Home ක්‍රීඩා පුවත් ග්‍රිෆිත් ජොයිනර් ට අභියෝගයක් එලීන් තොම්සන් වංගුවෙන් හැරේ

ග්‍රිෆිත් ජොයිනර් ට අභියෝගයක් එලීන් තොම්සන් වංගුවෙන් හැරේ

by Hela news

ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර්ගේ මීටර් 100 හා මීටර් 200 ලෝක වාර්තා දෙක ම යම් අනතුරක ඇත්නම් ඒ එම වාර්තා අසලට පැමිණ සිටින එලීන් තොම්සන්ගෙන් යැයි පැවසීම වරදක් නැත.

ජවන හා පිටිය මලල ක්‍රීඩාවේ ප්‍රේක්ෂක අවධානය වැඩි වශයෙන් හිමි වන්නේ කෙටි දුර ධාවන ඉසව්වන්ට ය. උසේන් බෝල්ට් මෙන් ම ෆ්ලෝරන්ස් ග්‍රෆිත් ජොයිනර් හෙවත් ෆ්ලෝ ජෝ ද ලෝක ප්‍රකට තරු බවට පත්ව ඇත්තේ කෙටි දුර ධාවන තරගවල දී ඔවුන් ප්‍රදර්ශනය කළ අමතක නොවන දස්කම් නිසා ය.

උසේන් බෝල්ට් මීටර් 100 හා 200 තරගවල දී පිට පිටම ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙකක දී රන් පදක්කම් දිනාගත් එකම ක්‍රීඩකයා ය. එසේම එම ඉසව් දෙකේ ම ලෝක වාර්තාවන් හී අයිතිකාරයා ද ඔහු ය.

ඔහුගේ මීටර් 100 වාර්තාව තත්පර 9.58 කි. මීටර් 200 වාර්තාව තත්පර 19.19 කි. ඔහු මේ වාර්තා දෙක ම පිහිටුවා ඇත්තේ 2009 වසරේ බැවින් එම වාර්තාවන් හී ආයු කාලය දැන් වසර 12 කි.

නමුත් මෙම ඉසව් දෙකේ කාන්තා ලෝක වාර්තාව වසර 33 ක් පැරැණි ය. තත්පර 10.49 ක් ලෙස හා තත්පර 21.34 ක් ලෙස එම ලෝක වාර්තා දෙකට ම 1988 වසරේ සිට හිමිකම් කියන්නේ අමෙරිකානු ක්‍රීඩිකා ෆ්ලෝ ජෝ ය.

මලල ක්‍රීඩාවේ කුමන හෝ ඉසව්වක ආයු කාලය දීර්ඝ වන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ එම වාර්තා බිඳ දැමීම පහසු නැති බව ය. එබැවින් ෆ්ලෝ ජෝ ගේ ලෝක වාර්තා දෙක ම තවත් කාලයක් යෙහෙන් වැජඹීමට අවස්ථාව ඇතැයි සිතිය හැකි ය.

එවැනි තත්ත්වයක් දැනට පැවැතිය ද ඇය පසුපස හඹා එන ක්‍රීඩිකාවක් සිටින බව ද අමතක නොකළ යුතු ය. ඇය නමින් ජැමෙයිකාවේ එලීන් තොම්සන් ය.

පසුගිය දා නිමාවට පත්වූ ටෝකියෝ ක්‍රීඩා උළෙල ඇය මීටර් 100 තත්පර 10.61ක දී අවසන් කොට 10.62 ක් වූ ෆ්ලෝ ජෝ සතුව තිබූ ඔලිම්පික් වාර්තාව බිඳ දැමුවේ ද මීටර් 200 ඉසව්ව තත්පර 21.53 ක දී අවසන් කොට ජාතික වාර්තාවක් පිහිටුවනු ලැබුවේ ද රන් පදක්කම් ගෙල පලඳමිනි.

