පුරුෂ දෘෂ්ටියෙන් ගැහැනිය අඩු පහත් තැනකට ලඝු කිරීම නිසාත්, සංස්කෘතික රාමුවල ගැහැනුන් සිරකිරීම නිසාත්, ගැහැනියක් වීම නිසාත් ආවේණික වුණු ඛේදවාචක ටිකක් ගැන. ඒවා කොයි තරාතිරමක හිටියත් ගැහැනියකට ගැලවෙන්න බැරි තැනක තියෙන්නෙ. ඉතින් මම කිවිදියක් විදියට උත්සාහ කරන්නේ ඒ ගැටලු පීඩන සිරවීම් ගැන සමාජය සවිඥානික කරවන්න. තමන්ගේ කුටුම්භයත් සමබර කරගෙන ඒ රාමුවලින් මිදිල ස්වාධීනව එළියට එන්න ආරාධනා කරන එක. අවදිකරන එක.

කලාවට ගැහැනියට පැමිණෙන්න තිබෙන අවස්ථා අඩුයි කියන මතය ඔබ පිළිගන්නවාද?

ගැහැනියක් කලාවට යොමුවීම, රැදීම කියන්නේ පහසු කාරණයක් නොවේ. සම්ප්‍රදායික සමාජයක ඊට තියෙන ඉඩකඩ අඩුයි.විශේෂයෙන් පවුල කියන කුටුම්බ ගතවීමෙදි ඒක තවත් සංකීර්ණයි. එහෙම ගැහැනියකට ස්වාධීනව නැගිටින්න හොඳ පෞරුෂයක් හදාගන්න වෙනවා. ඒ වගේම මම නිතර කියන දෙයක් තමා ගැහැනියක් වුණාම ස්වාධීන වෙන්න උත්සාහ කරන්න කියන එක. මොන කලාවවක හෝ නියැළෙන්න ඒ ස්වාධීනත්වය වටිනවා.

ඉදිරි වැඩකටයුතු කොහොමද?

මෑතකම එන්න තියෙන්නෙ මගේ නවකතාව. ඉන් පස්සෙ මැයි මාසේ මගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය තියෙනවා. මේ වසරේ අවසන් වෙන්න පෙර දැනට තිර පිටපත ලියල අවසන් කළ කෙටි චිත්‍රපටය කරන්න ඕනේ. මා අතින් ලියවුණු ටෙලි නාට්‍ය තේමා ගීත දෙකකුත් ඉදිරියට එන්න තියෙනවා.

0 comment
0

Related Posts

Leave a Comment