Home කාලීන පුවත් කෙටල කුලයට අලුතින් එක් වන අමුත්තෝ

කෙටල කුලයට අලුතින් එක් වන අමුත්තෝ

by Hela news

ශ්‍රී ලංකාව ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත රටකි. අපට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ රාශියක්ම වේ. එම ඇතැම් ‍විශේෂ දැනටමත් වඳ වී ඇති අතර තවත් විශේෂ වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටී. පර්යේෂකයන් විසින් වරින් වර නව ශාක හා සත්ත්ව විශේෂ සොයා ගැනීම පිළිබඳ ද වාර්තා වේ. මෙරට ජලජ ශාක විවිධත්වය තවදුරටත් ඉහළ නංවමින් නව ශාක විශේෂ දෙකක් ලබුගම හා කලටුවාව වනාන්තර ආශ්‍රිතව සහ කළුගල වනාන්තරයේ සිදු කළ පර්යේෂණවලදී සොයා ගෙන තිබේ. පොදුවේ “කෙටල” යනුවෙන් ද විද්‍යාත්මකව Lagenandra යනුවෙන් ද හඳුන්වන ශාක ගණයට ඒවා අයත් ය. මෙම සොයා ගැනීම කර ඇත්තේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ආචාර්ය උපාධිය හදාරන ඉන්ද්‍රඛීල මාදොළ, මහාචාර්ය කපිල යකන්දාවල, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය දීප්ති යකන්දාවල සහ ආචාර්ය සේනානි කරුණාරත්න යන පර්යේෂණ කණ්ඩායම විසිනි. නව ශාක විශේෂ දෙක L. srilankansis සහ L. kalugalensis යනුවෙන් නම් කර ඇත. එලෙස නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති ඉහළ ජෛව විවිධත්වයත් ඊට ඇති තර්ජනයත් සැලකිල්ලට ගනිමින් සහ එම ශාක සොයා ගත් පරිසරය සිහිගන්වමිනි.

සාමාන්‍යයෙන් මෙම ශාක විශේෂ හමුවන්නේ ගංගා, ඇළ, දොළ හා මඩවගුරු ආශ්‍රිතව ය.

මෙම පර්යේෂණ කණ්ඩායමේ සිටින ආචාර්ය උපාධි පර්යේෂක ඉන්ද්‍රඛීල මාදොළ පවසන්නේ මෙම ශාක විශේෂ සොයා ගැනීම වසර 3 ක පමණ කාලසීමාවක් තිස්සේ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල බව ය.

“මීට පෙර අපි වලව්වත්ත වතුරාන මිරිදිය තෙත් බිම් පරිසර පද්ධතිය ආශ්‍රිතවත් මෙම ගණයටම අයත් නව විශේෂයක් සොයා ගත්තා. වයඹ විශ්වවිද්‍යාලයට උපහාර පිණිස එය නම් කළේ Lagenanadra wayambe යනුවෙන්. මෙම නව ශාක විශේෂ 2 කට ඇති තර්ජනය සැලකිල්ලට ගනිමින් ස්වාභාවික සම්පත් සංරක්ෂණය සඳහා අන්තර්ජාතික සංගමය (IUCN) තම නිර්ණායකවලට අනුව අතිශය අන්තරායට ලක්ව ඇති විශේෂ අතරට මෙම නව ශාක විශේෂ දෙක ද ඇතුළත් කර තිබෙනවා.” යනුවෙන් ඉන්ද්‍රඛීල මාදොළ මහතා පැවසීය.

