Home කාලීන පුවත් ගාලු පුරේ සිරි මැවෙයි අසිරි ලෙසේ

ගාලු පුරේ සිරි මැවෙයි අසිරි ලෙසේ

by Hela news

සංචාරකයන්ගේ ආකර්ෂණයට පාත්‍ර වුණු අපේ රටේ සුන්දර ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මේවනවිටත් රජය ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධන ඉලක්කයන් කරා යන ගමනේ දී සංචාරකයන්ගේ අවධානය දිනාගත් පෞරාණික ස්මාරක සංරක්ෂණය කර ඒ ආශ්‍රිතව නව වෙළෙඳ පොළවල් ඇති කර ජන ජීවිතය වඩා පහසු කිරීම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ හත්වන පරිච්ඡේදය තුළ සඳහන් කර තිබේ. ඒ අනුව ලංකාව පුරාම සිදු කිරීමට නියමිත මේ ව්‍යාපෘති සැලැස්මට අනුව මේ වන විට ජාතික නගරයක් ලෙස සංවර්ධන කටයුතු සිදු වෙමින් පවතිත ගාල්ල දිස්ත්‍රික්කය පිළිබඳ අපි අවධානය යොමු කළෙමු.

ඒ අනුව මහ ගාල්ල සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන නගර හතක් සහ පළාත් පාලන ආයතන දාහතරක් සම්බන්ධ කර ගෙනය. ජාතික නගරයක් ලෙස මහ ගාල්ල නගර සංවර්ධන සැලැස්මේ එක් මූලික අදිරයක් වන්නේ ගාල්ල කොටු පවුර සංවර්ධන සැලැස්මය. මෙහිදී ගාල්ල පුරවරයේ අනන්‍යතාව සඳහා ප්‍රමුඛත්වයක් ලබාදී තිබේ. ඒ අනුව ගාල්ල කොටුව, ගාලු වරාය සහ සාගරය මුලික කරගෙන සෙසු ප්‍රදේශ සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ. දෙස් විදෙශ් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ලෝක උරුම නගරයක් වූ ගාලු කොටුව ගාලු පුරවරයේ හදවත බඳුය. ගාල්ල කොටු පවුර පෘතුගීසි යුගයෙන් ආරම්භ වී, පසුව ලන්දේසි සහ ඉංග්‍රීසි යුගයන්වල සංවර්ධනය වුණු ඓතිහාසික ස්ථානයක් ලෙස හඳුනා ගත හැකිය. මීට පුරාවිද්‍යාත්මක සහ වාස්තු විද්‍යාත්මක වශයෙන් විශාල වැදගත් කමක් හිමි වේ. මෙම ව්‍යාපෘතිය මඟින් ගාලු කොටු පවුර අනුවර්තී නැවත භාවිතය යන සංරක්ෂණ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කෙරේ. මෙහිදී ගාල්ල කොටුව කේන්ද්‍රව ඇති වී තිබෙන සමාජ ආර්ථික සංස්කෘතික වටපිටාව කෙරෙහිද මුලික අවධානය යොමු කර තිබේ.

මහ ගාල්ල නගර සංවර්ධන සැලැස්ම යටතේ ගාල්ල කොටුව තුළ සිදුවන සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකු ආධාර යටතේ වැය කෙරෙන මුදල රුපියල් මිලියන 625ක් බව නාගරික සංවර්ධන අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂ වරලත් නගර නිර්මාණ ශිල්පී අනුර මැදවල අප සමඟ පැවසීය.

