Home ව්‍යාපාර පුවත් කොටස් ‌වෙළෙඳපොළේ ඊ‍යෙත් වාර්තාගත වර්ධනයක්

කොටස් ‌වෙළෙඳපොළේ ඊ‍යෙත් වාර්තාගත වර්ධනයක්

by Hela news

මිල දර්ශක අගය 9,000 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිලදර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මවා යෑමට ඊයේ (1) දිනයේදී සමත් විය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,163.13ක් ලෙසින් සටහන් වූ අතර එය සියයට 1.84 වර්ධනයක් පෙන්නුම් කරමින් පෙර දිනයට සාපේක්ෂව ඒකක 165.53ක වැඩි වීමක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම දෛනික ගනුදෙනු අතරවාරයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,000 සීමාව ඉක්මවා යනු දැකිය හැකි වූවද ඒ සෑම අවස්ථාවකදීම දිනයේ ගනුදෙනු අවසානයේ දී එයට ඒකක 9,000 සීමාවෙන් මෙපිට නැවතීමට සිදු විය. ඒකක 8,997.60ක් ලෙසින් සියලු කොටස් මිල දර්ශකය සටහන් වීම එහි ආසන්නතම අවස්ථාව වෙයි.

මේ අතර ඊයේ (1) දිනය අවසාන වන විට එස්. ඇන්ඩ් පී ශ්‍රී ලංකා කොටස් මිල දර්ශකය ඒකක 3,440.50ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 75.91ක වර්ධනයක් වෙයි. එය සියයට 2.26 ක වර්ධනයකි.

ඊයේ දිනයේ දී රුපියල් බිලියන 14.61ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. මෙහිදී වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල්සී කොටස් ගනුදෙනු හරහා ලැබුණු අතර එය රුපියල් බිලියන 4.7 කි. එසේම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ රුපියල් බිලියන 2.92 ක වටිනාකමකින් යුතු කොටස් ඊයේ දිනයේ දී හුවමාරු වී තිබුණි.

0 comment
0

Related Posts

Leave a Comment