Home කාලීන පුවත් කෙඳි හා නානු අඩුයි, පැණිරස වැඩියි… හොරණින් අලුත් බෙලි ප‍්‍රභේදයක්

කෙඳි හා නානු අඩුයි, පැණිරස වැඩියි… හොරණින් අලුත් බෙලි ප‍්‍රභේදයක්

by Hela news

පලතුරු බොහෝවිට පැණිරසය. ඇඹුල් රසැති පලතුරක වුවත් පාරිභෝජකයා සොයායන්නේ පැණිරස වැඩියෙන් තිබෙන ප‍්‍රභේද තිබේද යන්නයි. මෙම සිරිතට අභියෝග කළ හැකි තිත්ත රසැති පලතුරක් බොහෝ කාලයක පටන් ජනතාව අතර තමාට හිමි ස්ථානය ආරක්ෂා කරගනිමින් පැවතීමනම් විරල සිදුවීමක් බව පිළිගත යුතුවේ. මෙවැනි පලතුරු සීමිත සංඛ්‍යාවක් අතරින් ‘බෙලි’ ඉදිරියෙන්ම සිටී. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ රසය පරදවමින් ඉදිරියට එන එහි ඖෂධීය වටිනාකමයි. මේ නිසා ඖෂධීය ගුණය ගැන සිතා බෙලි පාරිභෝජනය කෙරෙනවා මිස වෙනත් පලතුරු අනුභව කරන්නා සේ බෙලි කන්නට සමාජය ඉදිරිපත් නොවේ.

ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාකරයේ බොහෝ රටවල මේ වනවිට ව්‍යාප්තවී ඇති බෙලි ශාකය දේශීය වෛද්‍ය මතයට අනුව, ගෙවත්තේ ඇති ෆාමසියකට හෝ ඩිස්පැන්සරියකට සමානය. අරටුව හැර මල්, පොතු, ගෙඩි, කොළ පමණක් නොව සවිමත් පලාවරණය නොහොත් ‘කටුව’ පවා දේශීය වෙදකමේදී බහුලව භාවිත කරනු දක්නට ලැබේ. ඉන්දීය උප මහාද්වීප සම්භවයක් ඇති බෙලි ගස හින්දු ආගමිකයන් අතර සුපිරිශුද්ධ ශාකයක් ලෙස පවා විශ්වාසය දිනාගෙන ඇති ශාකයකි. හින්දු විශ්වාසයන්ට අනුව ලක්ෂ්මී දෙවඟනගේ වාසභවන ලෙස බෙලි ශාකය සැලකෙන නිසා බොහොමයක් හින්දු කෝවිල් සහ නිවාස අසල බෙලි ගසක් වවා ගැනීමට ඔවුහු උනන්දු වෙති. ශිව දෙවිඳුන්ගේ අධික ඇල්මක් බෙලි ශාකය කෙරෙහි ඇතැයි පැවතෙන විශ්වාසය මත, එම දේවාලයන්හි කෙරෙන පූජා කටයුතු වලදී බෙලි මල් හා ගෙඩි බහුලව භාවිතා කරනු දක්නට ලැබේ. මෙරටදී වුවද පූජා වට්ටි තුළ ඇති පලතුරු අතර බෙලි ගෙඩියක් වරදින්නේ නැත.

වෙනත් පලතුරු වර්ග මෙන් නොව ඉදවා අනුභව කිරීමේදී දැනෙන තිත්ත රසය නිසා බෙලි පාරිභෝජනයට ඇති අවාසිදායක තත්ත්වය වඩාත් ඉස්මතුව පෙනෙන්නේ අගය වැඩිකළ නිෂ්පාදන බිහිකිරීමේදීය. බෙලි යුෂ, සාන්ද්‍ර සාරය වැනි දේ සාදා ඇසුරුම් කරද්දී තිත්ත පරදවන්නට සීනි එකතු කරන්නේ නම් එයද සෞඛ්‍යාත්මකව සාධාරණ පියවරක් වන්නේ නැත. රට පුරා විසිරී ඇති ජෛව විවිධත්වය පීරා, මේ බාධකය ජයගත හැකි තිත්ත නැති බෙලි ප‍්‍රභේදයක් තිබේදැයි සෙවීමට කෘෂි විද්වතුන්ට ගවේෂණ නිමිත්තක් නිර්මාණය වන්නේ මේ හරහාය. ඌණ භාවිත පලතුරු එකතුව යටතේ ගාල්කර තිබූ බෙලි වෙනුවෙන් වූ ක‍්‍රියාන්විතයක් මේ අනුව ඇරඹෙන්නේ මීට දශක දෙකකට පමණ ඈතකදීය. මුලදී තරමක් මන්දගාමීව වූ එම වැඩසටහන වඩාත් වේගවත්ව ඉදිරියට ගියේ 2007 වසරේ පමණ සිට බව පවසන්නේ හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ, පලතුරු අභිජනන විද්‍යාඥ ඩබ්ලිව්. ඞී. ලෙස්ලි මහතායි.

