Home කාලීන පුවත් ගැසට් කැසට් වෙන්නේ ඩොලර් නැති නිසා

ගැසට් කැසට් වෙන්නේ ඩොලර් නැති නිසා

by Hela news

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

  • අද මිල පාලනය කියල දෙයක් නැහැ
  • තිත්ත ඇත්ත නොකියා සුරංගනා කතා කියලා මොකටද
  • ආණ්ඩුවෙන් සහනයක් නැත්නම් ජනතාවටයි බර පටවන්න වෙන්නෙ
  • අද අපේ සතුට වෙනුවෙන් අනාගතය බිල්ලට දෙන්න පුළුවන්ද
  • සමාගම් ආණ්ඩුව පාලනය කරනව කියන කතාව බොරු
  • මට අලාභ වුණත් මම ඇත්ත කියනවා
  • තෙල් සංස්ථාව බංකොලොත් වුණේ 2008 දි

මේ ආණ්ඩුව දැන් තමයි බරපතළ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙමින් යන්නේ. සමහරුන්ට කියන්න පුළුවන් වැඩ අනාගෙන කියලා, තවත් අයට කියන්න පුළුවන් ෆේල් කියලා. ඇත්තටම ආණ්ඩුවට මේ මොකද වෙලා තියෙන්නේ?

ආණ්ඩුව දැන් මුහුණ දීලා තියෙන ලොකුම ප්‍රශ්නය තමයි විදේශ විනිමය හිඟය. අනෙකුත් සියලුම ප්‍රශ්නවල මුල තියෙන්නේ එතන. උදාහරණ හැටියට ගත්තොත් ආණ්ඩුවට ඉහළ යන බඩු මිලවත්, සහල් මිලවත් මේ නිසා පාලනය කරන්න බෑ. වර්තමාන වෙළෙඳ ඇමැතිවරයා තමයි 2010 – 2015 හිටිය වෙළෙඳ ඇමැතිවරයා. ඒ ආණ්ඩුව ලංකා ඉතිහාසයේ හොඳම ආණ්ඩුව ලෙස සලකනවා. ඒ ආණ්ඩුවේ හිටිය ජනාධිපතිවරයත් ඇමැතිවරුත් බහුතරයක් මේ ආණ්ඩුවේ ඉන්නවා. මේ ආණ්ඩුවේ සංචිතයේ වෙනසක් නෑ.

ඇයි ඒ කට්ටිය ඉඳලත් ආර්ථිකය හසුරවන්න බැරි හරියට?

මෙහෙමනේ. එදා හාල් ඉහළ නැග්ගම හාල් මිල පාලනය කරන්න පිටරටින් හාල් තොගයක් ගෙනල්ලා වෙළෙඳපොළට මුදාහරිනවා. එතකොට හාල් මෝල්හිමියෝ සාමාන්‍ය මට්ටමට හාල් විකුණන්න ගන්නවා. ඒත් අද බෑ. හේතුව විදේශ විනිමය නෑ. මේක මෝල් හිමියොත් දන්නවා ගෙනාවත් සති දෙක තුනකට විතරයි හාල් ගේන්න පුළුවන් කියලා. ඒ නිසා එයාලා බය නෑ. මම මේ කිව්වේ උදාහරණයක් හැටියට. අනෙකුත් ප්‍රශ්නත් ඔය හා සමානයි.

ඒ කියන්නේ මෙතනින් එහාට මේ රටේ ආණ්ඩුව පාලනය කරන්නේ ව්‍යාපාරිකයෝ?

ආණ්ඩුවක් කියන්නේ මිල පාලනය කරන ආයතනයක් නෙමෙයි. බොහෝ රටවල මිල පාලනය කියලා දෙයක් ඇත්තෙම නෑ. මෙතන තියෙන්නේ වර්තමානයේ ආණ්ඩුවට මිල පාලනය කරන්න බැරිවීම. ඒකෙන් කියවෙන්නේ නෑ සමාගම් ආණ්ඩුව පාලනය කරනවා කියලා.

හැබැයි ආණ්ඩුවට ලොකු ඩැමේජ් එකක් නේද මේ වෙන්නේ? මොකද ඡන්දය දුන්න මිනිස්සුන්ට මේ කතා වැඩක් නෑ. ඒ නිසා ඩැමේජ් එකක් වෙන බව පිළිගන්නවද?

