Home කාලීන පුවත් කෙටිම කලකින් රටම ඇල්ලූ පොහොට්ටුව

කෙටිම කලකින් රටම ඇල්ලූ පොහොට්ටුව

by Hela news

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය නිමිත්තෙනි.

ලාංකේය දේශපාලනයේ සම්ප්‍රදායික හැඩතලය වෙනස් කළ මෙරට ළාබාලතම මෙන්ම බලසම්පන්නතම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකර පස් වසරක් සපිරේ. පක්ෂයක් ලෙස ගමන් අරඹා මාස 15ක් ගතවන විට පැවැති පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන 2/3 ක්ම ජයග්‍රහණය කිරීමට එය සමත්විය. එය මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තාවකි. පක්ෂයට තුන් අවුරුද්දක් සම්පූර්ණ වන විටම ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා බිහි කිරීමට තරම් එය බලසම්පන්න විය. එම ජයග්‍රහණයද මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වාර්තාවකි. පක්ෂයේ සිව්වැනි සංවත්සරය යෙදෙන විට එය යළිත් මැතිවරණ වාර්තා පොත අලුත් කළේ 2020 අගෝස්තු මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ 2/3ට ඉතාමත් ආසන්න වූ ජනවරමක් ලබමිනි. ජයග්‍රහණයත් සම බලයට පත්වූ වත්මන් ආණ්ඩුව 2/3 බලයක් සහිත ආණ්ඩුවකි. වඩාත්ම වැදගත් කාරණය වන්නේ මේ මැතිවරණ ජයග්‍රහණ සියල්ල නිදහස් හා සාධාරණ මැතිවරණවලදී ලැබූ අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ වන බැවිනි. එසේම එම ජයග්‍රහණ තුළ පොදුජන අභිලාෂයන් පිළිබිඹු වන බැවිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන පක්ෂයකි. එසේම එය දේශපාලන සන්ධානයක් ලෙස ද සක්‍රියව පවතී. මෙරට දේශපාලනයේ ප්‍රගතිශීලි හා ජනතාවාදී දේශපාලනය පක්ෂ සියල්ල පාහේ බලවේගයක් ලෙස කඳවුරු බැඳ සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමඟය.

බොරුවට, රැවටීමට, මඩ අවලාදවලට සහ වෛරී දේශපාලනයට යා හැකි දුර සීමිත බව 2015 දී මෙරට බලයට පත් යහපාලන රජය දේශපාලන ක්ෂේත්‍රයේ ඉගැන්වූ එක් පාඩමකි. ඔවුනගේ එකම පරමාර්ථය වූයේ රාජපක්ෂවරුන්ගෙන් පළි ගැනීමයි.

2014 වන විට, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ රට ගෙනැවිත් තිබූ තැන සිට ප්‍රපාතය කරා රට ඇදෙන්නට වූ විට ‘වෙනස‘ සඳහා ඡන්දය ප්‍රකාශ කළ අයට තමන්ට වැරැදී ඇතැයි අවබෝධ වෙමින් තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා 2015 දී ලැබූ පරාජය පිළිගනිමින් මැදමුලනට ගිය තැන් පටන්ම ඔහු දකින්නට හා තම ආදරය, ගෞරවය ප්‍රකාශ කිරීමට රටේ නොයෙක් ප්‍රදේශවල සිට ජනතාව රොද බැන්දේ මෙරට දේශපාලනයේ එතෙක් නුදුටු තත්ත්වයක් පළ කරමිනි.