මෙම සංරක්ෂණ කටයුතු සිදු කිරීමේදී මෙහි ඇති පෞරාණික ගොඩනැඟිලි හා ඉදිකිරීම්වල මූලික සැලසුම් අදාළ රටවල්වලින් ගෙන්වාගෙන අධ්‍යයනය කර සියලු පුරාවිද්‍යාත්මක නියමයන්ට අනුකූලව සිදු කිරීමට කටයුතු කිරීම විශේෂය. සංරක්ෂණ විශේෂඳයින්, වාස්තු විශේෂඥයන් සහ වරලත් ඉන්ජිනේරුවන් වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහය මේ සඳහා යොදාගනී. පුහුණු නොපුහුණු ශ්‍රමිකයන් මෙම ප්‍රවීණයන් යටතේ පුහුණු වැඩමුුළු හරහා පුහුණු කිරීමෙන් අනතුරුව මෙම කටයුතු සඳහා යොදා ගැනීම කැපී පෙනෙන්නකි. කොටුපවුර ආශ්‍රිතව ඉදිකිරීම්වලදී නවීන මූලද්‍රව්‍ය කිසිවක් පාවිච්චි නොකරන අතර පැරණි ගෘහනිර්මාණ තාක්ෂණය මේ සඳහා යොදා ගනී. ගාලු කොටුව තුළ කෙරෙන සංවර්ධන කටයුතු අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වේ. පළමු අදියර යටතේ කිලෝමිටර් 3.2ක් පමණ දිගකින් යුත් කොටු බැම්ම, මුරකුටි, පතොරම් ගබඩාසංකීරණය, බන්කර පිළිසකර කිරීමට නියමිතය. මෙලෙස පිළිසකර කර සංරක්ෂණය කළ ස්ථානවල අලංකරණ කටයුතු සිදු කිරීම දෙවන අදියර යටතේ සිදු වේ. ඒ අනුව මීටර් දෙදහක් පමණ මන්තීරු සකස් කිරීම, වර්ග මීටර් 48000ක භූ දර්ශන (Landscape) නිමැවීම, කොටු බැම්ම හා පැරණි ඔරලොසු කනුව එල්ඊඩ් ප්ලැසර් යොදාගෙන ආලොකවත් කිරීම ඒ අනුව සිදු වේ. රාත්‍රියට ඉතාම අලංකාර ලෙස කොටු බැම්ම ගලු නගරයට දිස් වීමට සැලැස්වීම මෙහි අරමුණයි.

බංකු සවි කිරීම, ස්මාරක අසල විස්තර ඇතුළත් පුවරු සවි කිරීම, පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යුගයන්වල කලතුවක්කු ප්‍රතිනිර්මාණය කර අදාළ ස්ථානවල ස්ථානගත කිරීමටද මේ යටතේ සිදු වේ. ඒ අනුව කාලතුවක්කු අනුරූ 36ක් නිර්මාණය කර ස්ථානගත කිරීමට නියමිතය. ඒ සඳහා ත්‍රිකුණාමලයේ මඩකලපුව වැනි ස්ථානවලින් හමු වූ කාලතුවක්කු අධ්‍යයනය කර සහ අදාළ රටවලින් ඒ පිළිබඳ තොරතුරු ගෙන්වා ගෙන මේවා ඉදි කර තිබීම විශේෂය. ඒ අනුව ලංකාවේ කාලතුවක්කු අනුරූ සවිකර ඇති පළමු වැනි කොටු පවුර බවට ගාල්ල කොටු පවුර පත්වේ. මීට ප්‍රථම ජනතාවට නිරාවරණය නොවූ පතොරම් බංකර සහ භූගත වෙඩි බෙහෙත් ගබඩා ආදිය පිළිසකර කර ප්‍රදර්ශන කුටි හැටියට පවත්වාගෙන යාමට නියමිතය. මින් ලැබෙන ප්‍රතිලාභය වන්නේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සහ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කර රටට අවශ්‍ය විදේශ විනිමය ඉපයීමය. තොරතුරු සඳහන් පුවරු සවි කරන නිසා ඕනෑම කෙනකුට මේ තුළට පැමිණ ස්වයං අධ්‍යයනයක් කළ හැකි වේ. ගාල්ල කොටුවේ අනුරූ දෙකක් සාදා ප්‍රධාන ස්ථාන දෙකක ස්ථාපිත කිරීමට නියමිතය. ඉන් ඕනෑම අයකුට තමන් සිටින ස්ථානය ගැන ක්ෂණික වැටහීමක් ලබාදීම අපේක්ෂා කරන බව උපායමාර්ග නගර සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂිකා වරලත් වාස්තුවිශේෂඥ ද්‍රෟපදී දහනායක පැවසූවාය.