අනිවාර්යයෙන්ම ඔව්. හැබැයි මට කියන්න මොකක්ද ඒ වෙනුවෙන් තියෙන විකල්පය. මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් තියෙන රාජ්‍ය දේපළ විකුණන්න කියලද කියන්නේ? අපේ ප්‍රශ්න විසඳගන්න අනාගත පරම්පරාව අමාරුවේ දාන්නද කියන්නේ?

ණය බරින් කර වටටම එරිලා ඉන්න ශ්‍රී ලංකාව තවදුරටත් ණය වෙන්නද කියන්නේ? එහෙම නැතුව අපේ සතුට වෙනුවෙන් අපේ දරුවන්ගේ අනාගතය බිල්ලට දෙන්නද කියන්නෙ? ඕකට ඉන්දියාවේ මරු කතාවක් තියෙනවා. දේශපාලනඥයා ඉදිරි මැතිවරණය වෙනුවෙන් තීන්දු ගන්නේ, නමුත් රාජ්‍ය තාන්ත්‍රිකයා ඉදිරි පරම්පරාව වෙනුවෙන් තීරණ ගනී කියලා. අපි තීන්දු ගන්නේ අනාගත පරම්පරාව වෙනුවෙන්. ඊට එරෙහිව අපේ ආණ්ඩුව තීරණ ගන්නව නම් අපි ඊටත් එරෙහිව නැගී සිටිනවා.

මම සතුටු වෙනවා ඔබ ඇත්ත කියන එකට. ඒත් සමහර ඇමැතිවරු මේක කියන්නේ නෑනේ. අපි ආර්ථිකයෙන් ශක්තිමත්, අපිට සල්ලි තියෙනවා, අපි බය නෑ වගේ කතා කියනවා. ඇයි ඒ අය මේ ඇත්ත නොකියන්නේ?

ඇත්තටම ආණ්ඩුව ගැන කිව්වොත් පරණ කවියක් තියෙනවා. ඒ තමයි දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියලා. ඒකෙන් අදහස් කරන්නේ වලිගය ඇති ගොනා මැස්සෝ වැහුවම බැට දුන්නට වලිගය නැති ගොනා මැස්සෝ වැහුවත් ඉවසගෙන ඉන්න වෙනවා කියලා. ඒ නිසා අද වෙළෙඳපොළේ සිදුවන ඇතැම් දේවල් දරාගෙන ඉන්න සිද්ධවෙලා තියෙන්නේ විදේශ විනිමය නැති නිසා. ඔව් ඔබ කිව්වා සමහරු තිත්ත ඇත්ත කියන එක වෙනුවට සුරංගනා කතා කියනවා කියලා. එහෙම කරන්නේ ඇයි කියලා ඒ අයගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. ශ්‍රී ලංකාව දරුණු මූල්‍ය අර්බුදයක සිරවී සිටින බවට මුලින්ම ජූනි මාසේ 13 වැනිදා රටට කීවේ මම. මම හෙට කෙතරම් අවාසිදායක වුණන් ඒ තිත්ත ඇත්ත කියනවා.

ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද ලබන වසරේදී ජනතාවට කුසගින්නක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා කියලා?

අවිනිශ්චිත අනාගතය ගැන මට නිශ්චිත අනාවැකි කියන්න බෑ. මාස හයකවත් අනාගතය ගැන නිශ්චිත අදහස් කියන්න බැරි නම් අපි කොහොමද ඉදිරි වසර ගැන කියන්නේ. හැබැයි සමහර යුග තිබුණා එහෙම කියන්න පුළුවන්. නමුත් කොරෝනා තත්ත්වයත් එක්ක ඒක කියන්න බෑ.

රටේ ආර්ථිකයට මුදල් අමාත්‍යංශය, මහ බැංකුව තීන්දු ගත යුතු වුවත් මම පිළිගන්නේ මේ රටේ ආර්ථිකය ගැන තීරණය ගන්න පුළුවන් ප්‍රධාන ආයතනය ඔබේ බලශක්ති අමාත්‍යංශය කියලා. මිනිස්සු ජීවත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නත් පුළුවන් ඔබේ අමාත්‍යංශයට. දැන් කියන්න ඔබේ විෂය පථය පැත්තෙන් මොන වගේ අභියෝගයක්ද තියෙන්නේ?

