Home දේශීය පුවත් කොවිඩ්වලින් මියගිය පොලිසියේ 28කට සේවා කාලය නිම වන තුරු වැටුප්

කොවිඩ්වලින් මියගිය පොලිසියේ 28කට සේවා කාලය නිම වන තුරු වැටුප්

by Hela news

කොරෝනා වයිරසයට බිලි වූ පොලිස් නිලධාරීන් 28 දෙනකුට ඔවුන්ගේ සේවා කාලය නිම වන තුරු වැටුප් ගෙවීමට පියවර ගන්නැයි මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන් 11,700කට කොවිඩ් රෝගය ආසාදනය වී ඇති අතර, ඉන් 28 දෙනකු මරුමුවට පත්ව තිබේ.

එම නිලධාරීන් ජීවත්ව සිටියේ නම් ඔවුන්ගේ සේවා කාලය නිම වන දිනය දක්වා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස වීරසේකර මහතා අමාත්‍යාංශ ලේකම් ජගත් අල්විස් මහතාට උපදෙස් දුන්නේය.

ඇමැතිවරයා මෙසේ උපදෙස් දුන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

එසේම ක්‍රියාන්විත රාජකාරිවලදී මියගිය පොලිස් නිලධාරීන්ටද නියමිත කාලය අවසන් වන තුරු වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අපරාධ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විශේෂ විමර්ශන කණ්ඩායම් දෙකක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් එක් කණ්ඩායමක් කප්පම් සහ පාතාලය සම්බන්ධවත් අනෙක් කණ්ඩායම කුඩු ජාවාරම සම්බන්ධවත් මෙහෙයුම් කරනු ඇති බව ඇමැතිවරයා හෙළි කළේය.

0 comment
0

Related Posts

Leave a Comment