පසුගිය කාලයේ තාරකා කොටු බැම්ම කඩා වැටී තිබුණි. මේවන විට එහි ඉදිකිරීම් කටයුතු සියයට අනූපහක් පමණ අවසන් වී ඇති අයුරු එහි ගිය අපට දැකගත හැකි විය. මේ පිළිබඳව ගාල්ල කොටුව පරිශ්‍රයේ සියලු සංරක්ෂණ ව්‍යාපෘතිවල අධීක්ෂක ලෙස කටයුතු කරන පුරාවිද්‍යා සංරක්ෂණ විශේෂඥ නිලාන් කුරේගෙන් අපි විමසීමක් කළෙමු. “ලන්දේසින් හොඳ වාස්තුවිද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන් වුණාට ඔවුන් මේ බැම්මේ පළල හරියට නිර්ණය කර ගන්න බැරුව මීටර් හතරක් පළලට තමයි ඉදිකර තිබුණේ. කොච්චර පළලට මේ බැම්ම තියෙන්න ඕනද කියල අධ්‍යයනය කර බලද්දි මීටර් හයක් පළලට තියන්න ඕන බව අපට වැටහී ගියා. නමුත් ලොකුම අභියෝගය වුණේ පෘතුගීසි යුගයේ මේ සඳහා යොදාගෙන තිබුණු බදාම සකස් කර ගැනීමයි. මේ සඳහා ඔවුන් යොදාගෙන තිබුණේ හුණු වැලි සහ ගඩොල් කුඩු නැතිතම් උළු කුඩුයි. අපට බැහැ සිමෙන්ති වැනි බදාමයක් මේ සඳහා යොදන්න.

මොකද ඒ බඳාම එකකට එකක් සම්බන්ධ වෙලා තනි ස්ථරයක් බවට පත් වන්නේ නැහැ. ඒ නිසා ඊට සමාන බදාමයකින් මේ ඉදිකිරීම කළ යුතු වුණා. ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් එකතු වී කල්පවතින බදාමයක් සකස් කර මේ සඳහා යොදා ගත්තා. පහළ සිට බැලුවොත් අඩි පනහක් පමණ උස බැම්මක් තමයි අපි දැන් මේ පුරවල ඉදිකිරීම් කටයුතු කරගෙන එන්නේ. මෙතරම් ලොකු පළල බැම්මක් එහි මුල් බදාමයට සමාන බදාමයකින් ලංකාවේ ඉදි වෙන්නේ ප්‍රථම වතාවට. වර්ෂාව කාලෙට මේ පසට ජලය උරාගෙන තෙතමනය වැඩිවෙලා බරවැඩි වෙනවා. එවිට බැම්ම කඩාගෙන යන්න බලනවා. එය වළකා ගැනීම සඳහා ජියෝ බ්‍රිජ් තාක්ෂණය මේ සඳහා යොදාගෙන තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම පිටරටින් ආනයනය කර මේ ඉදිකිරීම සඳහා යොදාගෙන තිබෙන්නේ. ඉන් සම්පූර්ණයෙන්ම පසට එකතුවන වතුර පෙරිලා ඉවත්වන නිසා තෙතමනය රැඳෙන්නේ නැහැ. මෙය නැවත කඩා නොවැටෙන ලෙස ඉදිකිරීම තමයි මේ සඳහා නූතන තාක්ෂණය යොදා ගැනීමේ මූලික පරමාර්ථය වුණේ.

නමුත් අනෙක් සියලු දෑ එදා යුගයේ පිරියම් කළ හුණු උළු හෝ ගඩොල් කූඩු මිශ්‍ර බදාමයෙන් තමයි සිදු කළේ. මෙය නැරඹීමට පැමිණෙන සියලුම සංචාරකයින්ට පෘතුගීසි, ලංදේසි සහ ඉංග්‍රීසි යන යුගයන්වල ඔවුනොවුන්ගේ ඉදිකිරීම් තාක්ෂණය වෙනවෙන් වශයෙන් ගාලුකොටුවේදී දැකගත හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. මෙම සියලු කටයුතු මේ වර්ෂය අවන් වන විට නිම කළ හැකි බව ” හෙතෙම පැවසීය. පසුගිය කාලයේ කඩා වැටුණු පල්ලිය වීදිය පිහිටි පැරණි තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල එවක ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ නිල නිවස ලෙස භාවිතා කිරීමට ඉදි කරන ලද්දකි. අනතුරුව ප්‍රධාන ලිපිකරු ගෙ නිල නිවස බවට පත් වූ අතර, බ්‍රිතාන්‍ය යුගයේදී හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ නිල නිවස ලෙස ද භාවිත කර ඇත. පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගමේ මූලස්ථානය ලෙස භාවිතා කර ඇති මෙම ගොඩනැගිල්ලේ කොටසක් බ්‍රිතාන්‍ය යුගයේදී ආහාර ගබඩාවක් ලෙස භාවිතා කර ඇත.