මෙම ශාක විසිතුරු ජලජ පැළෑටි කර්මාන්තයේ දී බහුල වශයෙන් භාවිත වේ. දීර්ඝ කාලයක පටන් අපනයනය කිරීම ද සිදුව ඇත. විදේශ රටවල් ශාක දෙමුහුම් කිරීම මඟින් නව ශාක වර්ග නිපදවීමේ යෙදෙන අතර, එමඟින් විනිමය උපයයි. මෙම ශාක රැසක් විදේශිකයන් විසින් රැගෙන ගොස් තිබේ. මෙරටින් වඳ වී ඇතැයි සැලකෙන ශාකය ද එම රටවල දැකිය හැකිය. මහාචාර්ය කපිල යකන්දාවල පෙන්වා දෙන්නේ මෙම ශාක විසිතුරු ජලජ පැළෑටි වශයෙන් යොදා ගත හැකි වූව ද පළමුව කළ යුතු වන්නේ රැක ගැනීම බව ය.

“මෙම ශාක අපනයනයෙන් විනිමය ඉපැයිය හැකි වුණත්, මේවා දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති නිසා පළමුව රැක ගත යුතුයි. එසේ කර දෙමුහුම් තාක්ෂණය වැනි ක්‍රමවලින් නව ශාක නිපදවීමට පුළුවන්. මේ ශාක වර්තමානයේ දී ඒවා සොයා ගත් පරිසර වාසස්ථානවලට සීමා වෙනවා. ඒ නිසා ඒ පරිසර පද්ධති රැක ගැනීමත් කළ යුතුයි. ආලෝකය වැටීම වැනි කාරණා නිසා ඒවා බලපෑමට ලක් විය හැකියි.” ඒ මහාචාර්ය කපිල යකන්දාවල මහතාගේ අදහස් ය.

මෙම ශාක සොයා ගෙන ඇත්තේ ද වනාන්තර තුළම නොවේ. ඉන් පිටත ය. එය ද ඒවා රැක ගැනීම සම්බන්ධයෙන් ඇති ගැටලුවකි. මහාචාර්ය දීප්ති යකන්දාවල පවසන්නේ මේ හේතුවෙන් නොදැනුවත් බව නිසා ද මෙවැනි ශාක විනාශ විය හැකි බවයි.

“මෙවැනි ශාක ගංගා, ඇළ ඉවුරු ආශ්‍රිත පරිසරවල පිහිටන නිසා එම රිසර්වේෂන් රැක ගත යුතුයි. මෙවැනි ස්ථානවල නෑමෙන්, පෑගීමෙන්, අලංකාර පැළෑටි නිසා ගැලවීමෙන්, බෝතල්කටු ආදිය මඟින් මේ ශාකවලට හානි සිදු වෙනවා. බොහෝවිට කැලණි, මහවැලි වගේ ගංගා ආශ්‍රිත ව ඉවුරු දෙපස මෙවැනි ශාක හමු නොවීමට එම පරිසර පද්ධති දූෂණය වීමත් හේතුවක් බව පෙනී යනවා.” යැයි මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය ප්‍රකාශ කළා ය.

විසිතුරු ජලජ පැළෑටි කර්මාන්තය යනු විනිමය ඉපැයීමට හැකි කර්මාන්තයකි. එසේ කිරීමට පෙර මෙවැනි තර්ජනයට ලක්ව ඇති ශාක සංරක්ෂණය කර ගැනීම අවශ්‍යය. දෙවනුව තිරසර ලෙස භාවිතයට ගත හැකිය. විශේෂයෙන් මෙවැනි ශාක රක්ෂිත වනාන්තර වැනි පරිසරවලින් පිටත හමුවන බැවින් සහ මානව ක්‍රියාකාරකම්වල බලපෑමට ලක්වන පරිසර ආශ්‍රිතව ද හඳුනා ගන්නා බැවින් එම පරිසරය රැක ගැනීම ගැන ද සැලකිලිමත් විය යුතුය.

මෙම පර්යේෂණය සඳහා මූල්‍යමය දායකත්වය සපයන ලද්දේ ඇල්පිටිය වැවිලි සමාගම මඟිනි. පර්යේෂණ කටයුතු සඳහා අනුමැතිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙනි. එම ආයතනවලට පර්යේෂකයෝ සිය ස්තුතිය පුද කරති.

0 comment
0

Related Posts

Leave a Comment