Home කාලීන පුවත් කියුබානු විප්ලවයට හැට එකයි

කියුබානු විප්ලවයට හැට එකයි

by Hela news

කියුබානු විමුක්ති අරගලය ගැන අධ්‍යයනය කිරීම නිදහසට ආදරය කරන සියලුම මිනිසුනට අතිශය ආශ්වාදජනක කටයුත්තකි. කියුබාවට ඇත්තේ අරගලවලින් පිරි ඉතිහාසයකි. පළමු නිදහස් සටන ආරම්භ කරන ලද්දේ කාලෝස් මැනුවෙල් සෙස්පෙඩිස් නම් ඉඩම් හිමියා තමා විසින්ම තම වහලුන් නිදහස් කර ස්පාඤ්ඤ යටත්විජිතවාදීන්ට එරෙහි සටනට ඔවුනට සම්බන්ධ වන්නට ඉඩ සැලැස්වීමෙනි. මෙම සටන 1868 සිට 1878 දක්වා වසර 10ක් පැවතිණි. 1895 සිට 1898 දක්වා පැවැති දෙවැනි නිදහස් සටනේ නිර්මාතෘවරයා වූයේ ජොසේ මාටිය.

සෑම වසරකම ජනවාරි පළමු වැනිදා කියුබාවේ නිදහස් දිනය ලෙස සමරනු ලැබේ. ඓතිහාසික කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ රූස් විසින් කියුබානු විප්ලවවාදී රජය පිහිටුවා මේ වසරට වසර 63ක් සපිරෙයි. ඊට පෙර දීර්ඝ කාලයක් කියුබාව පාලනය කළ හමුදා පාලක ෆුල්ජෙන්සියෝ බැටිස්ටා කියුබාවෙන් පලා ගියේ 1958 දෙසැම්බර් 31 වැනිදාය. 

කියුබානු විමුක්ති අරගලය ගැන අධ්‍යයනය කිරීම නිදහසට ආදරය කරන සියලුම මිනිසුනට අතිශය ආශ්වාදජනක කටයුත්තකි. කියුබාවට ඇත්තේ අරගලවලින් පිරි ඉතිහාසයකි. පළමු නිදහස් සටන ආරම්භ කරන ලද්දේ කාලෝස් මැනුවෙල් සෙස්පෙඩිස් නම් ඉඩම් හිමියා තමා විසින්ම තම වහලුන් නිදහස් කර ස්පාඤ්ඤ යටත්විජිතවාදීන්ට එරෙහි සටනට ඔවුනට සම්බන්ධ වන්නට ඉඩ සැලැස්වීමෙනි. මෙම සටන 1868 සිට 1878 දක්වා වසර 10ක් පැවතිණි.

1895 සිට 1898 දක්වා පැවැති දෙවැනි නිදහස් සටනේ නිර්මාතෘවරයා වූයේ ජොසේ මාටිය. ජොසේ මාටි ක්‍රියාන්විතයේ දී මිය ගිය ද, පළමු නිදහස් සටනේ ප්‍රවීණයන් වූ මැක්සිමෝ ගෝමස් සහ ඇන්ටෝනියෝ මැසියෝ විසින් එම සටන දිගටම කරගෙන ගියහ. 1898 දෙසැම්බරයේ දී කියුබාවෙන් ස්පාඤ්ඤ යටත්විජිතවාදීන් ඉවත් කර ගැනීමට තුඩු දුන් සාම ගිවිසුමක් එක්සත් ජනපදය හා ස්පාඤ්ඤය විසින් පැරිසියේ දී අත්සන් කරන ලදී. නමුත්, 1901 මාර්තු 2 වැනි දින 1901 හමුදා විසර්ජන පනත් කෙටුම්පතේ කොටසක් ලෙස ගෙන ආ 1901 ‘ප්ලැට්’ සංශෝධනය කියුබාවේ දේශපාලන, පරිපාලන සහ හමුදා කටයුතුවලට මැදිහත්වීමට එක්සත් ජනපදයට බලය දුන්නේය.

තරුණ ෆිදෙල්

පූර්ව විප්ලවවාදී කියුබාව එහි වෙරළ, උක් වතු, කැසිනෝ සහ සූදුව, ගණිකා වෘත්තිය සහ සංචාරක ව්‍යාපාරය ආදිය සඳහා ප්‍රසිද්ධයක් ඉසිලීය. එවකට කියුබාවේ විරැකියාවෙන් හා දරිද්‍රතාවයෙන් පෙළෙන විශාල ජනගහණයක් සිටියේය. තරුණ ෆිදෙල් ශිෂ්‍ය හා තරුණ දේශපාලනයට ක්‍රියාකාරීව සම්බන්ධ වන්නේ එවන් තත්ත්වයක් යටතේය. ඔහු එඩ්වාඩෝ චිබාස්ගේ ‘ඕතඩොක්ස්’පක්ෂයට අනුබද්ධ වූ අතර, එමඟින් සමාජ සාධාරණත්වයේ ප්‍රබල උපදේශකයකු ලෙස ප්‍රසිද්ධියට පත් වීය.