19 වන ශත වර්ෂය වන විට තැපැල් කාර්යාලය කටයුතු සඳහා භාවිතා කෙරුණු අතර, ශ්‍රී ලංකාව පිහිටුවන ලද මුල්ම තැපැල් කාර්යාල පහෙන් එකක් ගාල්ල කොටුව තුළ ස්ථාපිත කෙරිනි. පසුකාලීනව එම තැපැල් කාර්යාලය මෙම ගොඩනැගිල්ලේ කොටසක පවත්වාගෙන ගොස් ඇත. 1974 වර්ෂයේ දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති මෙම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම නිසා දිනෙන් දින ගරා වැටිණි. මේ වන විට එහි ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතින අතර එය තැපැල් කෞතුකාගාරයක් හා නිවාඩු නිකේතනයක් ලෙස සංවර්ධනය කර පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වේ.

අනතුරුව අප ගමන් කළේ ගාල්ල සිට බද්දේගම දක්වා දිවෙන මාර්ගයේ පිහිටි හෝලුවාගොඩ කුඹුරුයාය කේන්ද්‍ර කරගෙන ඉදිවන දියදම් උයන කෘෂි පාරිසරික උද්‍යානය වෙතය. මෙය කෘෂිකර්මාන්තයත් පරිසරයත් එකට සම්බන්ධ කරමින් සිදු කරන ව්‍යාපෘතියකි. අක්කර 13ක වපසරියක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට යෝජිතය. පරිසර පද්ධතිය පිළිබඳ නැති නම් මෙහි ජෛව විවිධත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර සිදු කරන ව්‍යාපෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. වසර පනහකට අධික කාලයක් පුරන්ව ගිය කුඹුරු යායක් මේ ව්‍යාපෘතිය සඳහා උපයෝගී කරගෙන තිබේ. මෙම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සහ කෘෂිකර්මාන්තය දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණය. මෙහි කෘෂිකාර්මික කටයුුතුු සිදු කරන්නේ සෝජාන් ක්‍රමයට වන අතර, ඔරුවක් හෝ පාරුවක් උපයෝගී කරගෙන අස්වැන්න නෙළීම මෙම ක්‍රමයේ තිබෙන විශේෂත්වයයි. මෙහිදී මෙම සෝජාන් වගා භූමියෙන් නෙළා ගන්නා එළවළු පලතුරු ආහාරයට ගත හැකි පරිදි ඉතාම නවීන අංගෝපාංගවලින් සුසැදි හෙළ බොජුන්හලක් සහ රථගාලක් ද මේ තුළ ඉදි කෙරේ. මෙය වර්ග අඩි හත්සිය හැත්තෑවකින් සමන්විත දෙමහල් ගොඩනැඟිල්ලකි. බිම්මහල වර්ග අඩි 594කි. පළමු මහල වර්ග අඩි 120කි. බිම්මහල සහ පළමු මහල උපයෝගී කරගෙන කෘෂි භෝග අලෙවි කිරීමත්, කෘෂිකාර්මික පැළ ප්‍රදර්ශනය කිරීම, අපනයන කෘෂිකර්ම භෝග ප්‍රවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයක් ඇති කිරීම මෙම නව්‍ය ව්‍යාපෘතියේ මූලික අරමුණු අතර වේ. ඒ ආශ්‍රයෙන් දෙස් විදෙස් සංචාරකයන්ට නැවුම් අත්දැකීමක් ලබාදෙමින් වඩ වඩා ඔවුන් ආකර්ෂණය කර ගැනීම ද මෙමඟින් බලාපොරොත්තු වේ.

ගාලුපුරවරයේ සංවර්ධනයට සමගාමීව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු කෙරෙන තවත් ව්‍යාපෘතියක් වන්නේ ගාල්ල නගරයට සමීපව ඇති ප්‍රධාන උප නගරයක් වන බද්දේගම ඉදිවන බස්නැවතුම්පළය. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 42කි.

මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු සියයට අනූපහක් පමණ මේවනවිට නිමකර ඇත. ඉතිරිව ඇත්තේ භූ දර්ශන(Landscape) කටයුතු පමණි. මින් නගරය අවට ප්‍රදේශවල ජීවත් වන වැසියන්ගේ සහ නගරයට දිනපතා ඒන ජනතාවගේ පවතින ගැටලුවලට විසඳුම් ලබා දෙමින් නගරයට වටිනාකමක් සහ අලංකාරයක් එක්කිරීම අපේක්ෂාවය.

0 comment
0

Related Posts

Leave a Comment