ඔබ දකින්න ඇති මේ ව්‍යවසනය හමුවේ ලෝකයේ බලවත් රාජ්‍ය පවා බලශක්ති අර්බුදයෙන් බැට කෑවා. ශ්‍රී ලංකාව තමයි මේ වසංගතයට හොඳටම මුහුණ දුන්නේ. මේ වසංගතයට සැපයුම් ක්‍රියාදාමය කඩා වැටීමත් එක්ක ලෝකයේ දැවැන්ත මූල්‍ය අර්බුදයට ලක්වුණු රටක් මේක. රාජ්‍ය ආදායම අඩුම රටක් බවට පත් වුණා. නමුත් එවැනි පසුබිමක තමයි නොකඩවා අපි තෙල් සැපයුම දුන්නේ. ඒ සියල්ල සැලසුම් සහගතව කළේ. මම මේ දවස්වල රටවල් කිහිපයක ඕමානය, ඉරානය, එක්සත් අරාබි එමිර් රාජ්‍ය වගේ රටවල් එක්ක තෙල් මිලදී ගැනීම සඳහා දිගුකාලීන ණය පහසුකම් ගැන කතා කරනවා. සියල්ලම සාර්ථක වෙන තත්ත්වයක් තියෙන්නේ. ඒක වුණොත් මාසෙකට තෙල් මිලදී ගැනීම සඳහා යන ඩොලර් මිලියන 300ක ඉල්ලුම හමාර වෙනවා. ඒ සමඟම රුපියල ස්ථාවර වෙයි කියලා මම හිතනවා. ඔබ කියනවා වගේ දැවැන්ත වගකීමක් මට තියෙනවා. ලංකාවේ ඉතිහාසයේ දැවැන්තම ණය ලබාගැනීමට මට හැකියාව ලැබිලා තියෙනවා. ඒක අභිමානයක් නෙමෙයි. නමුත් විශේෂයෙන් බංකලොත්භාවයට සමීප රටක් හැටියට ශ්‍රේණිගත වෙලා තියෙද්දී මෙවැනි ණයක්  ලබාගැනීමෙදි ඇදහිය නොහැකි ජයග්‍රහණයක්.

ඔබ හිතලා කිව්වද නැද්ද මම දන්නේ නෑ. ඒත් ඔබ පිළිගන්නවා ඇත්තටම රට බංකොලොත් බවට වාර්තාවල තියෙනවා කියලා?

ඒක මා ප්‍රකාශ කළ පළමු අවස්ථාව නෙමෙයි. අපි ඉන්නේ ශ්‍රේණිගත කිරීම අනුව සීඒඒ කියන වර්ගීකරණයේ.

ඔබ ඔහොම කිව්වට ඇත්ත. රටේ වගකිව යුතු ඇමැතිවරු කියන්නේ අපි එහෙම බංකොලොත් නෑ කියලනේ? ඇයි රටේ මිනිස්සු රවට්ටන්නේ?

වරක් ලෙනින් පැවසුවා ආණ්ඩුවකට තියෙන ලොකුම සම්පත ජනතා විශ්වාසයයි කියලා. ඒ නිසා ඇත්ත කෙතරම් තිත්ත වුවත් ඒ ඇත්ත කියලා ඒ සම්පත රුකගමු කියලයි ඔහු කිව්වේ. මම මාක්ස්වාදියකු නොවුණත් පාසල් කාලයේ එම න්‍යාය ඉගෙනගෙන තියෙනවා. ඒ න්‍යාය පිළිගන්න කෙනෙක් මම. මම කවදාවත් ජනතාවට බොරුවක් කරලා නෑ. මම අභියෝගයක් කරල තියෙනවා මම බොරුවක් කියලා තියෙනවා කියලා ඔප්පු කළොත් එදාට දේශපාලනයෙන් සමුගන්නවා කියලා. හැබැයි අපි කිව්ව කතා බොරු කිව්ව වගේ සංස්කරණ කරල සමහර අවස්ථාවල සමාජ මාධ්‍යවල පවා දාලා තිබුණා. 

මේ රටේ බහුතර ආයතන සංඛ්‍යාවක් ඔබේ අමාත්‍යංශයට ණයයි. ඔබේ ආයතනය නිසා තමයි අනෙක් ආයතන මේ රටේ දුවන්නේ. එහෙම තියෙද්දී ඔබ ලෝකෙට ණය වෙනවා. ඒත් ඔබේ ණය ගෙවන්න කෙනෙක් නෑ. මෙහෙම දුවන්න පුළුවන්ද?