1952 මාර්තු 10 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය හමුදා පාලක ෆුල්ජෙන්සියෝ බැටිස්ටා විසින් අවලංගු කරන ලද්දේය. එනිසා, කියුබාවේ දේශපාලන විකාශනය විසින් කියුබානු දේශපාලනයේ එක්සත් ජනපද ආධිපත්‍යය වෙනස් කිරීම සඳහා වන නව ව්‍යාපාරයක් ඉල්ලා සිටිනු ලැබීය. කියුබානු නිදහසේ නිර්මාණ ශිල්පියා වූ ජොසේ මාටිගෙන් මුල් බැස ගත් නිදහස සහ අභිමානය පිළිබඳ විශ්වාසය මඟින් ජනතාව සංවිධානය කිරීමේ සහ ඔවුන්ව දැනුම්වත් කිරීමේ අවශ්‍යතාව ෆිදෙල් කැස්ත්‍රෝ හඳුනා ගත්තේය.

ෆිදෙල් සහ ඔහුගේ සොහොයුරු රාවුල් තරුණයන් 160ක් පමණ සමඟ 1953 ජූලි මාසයේ දී මොන්කාඩා ආරක්ෂක සේනාවට පහර දීමට තීරණය කළෝය. මෙම ප්‍රහාරය බැටිස්ටාගේ දූෂිත පාලනය ගැන පිළිකුලෙන් සිටි කියුබානු ජනතාවගේ ඇස් ඇරීමක් වැනි විය. මොන්කාඩා ප්‍රහාරය අසාර්ථක වූ අතර, එහි නායකයන් අත්අඩංගුවට පත් විය. එහෙත්, මහජන බලපෑම් නිසා පසුව සිරකරුවන්ට සමාව දී නිදහස් කිරීමට බැටිස්ටාට සිදු විය.

ජූලි 26 ව්‍යාපාරය

ෆිදෙල් සහ රාවුල් මෙක්සිකෝවට පිටත්ව ගිය අතර, ෆිදෙල් එහි දී ‘ජූලි 26 ව්‍යාපාරය’ නමින් කැරලිකාර හමුදාවක් පිහිටුවා ගත්තේය. කියුබානු කැරලිකරුවන්ගේ ආභාසය ලැබූ ආර්ජන්ටිනාවේ වෛද්‍යවරයකු වූ අර්නස්ටෝ චේ ගුවේරා ද මෙම කැරලිකාර හමුදාවට බැඳුණේ මේ අතරය. 1956 දී ඔවුන් ‘ග්‍රැන්මා’ ඓතිහාසික යාත්‍රාවෙන් කියුබාව බලා පිටත් විය. යාත්‍රාවට ප්‍රහාරයක් එල්ල වූ අතර, 80කට ආසන්න සටන්කාමීන් පිරිසකගෙන් දිවි ගලවා ගන්නට හැකි වූයේ 12 දෙනකුට පමණි. ඉන්පසුව ඔවුන් නැවත එකතු වූයේ, සියෙරා මෙයිස්ට්‍රා කඳුකරයේදීය. කියුබානු ජනතාවගේ අධිෂ්ඨානයත්, ෆිදෙල් කැස්ත්‍රෝ නායකත්වය දුන් සාධාරණ අරගලයත් හේතුවෙන් 1958 දෙසැම්බර් 31 වැනිදා ඇමෙරිකානු රූකඩ ආඥාදායක බැටිස්ටා කියුබාවෙන් පලා ගියේය.

ජයග්‍රාහී කැරලිකාර හමුදාව 1959 ජනවාරි 1 වැනි දින සන්තියාගෝ ඩී කියුබා නම් එරට දෙවැනි විශාලතම නගරයට ඇතුළු විය. ජනවාරි දෙවැනි දින මහා වැඩවර්ජනයක් කැඳවන ලද අතර, එදිනම හමුදා පාලනය බිඳ වැටුණි. දිවයින පුරා ජයග්‍රාහී ගමනක් ගිය ෆිදෙල් 1959 ජනවාරි 8 වැනි දින නැවත හවානා වෙත ළඟා විය. එසේ පැමිණි ෆිදෙල් විප්ලවවාදී සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක තනතුර භාර ගත්තේය. විප්ලවවාදී රජය ආරම්භ කළ වෙනස්කම් සිතාගත නොහැකිය. කෙටි කාලයක් තුළ නූගත්කම තුරන් කිරීම, නිදහස් සෞඛ්‍ය සේවය, නොමිලේ නිවාස, නිදහස් අධ්‍යාපනය සහ ශක්තිමත් සමාජ සුබ සාධන පද්ධතියක් කියුබානු විප්ලවයේ ජයග්‍රහණ පිළිබඳව ලද ස්ථිර සාක්ෂි බවට පත් විය.