තවද ඇය 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ද මෙම ඉසව් දෙකේ රන් පදක්කම් දිනා සිටි බැවින් පිට පිට ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙකක දී කෙටි දුර ධාවන ඉසව් දෙකේ ම රන් පදක්කම් දිනූ පළමු ක්‍රීඩිකාව වෙමින් උසේන් බෝල්ට් හා සම වීමට ද සමත් වූවා ය.

කෙසේ වුවද ටෝකියෝ ක්‍රීඩා උළෙලට ජැමෙයිකානු මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීම සඳහා පවත්වන ලද තේරීම් තරගාවලියේ දී ඇය තෙවැනි ස්ථානයට පත්ව ඔලිම්පික් ක්‍රීඩා උළෙල මඟ හැරෙන අවධානමකට ලක්ව සිටියා ය. නමුත් කොරෝනා වසංගතය නිසා ක්‍රීඩා උළෙල වසරකින් කල් දැමීම හේතුවෙන් තමන්ගේ හැකියාව පෙන්වීමට ඇයට තවත් අවස්ථාවක් ලැබිණි.

එවර ඇය අමෙරිකාවේ ඉයුජින් හී පවත්වන ලද ප්‍රිෆෝන්ටේන් ක්ලැසික් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී මීටර් 100 තත්පර 10.54 ක දී අවසන් කර එම ඉසව්වේ ලෝක දෙවැනි හොඳම කාලය සටහන් තැබුවා ය. තත්පර 10.54 යනු 1988 වසරේ ෆ්ලෝ ජෝ විසින් තත්පර 10.49 ක් ලෙස අලුත් කළ ඇගේ ම පැරැණි ලෝක වාර්තාව ය.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 හා 200 රන් පදක්කම් දිනා ගන්නා විට එලීන් තොම්සන් පසු වූයේ 29 හැවිරිදි වියේ ය. 1988 වසරේ සෝල් ඔලිම්පික් උළෙලේ දී ෆ්ලෝ ජෝ ද 100 හා 200 රන් පදක්කම් දිනා ඇත්තේ 29 හැවිරිදි වියේ දී ය.

එහෙත් ෆ්ලෝ ජෝ එලීන් තොම්සන් මෙන් පිට පිට ඔලිම්පික් උළෙල දෙකක දී මීටර් 100 හා 200 රන් පදක්කම් දිනා ගන්නට සමත් වී නැත. එහෙත් තොම්සන් ද තවම මීටර් 100 හා 200 ලෝක වාර්තා සියතට ගන්නට සමත් වී නැතැයි පැවසිය යුතු ය.

තව ද ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ පදක්කම් තුන ම පිළිවෙළින්, එලීන් තොම්සන් (10.61) , ඈෂ් ප්‍රේෂර් ප්‍රෆිස් (10.74) හා ෂෙරිනා ජැක්සන් (10.76) යන ක්‍රීඩිකාවන් දිනා ගත් අතර, ඔවුහු තිදෙනා ම ජැමෙයිකානු ක්‍රීඩිකාවෝ ය. ඔවුන් තිදෙනා පිළිවෙළින් අවුරුදු 29, 34 හා 27 යන වයස් හි පසුවන්නියන් ය. එහි සිව් වැනි ස්ථානය දිනූ ඩොමිනික් රාජ්‍යයේ මාරී ජොසී ටාලු 32 හැවිරිදි ය. ඒ අනුව එහි පළමු ස්ථාන හතර ම දිනා ගෙන ඇත්තේ අවුරුදු 25 ඉක්මවූවන් ය. ඉන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ උප්පැන්නයට අනුව වයසට ගියත් ධාවන පථයේ දී තිරිහන් වන බව ය.

එසේ නම් ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර්ගේ මීටර් 100 හා මීටර් 200 ලෝක වාර්තා දෙක ම යම් අනතුරක ඇත්නම් ඒ එම වාර්තා අසලට පැමිණ සිටින එලීන් තොම්සන්ගෙන් යැයි පැවසීම වරදක් නැත.

0 comment
0

Related Posts

Leave a Comment