Home කාලීන පුවත් කෘෂිකර්මයේ අලුත් සහකරු නැනෝ පොහොර

කෘෂිකර්මයේ අලුත් සහකරු නැනෝ පොහොර

by Hela news

කෘෂි අංශයෙහි නිරත ජනතාව අතීරණාත්මක තැනකය. දීර්ඝ කාලයක් තිස්සේ වස විස නැති ගොවිතැනක් ගැන සාකච්ඡා වෙමින් තිබුණි. විවිධ පාර්ශ්ව රසායනික භාවිතයකින් තොර ගොවිතැන සඳහා පෙළැඹවීම් කළහ. රජරට ප‍්‍රදේශවලින් වාර්තා වූ වකුගඩු රෝගයට හේතුව විස රසායනික බව පැහැදිලි කෙරිණි. පොහොර, කෘෂි රසායන හා කෘමිනාශකවලින් තොර ගොවිතැන ඉතාම වැදගත් එකක් සේ අවධාරණය වූ බව සඳහන් කළ යුතු කරුණකි. ජනාධිපතිවරයා කාබනික ගොවිතැන සඳහා තීරණයක් ගෙන තිබේ. රසායනික පොහොර ආනයනය අත්හිටුවීය. ගොවියෝ නැගී සිටි අතර රට පුරා ජනතාව පොහොර ඉල්ලා අරගල කරන තැනට පත්වූහ.

රසායනික පොහොරවලින් ඇති කරන විපත ගැන දේශන කළ කිසිවකු අද නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හුදෙකලා කර තිබේ. එය යුක්ති සහගත නැත. නිෂ්පාදනය අඩු නොවන බව හා සරු වගාවක් කළ හැකි බව පුන පුනා කියා සිටිමින් සිටි අයවලුන් අද නිහඬය. විද්වත්හු පවා සාගතයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවමින් සිටිති. රසායනික පොහොර ආනයනය නතර කළ ආණ්ඩුව නැනෝ දියර පොහොර ගෙන්වා බෙදාහරින තීරණයක් ගෙන ඇත. එය ද රසායනික පොහොර විශේෂයක් බව මතක් කර දිය යුතුව තිබේ.

• නැනෝ පොහොර ගැන අදහසක්

නැනෝ තාක්ෂණය මෑතක අනාවරණය කරගත් ක‍්‍රමයකි. එය හුදෙක් පොහොර පමණක් නොවේ. නැනෝ ගැන හදාරන්නේ ජපානයේ පර්යේෂකයෙකි. 1950 ගණන්වල සිට පරමාණු සම්බන්ධව කරන ලද පර්යේෂණවලදී එක් අවස්ථාවක නැනෝ අංශූව කෙරෙහි අවධානය යොමු වී තිබේ. නැනෝ අංශූ ස්වභාවිකව හා කෘත්‍රිමව පවතී. එම අංශුවක විශාලත්වය මීටරයකින් බිලියනයකින් එක් කොටසකි. ශක්තිමත් හා සැහැල්ලුය. ද්‍රව්‍ය පිළිස්සීමේ දී හා මුහුදු ඛාදනය වැනි අවස්ථාවලදී නැනෝ අංශු ස්වභාවිකව හඳුනාගෙන ඇත. 

ස්වභාවික නැනෝ අංශු විද්‍යාගාරවල නිපදවන්නට සමත්ව තිබේ  ඒවා ඉංජිනේරු ශිල්පීය නැනෝ අංශු ලෙස හඳුන්වන අතර නොයෙක් රසායනික මෙවලම් සමඟ මිශ‍්‍ර කිරීමෙන් උසස් ප‍්‍රතිඵල අත්පත් කර ගන්නට හැකියාව ලැබී ඇත. නැනෝ අංශු සමඟ මිශ‍්‍ර කිරීමෙන් ශක්තිමත්භාවයක් ඇති කෙරේ. සැහැල්ලුවක් ඇතිවෙයි. හැසිරවීම පහසුය. යූරියා සමඟ මිශ‍්‍ර කරන නැනෝ අංශු නයිට‍්‍රජන් වගාව සඳහා යෙදවිය හැකි බව සනාථ කර ඇත. ඉන්දියාව කරන පර්යේෂණ අනුව නැනෝ යූරියා පමණක් නොව නැනෝ සින්ක් හා නැනෝ කොපර් යන අංශූ මාත‍්‍ර දියර පොහොර ද නිපදවා ඇති බව දැක්වෙයි. මෙම පොහොර ක්ෂේත‍්‍රයට යෙදූ පසු සුළු වශයෙන් ක‍්‍රමයෙන් නිදහස් කරන අතර එය පොහොර වැඩි වශයෙන් පසට එකතු වී අපතේ යෑම අවම කරන බව ක්ෂේත‍්‍ර පර්යේෂණ තහවුරු කර තිබේ. 

