Home ක්‍රීඩා පුවත් ගාලු ක්‍රීඩකයෝ තරගාවලියේ දෙවැනි ජයත් ලබති.

ගාලු ක්‍රීඩකයෝ තරගාවලියේ දෙවැනි ජයත් ලබති.

by Hela news

එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙස කැන්ඩි වොරියස් පිල සමඟ ඊයේ රාත්‍රියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගය කඩුලු 4කින් ජය ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් පිල සමත් වූයේ මෙවර තරගාවලියේ දෙවැනි ජය සටහන් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි පිල ලකුණු 143කට සීමා කළ ගෝල් පිල කඩුලු 6ක් දැවී තිබියදී ඉලක්කය සපුරා ගත්තේ පන්දු 4ක් ද ඉතිරි කර ගනිමිනි.

ගෝල් පිලට වේගවත් ආරම්භයක් දුන් ධනුෂ්ක ගුණතිලක පන්දු 33කින් ලකුණු 45ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟිනි. ඔහු දෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමඟ තවත් කඩුලු 2ක් ලකුණු 5ක් තුළ බිඳ වැටුණු අතර, නායක භානුක රාජපක්ෂ සහ ළහිරු මදුශංක පන්දු 13කින් ලකුණු 22ක් බැගින් රැස් කරමින් ගෝල් ජයග්‍රහණය ඉක්මන් කළහ. පන්දු යැවීමේදී සචිඳු කොළඹගේ ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තේය.

කැන්ඩි ඉනිම ආරම්භ කළ අහමඩ් ෂෙසාඩ් ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 56ක් රැස් කර සිටියදීය. පන්දු 51ක් වැය වූ ඔහුගේ ඉනිම හතරේ පහර 7කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. මෙවර තරගාවලියේ වාර්තා වූ තෙවැනි අර්ධ ශතකයට හිමිකම් කී ෂෙසාඩ් තෙවැනි කඩුල්ලට කමිඳු මෙන්ඩිස් සමඟ එක්ව ලකුණු 83ක සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 57කිනි.

කමිඳු මෙන්ඩිස් හතරේ පහර 4ක් සමග පන්දු 25කින් ලකුණු 32ක් රැස් කළ අතර, ඉනිම අග භාගයේ වේගවත් පිති හරඹයක නිරත වූ තිලකරත්න සම්පත් පන්දු 9කින් නොදැවී ලකුණු 19ක් ඉනිමට එක් කළේය.

පන්දු යැවීමේදී ස්මිට් පටෙල් ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තේ මෙවර තරගාවලියේ හොඳම පන්දු යැවීම ද සටහන් කරමිනි. ධනංජය ලක්ෂාන් කඩුලු 2ක් දවාගත් අතර, ඔහු තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

යාපනයට පහසු ජයක්

වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණයේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් තරගාවලියේ 4 වැන්න ලෙස ඊයේ පස්වරුවේ දඹුල්ල ජයන්ට්ස් පිල සමඟ පැවැති තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල පිල ලකුණු 110කට සීමා කළ ජැෆ්නා ක්‍රීඩකයන් ඕවර 12.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ කඩුලු 2ක් දැවී තිබියදීය.

ජැෆ්නා පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස රහ්මනුල්ලා ගුර්බාස් (3) දැවී යෑමෙන් පසු ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක් වූ ටොම් කොලර් කැඩ්මෝර් නොදැවී ලකුණු 45ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

අවිශ්ක සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 63ක් එක් කළ කැඩ්මෝර් පන්දු 30කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි.පන්දු 27කදී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් රැස් කිරීමට අවිශ්කට හැකි විය. ෂොයිබ් මලික් පන්දු 10කදී නොදැවී ලකුණු 26ක් ඉනිමට එක් කළේය.

ලකුණු 23ක් රැස් කළ නුවනිඳු ප්‍රනාන්දු දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, ජැෆ්නා පන්දු යවන්නන් හමුවේ ලකුණ 20 සීමාව පසු කළ හැකි වූයේ නුවනිඳුට පමණි.

පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 16කට කඩුලු 3ක් සහ මහීෂ් තීක්ෂණ නිලකුණු ඕවරයක් ද සමඟ ලකුණු 22කට කඩුලු 3ක් දවාගත් අතර, ජේඩ්න් සීල්ස් සහ සුරංග ලක්මාල් කඩුලු 2 බැගින් බිඳ දැමූහ. තරගයේ වීරයා සම්මාන තීක්ෂණට හිමි විය.

0 comment
0

Related Posts

Leave a Comment