”ප‍්‍රභේද එකතුකිරීමේ වැඩසටහන අපි රටපුරා ක‍්‍රියාත්මක කළ බව ඇත්ත. ඒත් අතට අහුඋන හැම ප‍්‍රභේදයක්ම එකතු කරගෙන ආවේ නෑ. ඒ තරමටම විවිධත්වයක් බෙලි ප‍්‍රභේද අතර තියෙනවා. ඉතින් එම ශාක තිබෙන ස්වභාවික පරිසරය තුළදීම හොඳට විපරම් කරලා, ගෙඩියේ විශාලත්වය, රස, මදයේ ස්වභාවය ආදී ගොඩක් කරුණු සලකලා බලලා තමයි යම් වර්ගයක් තෝරාගෙන හොරණ පිහිටි අපේ පර්යේෂණ වගාබිමට එය ඇතුල් කරගත්තේ වැඩිදුර පරීක්ෂා කිරීමට. ඒ අනුව අපේ එකතුවේ දර්ශ 36 ක් හැදුනා. එයිනුත් 4 ක් සුපිරි තත්ත්වයේ කියලා තේරුණා.”

එම ආකර්ෂණීය බෙලි දර්ශ හතර ලෙස්ලි මහතා ප‍්‍රමුඛ පර්යේෂක මඬුල්ල වෙතින් තවදුරටත් විශ්ලේෂණය වී තිබේ. අවසානයේ ඉන් හඳුනාගත් වඩාත්ම උසස් දර්ශය මේ වසර මුලදී පැවති නව ප‍්‍රභේද නිදහස් කිරීම රැස්වීමේදී ”හොරණ බෙලි – 1” නමින් නිර්දේශය ලැබීය. මෙය තෝරාගෙන ඇත්තේ ගෝනපොල, ඔලබොඩුව නමැති ගම් ප‍්‍රදේශයෙනි. වඩාත්ම වැදගත් සිද්ධිය වන්නේ අදාළ මවුශාකය තම වාසස්ථානයේ මේ වනවිට දක්නට නොලැබීමයි. මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ එය අස්ථානගතය. ලෙස්ලි මහතා ඇතුළු පර්යේෂණ මඬුල්ල ඉස්සර නොවූවානම් රටක් වටින රසවත් බෙලි ප‍්‍රභේදයක් කාටත් හොරරහසේ මේ වනවිටත් වඳවී ගොසිනි. සොබාදහමේ ආශීර්වාදයෙන් අහඹු ලෙස බිහිවෙන මෙවන් අගනා පලතුරු ප‍්‍රභේදයන් කෙතරම් සංඛ්‍යාවක් අපට නොදන්වා මෙලෙස මෙලොවින් තුරන්වෙනවා ඇතිද? කෘෂි විද්වතුන් මේගැන දැනුවත්ව සිටියත් සාමාන්‍ය ජනතාව නම් මෙම වඳවීමට එරෙහිව එතරම් බර තබා නැත. ඒ නිසා අපගේ යුතුකම වියයුත්තේ තමා දන්නා හඳුනන ස්ථානයක පවතින අමුතු හැඩරුවක්, වටිනාකමක් තිබෙන පලතුරු ශාකයක් වේනම්, බලධාරීන් දැනුවත් කිරීමයි. එහි බද්ධ පැළ නිපදවා ”ක්ෂේත‍්‍ර ජාන බැංකුව” ක රෝපණය කිරීමෙන් අනාගත පර්යේෂණ උදෙසා හෝ එම ප‍්‍රභේදය ආරක්ෂා කරගැනීමට හැකිවන්නේ එවිටය. ඒ හරහා වැඩි දියුණුවන්නේ මෙරට පලතුරුවල සෞභාග්‍යයයි. රැුකෙන්නේ ජෛව විවිධත්වයයි. නව නිර්දේශිත බෙලි ප‍්‍රභේදය සාමාන්‍ය ඉදුණු පලතුරක් අනුභව කරන ආකාරයටම කෑමට ගතහැකි තත්ත්වයක ‘තිත්ත නැති’ මදයක් සහිත වන බව ලෙස්ලි මහතා පවසා සිටී.

”ඉදුනහම ඇතුළේ පාටත් හොඳයි. ගම් ප‍්‍රමාණයත් සෑහෙන්න අඩුයි. තිත්ත කොහොමත් නෑ. ඒ විතරක් නෙවෙයි, වෙන බෙලි ගෙඩිවල මැද කොටස වහල්ලක් වගේ සවිමත්ව තියෙනවනේ. මේ ප‍්‍රභේදයේ එහෙම තත්ත්වයක් නෑ. මෘදුවට තියෙන එම කොටසත් වෙනසක් නැතුවම කෑමට ගතහැකියි. මදයේ කෙඳි ප‍්‍රමාණය අඩුවීම නිසා මෙම අනුභවය වඩාත් පහසු වෙනවා. ඒ අනුව අගය වැඩිකළ නිෂ්පාදනයන් සඳහා මේ ප‍්‍රභේදය ඉතා සුදුසු බව කියන්න පුළුවන්”

වසර 4 ක් තුළ පල හටගන්නා ”හොරණ බෙලි – 1” බද්ධ පැළ නිෂ්පාදනයේ වගකීම දරන්නේ හොරණ පර්යේෂණායතනයයි. මේ වනවිට බද්ධ පැළ සැලකියයුතු ප‍්‍රමාණයක් වගාකරුවන්ට ලබාදීමට සූදානම්ව ඇති අතර විශාල ප‍්‍රමාණයක් ගොවීන් අතර බෙදාදීමද අවසන් කර ඇත. පැළයක් ලබාගත යුත්තේ නම් හොරණ පර්යේෂණායතනයෙනි. 0342261323 අංකයෙන් තොරතුරු විමසා එහි යන්නේ නම් කටයුතු වඩාත් පහසුවනු බවද පැවසිය යුතුම කරුණකි.

0 comment
0

Related Posts

Leave a Comment