සාමාන්‍ය පොහොර භාවිතය ගැන ප‍්‍රශ්න තිබේ. විද්වත් වාර්තා අනුව ශ‍්‍රී ලංකාව පොහොර හා රසායන වැඩිපුර භාවිත කරන රටකි. එයට හේතුව ගොවියන් තුළ ඇති අනවබෝධයයි. පද්ධතියට අවශ්‍ය ප‍්‍රමාණය ගැන නොදන්නා අතර එය කියා දෙන්නේ පොහොර වෙළෙඳුන්ය. කෘෂි ව්‍යාප්ති සේවාව දියුණු නැත. නිලධාරීහු සීමිතය. සෑම නගරයකම පොහොර හා රසායනික වෙළෙන්ඳෝ සිටිති. පොහොර සමාගම් ක්ෂේත‍්‍රයට ගොස් ගොවීන් මුණගැසෙන අතර විවිධ රසායනිකවලට පොළඹවා ආදර්ශනයක් සකස් කරයි. නොයෙක් ආධාර හා අනුග‍්‍රහය සපයන අවස්ථා ද තිබේ. සමාගම්වල උපදෙස් අනුව කෙතට පොහොර හෝ රසායනික භාවිත කරන අතර එයින් කරන හානිය ගැන තක්සේරුවක් නැත. පර් යේෂණ වාර්තා දක්වන පරිදි අවශ්‍ය තරමට වඩා පොහොර භාවිතා කරයි. යොදන්නට කලින් පසේ ඇති ස්වභාවය ගැන කල්පනා නොකරන අතර එය හානියකි. අවසානයේ දී වස විස පොළොවට, දිය සීරාවලට හා අවසානයේ දී වකුගඩු දක්වා ගමන් කර තැන්පත් වන බව නොරහසකි.