සාමාන්‍යයෙන් තෙල් සංස්ථාව වත්කම් ඉක්මවා වගකීම් ඉටු කිරීම වෙනුවෙන් බංකොලොත්භාවයට පත්වෙන්නේ 2008 වගේ ඈතක. එහෙම වෙලත් දැවිතෙල් ලීටරයක් 110 වෙලා තිබියදීත් මේ රටේ විදුලි නිෂ්පාදනය කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බලාගාරවලට ලබාදෙන්නේ රුපියල් 70කට. රුපියල් 100ක පිරිවැයක් තියෙන භූමිතෙල් ලීටරයක් අපි ධීවර ප්‍රජාවටත්, විදුලිය නැති ග්‍රාමීය ප්‍රජාවටත් ලබා දෙන්නේ රුපියල් 70කට. ඔබ කිව්වා වගේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපිට බිලියන 67ක් ණයයි. විදුලිබල මණ්ඩලය අපිට බිලියන 89ක් ණයයි. ඒවා දරාගෙන ඉන්නේ අපිට මේ රටේ ආර්ථිකය වෙනුවෙන් විශාල වගකීමක් තියෙන නිසා. අපි මේ පාඩුව නිසා රාජ්‍ය බැංකුවලින් ඩොලර් බිලියන 3.6ක ණයක් අරගෙන තියෙනවා. ලංකාවේ මුදලින් බැලුවොත් කෝටි 73800ක් ණයයි. මේ ණය ගෙවාගන්න බැරි වුණොත් මේ රාජ්‍ය බැංකු දෙක කඩා වැටෙනවා. මේ නිසා කොන්ද කැඩෙන ආකාරයට සංස්ථාවට බර නොපටවන්න ආණ්ඩුවටත් වගකීමක් තියෙනවා.

දැනටත් කොන්දේ ඇට දෙක තුනක් කැඩිලා නේද තියෙන්නේ?

දුවන්නෙ හරිම අමාරුවෙන්. මම මේක ගැන රටට කියලා තියෙනවා. මම විශ්වාස කරන්නේ වාසි සහගත දේ නෙමෙයි සත්‍යයි ජනතාවට කියන්න ඕන කියලා. අපිට දරන්න බැරි ප්‍රමාණයට දැන් බරවෙලා තියෙන්නේ. අපිට සහනයක් දෙන්න කියලා මුදල් අමාත්‍යංශයට පවා කිව්වා. මුදල් අමාත්‍යංශය සහනයක් නොදුන්නොත් මේ ආයතනය කඩා වැටෙනවා. එහෙම වුණොත් රටේ ආර්ථිකය කඩා වැටෙනවා කියන එකත් ආණ්ඩුවට කියනවා.

සහනේ කිව්වේ තෙල් වැඩි කරන්න අවසර දෙන එකද?

සහන කිපයක් තියෙනවා. එකක් මේ රාජ්‍ය බැංකුවල ණය ගෙවන එක. දෙක තෙල් මත තියෙන බදු අඩු කරන එක. එහෙම නැත්තම් තෙල් මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබාදෙන්න ඕන.

දැනට තියෙන හොඳම විසඳුම ඔබලා හිතන්නේ තෙල් වැඩි කරලා ජනතාව වෙනුවෙන් මේ බර පැටවීම නේද?

ජනතාව දැන් ඉන්නේ ඉතාම අමාරුවෙන්. ඒ නිසයි මම කිව්වේ භාණ්ඩාගාරයෙන් දැන් සහනයක් ලැබෙන්න ඕන. භාණ්ඩාගාරයෙන් විකල්පයක් දෙන්නේ නැත්තම් තෙල් සංස්ථාවට වෙන්නේ ජනතාවට ඒ බර පටවන්න.

ඔබ නියෝජනය කරන කැබිනට් එකේ අය තමයි ඔබේ ආයතනවලින් ණයට බඩු අරන් තියෙන්නේ. සහනයක් දෙන්න පුළුවන් නම් දෙන්නත් පුළුවන් වෙන්නේ. ඔය තීරණ ඇයි සාමූහිකව කතාබහ කරලා ගන්න බැරි?

ඕක අහන්න ඕන ඒ අයගෙන් මිස මගෙන් නෙමෙයි.

මට හිතෙනවා ඔබ තනිවෙලා වගේ?

මම මාව දැකලා නෑ. ඔබට එහෙම පේනවද?

මේ හැමදේටම තියෙන එකම උත්තරය අයි.එම්.එෆ් එකෙන් ණය ගන්න එක කියලා තමයි හැමෝම කියන්නේ. ඒත් ආණ්ඩුව තවම තීරණයක් නෑ. ඔබ හිතන්නේ මොකක්ද හොඳ දේ?

