Home ක්‍රීඩා පුවත් කෝටි 32ක් සමඟ විස්සයි20 කිරුළට කිවි-කැන්ගරු සටන හෙට

කෝටි 32ක් සමඟ විස්සයි20 කිරුළට කිවි-කැන්ගරු සටන හෙට

by Hela news

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය හත්වැනි වරට සංවිධාන කරන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කේන් විලියම්සන් මෙහෙයවන නවසීලන්තය සහ ආරොන් ෆින්ච් නායකත්වය දෙන ඔස්ට්‍රේලියාව අතර, හෙට (14) රාත්‍රී 7.30ට ඩුබායිහිදී පැවැත්වේ.

අසල්වැසියන්ගේ සටනක් බවට ද පත්ව ඇති මේ අවසන් මහා තරගයට දෙපිල එක් වන්නේ රුපියල් කෝටි 32කට අධික මුදල් ත්‍යාගය සමඟ ස්වකීය මංගල විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීමේ අරමුණ ඇතිවය. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට නවසීලන්තය එක් වන පළමු අවස්ථාව මෙය වන අතර, ඔස්ට්‍රේලියාව එක් වන්නේ දෙවැනි වරටය. ඔවුන් මින් පෙර 2010 වසරේදී එංගලන්තය හමුවේ අනුශූරතාව දිනා ගත්තේය.

මේ දෙපිල විස්සයි20 පිටියේදී 14 වරක් හමුව ඇති අතර, ඉන් තරග 9ක් ඔස්ට්‍රේලියාවත් තරග 5ක් නවසීලන්තයත් ජය ගෙන තිබේ. ලෝක කුසලාන පිටියේ කණ්ඩායම් දෙක හමු වන දෙවැනි අවස්ථාව මෙයයි. මින් පෙර අවසන් වරට 2016 වසරේ පැවැති තරගාවලියේ සුපිරි 10 වටයේදී මේ කණ්ඩායම් දෙක එකිනෙකා හමු වූ අතර, එහිදී නවසීලන්තය ලකුණු 8ක ජයක් වාර්තා කර තිබේ. එවර ද නවසීලන්ත පිල කේන් විලියම්සන් විසින් මෙහෙයවූ අතර, ඔස්ට්‍රේලියානු නායකයා ලෙස කටයුතු කළේ ස්ටීව් ස්මිත්ය.

අවසන් වරට මේ වසරේ දෙපිල තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියකට එක් වූ අතර, ඉන් 3-2ක ජයක් සත්කාරක නවසීලන්තයට හිමි විය.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේදී පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද ඔස්ට්‍රේලියාව තරමක් ඉදිරියෙන් පසු වුවද අවසන් පූර්ව තරග ද්විත්වයේදී මේ කණ්ඩායම් දෙකේ මැද පෙළ පිතිකරුවන්ගේ ක්‍රීඩා විලාශය දෙපිලටම විශාල අභියෝගයක් වනු ඇත.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර, සිව්වැනි තැන පසු වන ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තරග 6කදී ලකුණු 236ක් රැස් කර තිබේ. පාකිස්තානයට එරෙහි අවසන් පූර්ව තරගයේදී නොදැවී ලකුණු 72ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය ඩැරිල් මිචෙල් නවසීලන්තයේ වැඩිම ලකුණු ලාභියායි (197). ඔහු 8 වැනි තැන සිටින අතර, මාටින් ගප්ටිල් (180) 10 වැනි තැන පසු වන අතර, දෙපිලේ නායකයන් වන කේන් සහ ෆින්ච් පිළිවෙළින් රැස් කර ඇත්තේ ලකුණු 131ක් සහ 130කි.

එහෙත් පාකිස්තානය සමඟ පැවැති අවසන් පූර්ව තරගයේදී නවසීලන්ත පිතිකරුවන් වූ ඩැරිල් මිචෙල් සහ ජෙම්ස් නීෂම් ප්‍රදර්ශනය කළ දස්කම් සලකා බලන විට ඔස්ට්‍රේලියාවට නවසීලන්තය සමඟ තරග පහසු නොවනු ඇතැයි විචාරක මතය වී ඇත. එම තරගයේදී ලකුණු 46ක් රැස් කළ මැද පෙළ පිතිකරු ඩෙවෝන් කොන්වේ ආබාධයකට ලක් වීමෙන් අවසන් තරගය අහිමි වීම නවසීලන්තයට විශාල පාඩුවක් වී තිබේ.

පන්දු යැවීමේදී කඩුලු ලාභීන් අතර, දෙවැනි තැනට ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා පත්ව ඇත්තේ කඩුලු 12ක් බිඳ දමමිනි. සිව්වැනි තැන නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් (11) සිටින අතර, ඉෂ් සෝධි (නවසීලන්තය) මෙන්ම මිචෙල් ස්ටාක් (ඔස්ට්‍රේලියාව) කඩුලු 9 බැගින් දවා ගෙන සිටිති.

මේ අතර, කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් නවසීලන්ත කණ්ඩායම පසුගිය වසර 3 තුළ අඛණ්ඩව අයිසීසීය සංවිධාන කළ ලෝක කුසලාන තරගාවලි 3ක අවසන් මහා තරගවලට එක්ව තිබීම විශේෂත්වයකි. මේ තරගයට පෙර ඔවුන් 2019 එක්දින ලෝක කුසලානයේ අනුශූරතාව සහ පසුගිය ජූනි මාසයේ පැවැති ලෝක ටෙස්ට් ශූරතාව දිනා ගැනීමට සමත් විය. එලෙස වසර 3ක් තුළ අඛණ්ඩව අවසන් මහා තරග 3කට ක්‍රීඩා කළ පළමු කණ්ඩායම ලෙස ද නවසීලන්තය වාර්තා වෙයි.

මේ තරගයට ශ්‍රී ලංකාවේ දෙදෙනෙක් ද එක් වෙති. තරගයේ තීරක ලෙස රංජන් මඬුගල්ල මහතා කටයුතු කරන අතර, සිව්වැනි විනිසුරු ලෙස නම් කර ඇත්තේ කුමාර ධර්මසේන මහතාය.EmailFacebookTwitterPinterest0WhatsAppViberMessenger

0 comment
0

Related Posts

Leave a Comment