යහපාලන ආණ්ඩුවට දින 100ක් ගතවීමටත් පෙර එකී පෙළගැස්ම ‘මහින්ද සුළඟ‘ බවට පත්වෙමින් නුගේගොඩින් හමා ගියේ ප්‍රගතිශීලි දේශපාලන බලවේගවල ඒකරාශිත්වයෙනි. එය අතිශය සාර්ථක ජනරැලියක් බවට පත්වූ අතර යහපාලන ආණ්ඩුවට ප්‍රබල පණිවිඩයක් දීමක් ද විය. 2015 මහ මැතිවරණයෙන් පසු බලයට පත් වූ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පවා බහුතර කණ්ඩායමක් නියෝජනය කළ පිරිසට නොලැබුණි. එම කණ්ඩායමේ නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායකත්වය අහිමි කෙරිණි. එය දෙමළ සන්ධානයේ නායකයාව සිටි ආර්. සම්බන්ධන් මහතාට දුන් අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් පත් කෙරුණේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාය. මෙය අතිශය විකාරරූපී තත්ත්වයක් වන්නේ ඒ දෙදෙනා මෙන්ම ඔවුන්ගේ දේශපාලන පක්ෂ ද යහපාලන ආණ්ඩුව බලයට රැගෙන ආ ක්‍රියාදාමයේ හවුල්කරුවන් වූ බැවිනි. එවන් තත්ත්වයක් යටතේ පාර්ලිමේන්තුව තුළ සැබෑ විපක්ෂය යටපත් කරමින් නිල විපක්ෂය මතුවිය. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වය යටතේ ‘ඒකාබද්ධ විපක්ෂය‘ යනුවෙන් සැබෑ විපක්ෂය සංවිධානගත විය. නුගේගොඩින් ඇරැඹි ‘මහින්ද සුළඟ‘ රට පුරා හමා යමින් තිබුණේ දිනේෂ්, වාසු, විමල්, උදය වැනි දේශපාලන පක්ෂ නායකයන්ගේ කැපවීමත් සමඟය. නුගේගොඩ රැලිය පැවැත්වෙන විට විමල් හිරභාරයේය. බැසිල් මෙන්ම නාමල් ද සිරගත කෙරුණු අතර පසුව ගෝඨාභය රාජපක්ෂ ද සිරගත කිරීමට විශාල ප්‍රයත්නයක් දැරිණි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් සමඟ දීගයක ගොස් සිටි පසුබිමක බිම් මට්ටමේ සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයා අතරමංව සිටියේය. මේ පසුබිම සෙසු ප්‍රගතිශීලි දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලට ද බලපෑම් සහගත විය. යළි සක්‍රිය දේශපාලනයට අවතීර්ණ වන ලෙසට මහින්ද රාජපක්ෂ මහතාට ජනතාවගෙන් විශාල හඬක් මෙන්ම පෙලඹවීමක් ද ඇතිවී තිබිණි. ජනතාව සක්‍රිය ලෙස දේශපාලනයේ යෙදී සිටි අතර, එය බිම්මට්ටමේ සිට මනාව සංවිධානය කරමින් 2016 නොවැම්බරය වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි විය. පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා සැලකිය හැකිය. පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාත් ලේකම්වරයා වශයෙන් පත් වූ නීතිඥ සාගර කාරියවසම් මහතාත් මේ වන විටත් එම තනතුරු දරති. පක්ෂයේ නිල ලාංඡනය වූ නෙළුම් පොහොට්ටුව අතිශය ජනප්‍රිය සංකේතයක් බවට පත් විය. පක්ෂ මූලස්ථානය බත්තරමුල්ල, නෙළුම් මාවතේ ස්ථාපිත කෙරිණි.

පොදුජන පෙරමුණ ඉතාමත් වේගයෙන් හා ශක්තිමත්ව පෙරට ආ ආසියාවේ ප්‍රබලම පක්ෂය බව ඉන්දියාවේ පළවන ‘හින්දු පුවත්පත දේශපාලන විශ්ලේෂණයකදී සඳහන් කළේය.