• අවම භාවිතයක් සඳහා ගත යුතු පියවර

නැනෝ තාක්ෂණයෙන් නිපදවන ලද යූරියා මෑතක දී ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ පළමු වරට භාවිත කර ඇත. භවනගර් ප‍්‍රදේශයේ ගොවිපොළකට නැනෝ නයිට‍්‍රජන් පොහොර ඩ්‍රෝන යාත‍්‍රා මගින් විසුරැවා හැරීම සිදු කෙරිණි. අත්හදා බැලීමක් වශයෙන් කරන ලද පර්යේෂණවල සමස්ත ප‍්‍රතිඵලය දකින්නට කල් ගතවනු ඇත. එහෙත් එහි වරදක් නොවේ. හේතුව ක්ෂේත‍්‍රයට ගැලපෙන පරිදි යෙදවීමට ඇති හැකියාවයි. නැනෝ අංශු සමඟ ගැටගැසී ඇති හෙයින් මෙම පොහොර එකවර පසට හෝ ජල පද්ධතිවලට එකතු නොවන බව සැක කළ හැකිය. ඉන්දියාවේ විවිධ ප‍්‍රාන්තවලින් තෝරාගත් ගොවීන් තිස් හතර දෙනකු ගුජරාට් හි නැනෝ පොහොර යොදන අවස්ථාවට සහභාගී කරගෙන ඇත. තාක්ෂණික පොහොර භාවිතය ගැන මතය ඉන්දියාව පුරා පැතිරවීමට මෙම මොහොත උපයෝගී කරගත හැකි වනු ඇතැයි සැලකේ. ශ‍්‍රී ලංකාව මතු කරගෙන ඇති අවස්ථාව රසායනික ගොවිතැනට කාර්යක්ෂම ආකාරයක් බව පෙනේ.
ඉන්දියන් වාර්තා දක්වන පරිදි නැනෝ පොහොර යෙදීමෙන් පිරිවැය සියයට පනහකින් අඩුවන අතර අස්වැන්න සියයට 15-30 අතර ප‍්‍රමාණයකින් වර්ධනය වෙයි. එයට හේතුව අරපිරිමැසුම්දායක බව හැර අනෙකක් නොවේ. යූරියා හෝ වෙනත් පොහොර යොදන විට සීමාවක් හෝ වග විභාගයක් නැති ගොවියන්ට සාන්ද්‍රණයකට අනුව නැනෝ පොහොර යෙදීමෙන් පසු ශාකයට අවශ්‍ය පරිදි සෙමෙන් උරාගැනීමෙන් ප‍්‍රයෝජනයක් සිදුවෙයි. සාමාන්‍ය යූරියා පොහොරවලට සාපේක්ෂව නැනෝ පොහොර පරිසරයට හිතකර බව අවධානයට ගත යුතු කාරණයකි. සාමාන්‍යයෙන් මිලිලීටර් 500ක බෝතලයක් පොහොර කිලෝග‍්‍රෑම් පන්සියයක ප‍්‍රමාණයක් සඳහා සෑහෙන අතර ධාරිතාව, මිල, සහ පසට උරාගන්නා ක‍්‍රමවේදය සම්බන්ධයෙන් ඉහළම ප‍්‍රතිඵල දක්වන බව සඳහන් කළ යුතු වැදගත් කාරණා වශයෙන් පර් යේෂකයෝ දක්වති.

• ඉන්දියාව ලෝකයේ පළමු වතාවට කළ අත්හදා බැලීම

රමේෂ් රාලයියා ඉන්දියාවේ ජෝදාපුර් දිස්ත‍්‍රික්කයේ රාජස්ථාන් හි වැසියෙකි. ඔහුගේ මව හා පියා ගොවිතැන් කරන ආකාරය බලා සිටි හෙතෙම දිගු කාලයක් තිස්සේ අත්හදා බැලීම් කළේය. පොහොර අඩුවෙන් භාවිත කරන අතර වැඩි ප‍්‍රතිඵල ලබාගැනීම ඔහුගේ අභිලාෂය විය. පොහොර සඳහා නැනෝ තාක්ෂණය යොදන්නට ඔහු සමත් වූ අතර 2015 දී ඉන්දියානු රජයට ලියා සිය අත්දැකීම් හෙළි කරයි. ඉන්දියා ගොවි පොහොර සමුපකාර සමිතිය පිහිටුවන්නේ එයින් ලත් අත්දැකීම් අනුවය. රජයට දන්වන ලද කාරණය සලකා බලන ලද අතර 2019 වන විට ගොවියන් 11,000 ක් ලවා මෙම නැනෝ පොහොර යොදා ගොවිතැන් කරවයි. විවිධ බෝග වර්ග 94 ක් වගා කළ අතර  නොයෙක් ආයතන විස්සක් එහි ප‍්‍රතිඵල ගැන අවධානයෙන් සිටියේය.

අවසානයේ දී නැනෝ යූරියාවල සාර්ථකත්වය තහවුරු කරගෙන ඇති බව දැක්වෙයි. ගොවි පොහොර සමාගම විවෘත වෙළෙඳාමට ඉදිරිපත් කළේය. නැනෝ තාක්ෂණ යූරියා පොහොර අත්හදා බැලීමේ ආදර්ශනයක් සඳහා අවස්ථාවක් අවුරුදු කිහිපයකට කලින් ශ‍්‍රී ලංකාවට ද ලැබී තිබේ. ඉන්දියන් රජයේ ඉහළ නිලධාරීන් දක්වන පරිදි මෙම සාම්පල් පොහොර ශ‍්‍රී ලංකාවේ දී සාර්ථකව අත්හදා බලා ඇත. 