වෙළඳ සම්බාධක

කියුබානු විප්ලවය සහ විප්ලවවාදී රජය විසින් ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණ අමෙරිකා එක්සත් ජනපදයේ අප්‍රසාදයට ලක් විය. කියුබානු විප්ලවයේ මුල් දිනවල එවකට එක්සත් ජනපද ජනාධිපතිව සිටි අයිසන්හවර් කියුබාවට එරෙහිව රහස් මෙහෙයුමක් අනුමත කළේය. 1959 දෙසැම්බරයේ දී CIA සංවිධානයේ බටහිර අර්ධ ගෝලයේ ප්‍රධානි කර්නල් ජේ.සී. කිං, ෆිදෙල්ව ඉවත් කිරීමේ හැකියාව පිළිබඳව CIA ප්‍රධානී ඇලන් ඩලස් වෙත සංදේශයක් යැවී ය. එතැන් සිට ඔවුන් ෆිදෙල්ගේ ජීවිතය ඩැහැ ගන්නට හයසිය වතාවක් පමණ උත්සාහ කර තිබේ. කියුබාවෙන් පිටුවහල් කළ පුද්ගලයන් CIA සංවිධානය විසින් අඛණ්ඩව බඳවා ගන්නා ලද අතර, කියුබාවට එරෙහිව පැරා මිලිටරි ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔවුන් පුරුදු පුහුණු කරනු ලැබීය.

වැඩ කරන ජනතාවගේ ඉල්ලීම පරිදි කියුබානු විප්ලවවාදී ආණ්ඩුව එක්සත් ජනපද ව්‍යාපාර, තෙල් පිරිපහදු, සීනි මෝල් සහ දුරකතන සමාගම් ජනසතු කළේය. ඊට විරෝධය පළ කරමින් 1959 අගෝස්තු 28 වැනි දින අමෙරිකා එක්සත් ජනපදය කියුබාවට වෙළඳ සම්බාධක පැනවීය. කියුබානු විප්ලවයට කියුබානු ජනතාවගෙන් පුළුල් සහයෝගයක් තිබූ බවත්, දේශීය වශයෙන් කියුබාව තුළ ඊට විරුද්ධත්වයක් නොවූ බවත්, කියුබානු ජනතාව මත ආර්ථික පීඩනයක් පනවා ඔවුන් කුසගින්නේ තබා යටත් වීමට සලස්වා කියුබානු විප්ලවය පෙරළා දැමීමට එක්සත් ජනපදයට අවශ්‍ය බවත් 1960 වර්ෂයේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියකුව සිටි ලෙස්ටර් මැලෝරි ඔහුගේ ලේඛනයක සඳහන් කර තිබේ.

සීතල යුද්ධය

කියුබානු විප්ලවයෙන් පසුව බලයට පත් වූ අමෙරිකානු ජනාධිපතිවරුන් දොළොස් දෙනා විසින් කියුබාවට එරෙහි සම්බාධක වරින් වර දැඩි කර ඇත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පසුගිය වසර හතර තුළ විවිධ අංශ යටතේ කියුබාවට එරෙහිව නව ක්‍රියාමාර්ග 235ක් ක්‍රියාත්මක විය. එම අවහිර කිරීම් අධ්‍යාපනය, මහජන සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය සහ වෙළෙඳාම ආදී කියුබානු ජන ජීවිතයේ සෑම අංශයකටම බලපෑවේය. කියුබාවේ සිටි එක්සත් ජනපද පුරවැසියන්ට ද මෙම දුෂ්කරතා විඳින්නට සිදු විය. ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි කිසිදු ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක් කියුබාව සමඟ ගනුදෙනු නොකළේය.

කියුබානු විප්ලවය ඇති වූයේ සීතල යුද්ධයේ උච්චතම අවස්ථාවේදීය. එම සීතල යුද්ධයේ මානසිකත්වය අවසන් වූයේ, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුවය. සෞඛ්‍ය ආරක්ෂණය, පරිසරය, අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හරහා කියුබාවට තවමත් පනවා තිබෙන සම්බාධක කිසිසේත් ම තාර්කික නොවේ.

එසේ වුව ද, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන පෙන්නා දී ඇති ඉලක්ක වෙත ළඟා වීම සඳහා දැනටමත් කියුබානු ජනතාව ලබා තිබෙන ජයග්‍රහණ අතිශයින් ප්‍රශංසනීයය. කොවිඩ් වසංගතය පවතින කාලය තුළ කියුබාවේ Henry Reeves Medical Brigade වෛද්‍ය බලකාය ස්වෙච්ඡාවෙන් රටවල් 40කට ආසන්න සංඛ්‍යාවකට සිය වෛද්‍ය සේවාවන් දීමට ඉදිරිපත් විය. කියුබාව ද එන්නත් පහක් නිෂ්පාදනය කළ අතර, ඉන් තුනක් හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනු ලැබීය.

වත්මන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ පරිපාලනයට ද ඔවුන්ගේ සීතල යුද මානසිකත්වයෙන් මිදීමට සහ කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කිරීම සම්බන්ධයෙන් වෙනස්කම් සිදු කළ හැකිය. කියුබාවට ආදරය කරන මුළු මහත් ලෝකයම එසේ සිදු කරන තුරු බලා සිටී.

0 comment
0

Related Posts

Leave a Comment