අයිඑම්එෆ් එකත් එක්ක ගිවිසුම්වලට යන්නේ නැත්තේ මුදල් අමාත්‍යංශය ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි සපුරන්න නොහැකි තත්ත්වයක නිසා. සාමාන්‍යයෙන් අයිඑම්එෆ් සහනයක් දෙන්න අයවැය හිඟය 5% දක්වා පහතට ගේන්න ඕන. උද්ධමනය තනි ඉලක්කමක පවත්වාගත යුතුයි කියලා දැනුම් දෙනවා. විදේශ විනිමය අනුපාතය පාවි ඉඩ අරින්න දැනුම් දෙනවා.

ඇයි ඒවා කරන්න බැරි?

එහෙම කරන්න බැරි තරමට ආර්ථිකය දුර්වල වෙලා. මම කියන්නේ යනවා නම් දැන්ම යන්න ඕන. මොකද තව පරක්කු වුණාම අපි තව දුර්වලයි. එතකොට තව කොන්දේසි දාන්න පුළුවන් වෙනවා. හැබැයි මුදල් අමාත්‍යංශය කියනවා නම් අයිඑම්එෆ් එක්ක ගිවිසුමකට නොයා කරන්න පුළුවන් කියලා, එහෙනම් හොඳයි. හැබැයි යන්න වෙනවා වගේ නම් දැන්ම යන්න ඕන.

ඔබලා ජනතාව වෙනුවෙන් කියලා තීරණ අරගෙන ගැසට් ගහනවා. ඊට පස්සේ ඒවාට අනුව පේන්න වැඩ කරනවා. වැඩේ කරගන්න බැරි වුණාම ඔක්කොම රිවර්ස් කරනවා. ඇයි මේ ගැසට් කැසට් ගාණට ගහන්නේ?

එකම එක උත්තරයි තියෙන්නේ. ඒ විදේශ විනිමය අර්බුදය. මම මුලින්ම ඒක පැහැදිලි කළා. පාලන මිල කියලා දාන්නේ වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලක්. ඒ පාලන මිලේදී සැපයුමට වඩා ඉල්ලුම වැඩියි. එතකොට ඉල්ලුම් අතිරික්තයක් නිර්මාණය වෙනවා. අන්න ඒ අතිරික්තය පියවන්න පිටින් භාණ්ඩ ගෙනත් අතාරින්න වෙනවා. ඒක තමයි සතොස ඒ කාලේ පිටරටින් භාණ්ඩ ගෙනල්ලා කළේ. නමුත් දැන් එහෙම ගේන්න බෑ, විදේශ විනිමය නැති නිසා. එතකොට ගහන ගැසට් වැඩ කරන්නේ නෑ. එතකොට පිටරටින් භාණ්ඩ ගේන්න බැරි නිසා තවදුරටත් මිල පාලනය කරන්න බෑ. අන්න ඒ නිසා තමයි අතීතයේ වැඩ කරපු ගැසට් මෙදා පාර කැසට් වුණේ.

ආණ්ඩුව ගැසට් ගහලා ඇමැතිවරු චණ්ඩි පාට් පවා දැම්මනේ?

මෙහෙමනේ. ගැසට් ගහලා නම්‍යශීලී වෙන්න බෑ. ආණ්ඩුව බැලුවේ ගැසට් එක ගහලා බය කරන්න. මේක සිතුවිලි ගැන ප්‍රශ්නයක්. ව්‍යාපාරිකයා ගැසට් එක දැකලා දැන් බඩු පිටරටින් එයි කියලා හිතුවොත් අන්න පාලන මිල ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙන්නේ නෑ කියලා හිතුණොත් ගැසට් එක වැඩ කරන්නේ නෑ. නමුත් අපිට භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වීම නිසා මේ පාර ගැසට් කැසට් වුණා.

හරි. අන්තිම වශයෙන් අහන්නේ කවද්ද තෙල් මිල වැඩි කරන්නේ? ඇත්ත කියන්න?

කෙතරම් පාඩු ලැබුවත් හැකිතාක් දුරට ඉන්ධන මිල ඒ විදිහටම තියාගන්න එක මගේ අරමුණ. මම කිව්වා වගේ ණය ඉල්ලීම් කිහිපයක් සිදු කරලා තියෙනවා. ඒවා සාර්ථක වුණොත් පාඩු පිට හරි ජනතාවට මේ මිලට දෙන්න පුළුවන්. ඒ තෙල් මිලදී ගන්න මුදල් තියෙන නිසා. එතෙක් තෙල් මිල වැඩි නොකර සිටින්න මම සූදානම්.

0 comment
0

Related Posts

Leave a Comment