දියර පොහොර භාවිත කිරීම ක‍්‍රමවේදයකි. පරිසර පද්ධතිය සලකා උපදෙස් අනුව බසින්නට සිදුවෙයි. බෝග වෙන්කර ගැනීම වැදගත්ය. සම්ප‍්‍රදායෙන් පිටට පැන අලුත් ව්‍යුහයකට ඇතුළුවීම පහසු නැති බව දැක්විය යුතුය. දැනට භාවිත කරන රසායනික පොහොර හා ඒවායේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සලකා බලන විට නැනෝ තාක්ෂණයෙන් නිපදවන පොහොර අගනා අවස්ථාවක් විය හැකිය. කෘෂිකර්මයෙහි ප‍්‍රබෝධයක් අරමුණු කරගෙන අලුත් අත්දැකීම් සොයා යා යුතුය. ගොවියන් අතරට ගෙන යෑම ගැන සෑහෙන අවධානයක් යොදන්නට සිදුවෙයි. 

• කෘෂි පර්යේෂකයන්ගේ සහාය වැදගත්

වාර්තා දක්වන පරිදි රට තුළ නිපදවන කොම්පෝස්ට්වල ප‍්‍රමිතිය ගැන සැකයක් තිබේ. දිරාපත් වූ කොටස් වන අතර අවශ්‍ය තරමට නයිට‍්‍රජන්, පොස්පරස් හෝ පොටෑසියම් නැත. සමහරවිට අවශ්‍ය තරම ඉක්මවා අංශූ මාත‍්‍ර මුලද්‍රව්‍ය පවතින බව සැක කළ හැකිය. එකම තැනකින් එක ප‍්‍රමිතියකට නිපදවන්නේ නැත. වගාව විවිධ බලපෑම්වලට ගොදුරු වෙයි. පිටරටින් එනම් චීනයෙන් කාබනික පොහොර ගෙන්වන්නට උත්සාහ කළ නමුත් ඒවායේ ප‍්‍රමිතිය ගැන ගැටලු මතු විය. ශ‍්‍රී ලංකාවට භාවිත කළ හැකි එකම ක‍්‍රමය නැනෝ පොහොර නොවේ. යූරියා පමණක් යෙදීමෙන් ද වාසියක් නැත. වගාවකට සමබර පොහොර අවශ්‍යය. මෙම තීරණාත්මක අවස්ථාවේ දී කෘෂිකාර්මික කටයුතුවල නිරත පිරිස කරන ක්ෂේත‍්‍ර පර්යේෂණ වැදගත්ය. වී වගාව කරගෙන යන පිරිසට අවශ්‍ය පොහොර වෙනස් වන අතර පොල් හෝ කුරුඳු වගාවට භාවිත කළ හැකි ක‍්‍රමය වෙනස් එකකි. මෙම පොහොර පත‍්‍රවලින් අවශෝෂණය කර ගැනේද නැත්ද යන්න ද අවබෝධ කරගත යුතුය. පොළොවට විසුරැවන අවස්ථාවේදී වඩාත් ප‍්‍රතිඵල ලැබෙන්නේ කෙලෙසක භාවිත කිරීමෙන් ද යන ප‍්‍රශ්න මතුවෙයි.

මුලින් සඳහන් කළ පරිදි යූරියා පමණක් සෑහෙන්නේ නැත. නැනෝ තාක්ෂණය භාවිතා කර රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර කිරීම තුළින් මතුවන අතුරු ප‍්‍රතිඵල ද සලකා බැලිය යුතුය. ශ‍්‍රී ලංකාවට ගෙන්වන පොහොරවලට වැයවන මුදල නතර වන බවක් නොපෙනේ. කෘෂිකර්ම අමාත්‍යංශය අලුතින් නිවේදනය කරන පරිදි මෙම කන්නය සඳහා පමණක් කෘෂි රසායනික භාවිත කරන්නට අවසර නිකුත් කෙරේ. පොහොරවලින් පලිබෝධ පාලනය කරන්නේ නැත. එයට දෙන විසඳුම ද අනාවරණය කිරීම වැදගත් බව සඳහන් කළ යුතුය.

0 comment
0

Related Posts

Leave a Comment