2017 වසරේ මැයි දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා හවුල්කාර පක්ෂ එක්ව කොළඹ ගාලු මුවදොර පිටියේදී සංවිධාන කළ ජන රැලියට ගැලූ ලක්ෂ සංඛ්‍යාත ජන ගඟ ඓතිහාසිකය. බව දෙස් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දීර්ඝකාලයක් කල්දමා තිබූ පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරියේ පැවැත්වුණු අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු ජයග්‍රාහී වෙඩිල්ල තබන ලද්දේ එම මැතිවරණ ප්‍රතිඵලයෙනි. දිවයිනේ පළාත් පාලන ආයතන 340න් 239ක බලය හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ ළාබාලම දේශපාලන පක්ෂය සමත් වන විට එහි වයස වසරකුත් මාස 3කි. මෙම මැතිවරණ ප්‍රතිඵලය පැවැති යහපාලන ආණ්ඩුවේ ගමන් මඟ නිවැරැදි කර ගැනීමට දුන් ප්‍රබල පණිවිඩයක් වුවද ඔවුන් එය නොතකා හැරියේය. වෛරය, පළිගැනීම හා මර්දනය මඟින් එය යටපත් කළ නොහැකි විය. පළාත් පාලන ආයතන ජයග්‍රහණය කිරීම අනාගත මැතිවරණ සඳහා පන්නරයක් කර ගනිමින් පොදුජන පෙරමුණ ඉදිරියට ඇදිණි. මහනුවර සිට කොළඹට ආ දැවැන්ත පාද පාත්‍රාව ද ජනබලය කුළු ගැන්වීය. එම රැලිය සඳහා හයිඩ්පිටිය භාවිත කිරීම වළක්වා තිබුණේ එහි හදිසි සංවර්ධන කටයුත්තක් ඇරඹීමෙනි. එම පාද යාත්‍රාව අතිශය සංවිධානාත්මක වූ අතර රැලිය කොළඹ නගරයේ කවර ස්ථානයක පැවැත්වෙනු ඇත්දැයි කිසිවෙකුටත් සිතා ගත නොහැකිව සිටියදී ලිප්ටන් වටරවුම ආශ්‍රිතව ජංගම වේදිකාවක එය සිදුවිය.

යහපාලන ආණ්ඩුවේ පාලන සමය ගෙවී යන විට ජාතික ආරක්ෂාව, ආර්ථිකය, සංවර්ධනය, දේශපාලන ස්ථාවරත්වය යනාදී සියල්ල බිඳ වැටී පැවැති අතර ත්‍රස්තවාදය අවසන් කර දශකයකට පසුව රට තුළ දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයක් ද සිදුව තිබිණි. කිසිදු අවාසිදායක පසුබිමක් නොතිබියදී වුවද රට ඔසොවා තැබීමට යහපාලන ආණ්ඩුව අසමත්ව සිටියේය.

ජනතාවගේ හදවතෙහි සිටි නායකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය. 2019 වසරේදී පැවැති ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලෙසට සෑම අතින්ම හඬ නැඟිණි. ඒ වන විට ඔහු සක්‍රිය දේශපාලනයේ නොසිටි අතර දේශපාලනඥයකු ද නොවීය. එසේ වුවද ආරක්ෂක ලේකම් හා නාගරික සංවර්ධන ලේකම් වශයෙන් සිය හැකියාවන් හා දක්ෂතාවන් විශිෂ්ට ලෙස දක්වා තිබූ අතර මව්බිමට ආදරය කරන ගෞරව කරන මිනිසෙකු ලෙස හමුදා සේවයේ ද යෙදී සිටියේය. රට තීරණාත්මක සමයක් පසුකරද්දී ‘වියත්මඟ‘ , ‘එළිය‘ වැනි සංවිධාන හරහා සංවිධානාත්මක පෙළගැස්මක් ද ඇතිවී තිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එහි සහෝදර පක්ෂවල එකඟත්වයෙන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය වරම් ලැබීම රට තුළ විශාල උද්‍යෝගයක් ඇතිවීමට හේතුවිය. ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගෙන තිබුණ ද එය පදනම් කරගනිමින් ඔහුගේ ගමන වැළැක්වීමට යහපාලන ආණ්ඩුව හා හිතෛෂී බලවේග දරන ලද ප්‍රයත්නය අධිකරණය හමුවේ පරාජයට පත්විය. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා 69 ලක්ෂයක වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් හා 52% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජයග්‍රහණය කළේය. ඔහු රට හමුවේ ඉදිරිපත් කළ වැඩපිළිවෙළට ජනතා අනුමැතිය ඉහළින්ම ලැබිණි.

2020 අගෝස්තු මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් එම පක්ෂය මෙන්ම සහෝදර පක්ෂ ද එක්ව තරග කළේය. සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ තනි පක්ෂයකට හෝ එක්ව තරග කරන සන්ධානයකට 2/3ක බහුතර බලයක් ඇති. ආණ්ඩුවක් නිර්මාණය කිරීම කළ නොහැක්කක් ලෙස පිළිගැනීමක් තිබිණි. එසේ වුවද, 2/3 ට ඉතා ආසන්න වාර්තාගත ජනවරමක් ලබමින් 2/3 බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකිවිය. ජනතාව එවැනි ප්‍රබල ජනවරමක් දීම මඟින් ස්ථාවර මෙන්ම ශක්තිමත් ආණ්ඩුවක් බිහි කළ අතර ඉන් අපේක්ෂා කෙරුණේ ජනාධිපතිවරයාගේ ‘සෞභාග්‍යයේ‘ දැක්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පෙරට ගෙනයාමය. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්ව දෙමසක් ගතවීමටත් පෙර ලෝකයම අපේක්ෂා නොකළ පරිදි කොවිඩ් – 19 ගෝලීය වසංගතය පැමිණියේය.

එය අතිශය සාර්ථකව පාලනය කිරීමට හැකියාව ලැබිණි. එම වැඩපිළිවෙළ ලොව සෙසු රටවල ද ප්‍රශංසාවට ලක්විය. වසංගතය පැමිණ සය මසක් පමණ යන විට බලයට පත් වූ පොදුජන පෙරමුණු ආණ්ඩුව එතැන් සිට මේ දක්වාම එහි දෙවැනි, තුන්වැනි රැලි පාලනය කර ගනිමින් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ජන ජීවිත ද ආරක්ෂා කර ගනිමින් රට ඉදිරියට ගෙනයාම සඳහා කැපවී සිටී. එහිදී සියල්ල ප්‍රශස්ත අයුරින් සිදු වන්නේය. කිසිදු ගැටලුවක් ඇතිවී නැත වැනි ප්‍රකාශ කළ නොහැකිය. වසංගතයත් සමඟ සටන් කරන අතර තවත් අභියෝගයන්ට මුහුණදීමට ජනාධිපතිවරයාට මෙන්ම රජයට සිදුව තිබේ.

2015 දී රෙජීම් චේන්ජ් ක්‍රියාදාමයේ සිටි පක්ෂ, කණ්ඩායම්, සංවිධාන, පුද්ගලයන්, යහපාලන සමයේ නිහඬව සිට යළි වැඩ අරඹා ඇති අයුරු දැකිය හැකිය. එවැනි කුමන්ත්‍රණකාරී බලවේග පරාජය කරමින් තම කඳවුර ශක්තිමත් කරමින් ජනතා අභිලාෂ ඉටුකිරීමේ අභියෝගය ජනාධිපතිවරයා ද රජය ද ඉදිරිපිට ඇත. අවලාද, අපහාස, අසත්‍ය ප්‍රචාර, පටු විරෝධතා, අවස්ථාවාදී ප්‍රයත්නය ආදිය මැද ජනාධිපතිවරයා ජනතාවත් රට හමුවේ තැබූ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පෙරට ගෙනයමින් සිටී. පස් වස් සමරන දැවැන්ත ජනතා බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙම අභියෝග ජයගනිමින් ජනතා පැතුම් ඉටු කිරීමටත් සිය යුතුකම් කොටස සම්පූර්ණ කිරීම්‍රටත් සියලු හැකියාව තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment