Home දේශීය පුවත් කින්නියාවේදී පාලම් පාරුවක් පෙරළී 6ක් මරුට

කින්නියාවේදී පාලම් පාරුවක් පෙරළී 6ක් මරුට

by Hela news

20කගේ දිවි ගලවා ගනී
– අතුරුදන් වූවන් සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්
– පාසල් සිසුන් ඇතුළු පිරිසක් ගමන් කරලා

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරිඤ්ඤංකර්නි පාලම අසල පුද්ගලයන් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් ඊයේ (23) උදෑසන අනතුරට පත් වී ගිලී යෑමෙන් පුද්ගලයන් 6 දෙනකු මරණයට පත්ව ඇත.

පාලම් පාරුව ගිලීමෙන් අනතුරට තවත් 20 දෙනකු මුදාගෙන රෝහල්ගත කර ඇත.

මේ අනතුරින් අතුරුදන් පිරිස් සොයා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබිණි. ඒ අනුව, මෙම විශේෂ ආපදා සහන මෙහෙයුම සඳහා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගණය, මැරීන් බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ කිමිදුම් අංශයෙන් සමන්විත සහන කණ්ඩායම් 8ක් ඊයේ 23 පත්‍රය මුද්‍රණය වන විටත් එම අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් සිදු කළහ.

මිය ගිය පිරිස අතර එකම පවුලේ මව, පුතා සහ දියණියක් වෙති. තවත් පවුලක අක්ක නඟෝ දෙදෙනෙක් වෙති. තවත් 70 හැවිරිදි පුද්ගලයෙක් ද මියගිය පිරිස අතර වෙයි.

පුද්ගලයන් 19 දෙනකු කින්නියා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර, එම ප්‍රතිකාර ලබන පිරිස අතර ගැහැනු දරුවෝ 5ක්, පිරිමි දරුවෝ 6ක්, වැඩිහිටි පිරිමි පුද්ගලයෝ 4ක් සහ කාන්තාවෝ 4 දෙනෙක් වෙති.

වයස අවරුදු 6ක දැරියක් ත්‍රිකුණාමලය මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

කින්නියා කුරින්ඥන්කර්නි පාලමෙහි කරන අලුත්වැඩියා හේතුවෙන් පුද්ගලයන් ප්‍රවාහනය සඳහා මෙම පාලම් පාරුව භාවිතා කර ඇති අතර, ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව ඊයේ (23) උදෑසන මෙම අනතුර වන විට මෙම පාලම් පාරුවේ පාසල් සිසුන් ඇතුළු පුද්ගලයන් පිරිසක් ගමන්ගත් බවට වාර්තා වී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ගම්වාසීහු කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අසලට රැස් වී විරෝධතා දැක්වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ කින්නියා පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වයි.


ත්‍රිකුණාමලය කින්නියා කුරුඤ්ඤංකේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (23) පෙරවරුවේ පළාත් පාලන කොමසාරිස් එන්.මනිවන්නන් මහතාට නියෝග කළාය.

ඉතා කඩිනමින් මෙම සිදුවීමට අදාළ පරීක්ෂණය පවත්වා අදාළ පාලම් පාරුව ක්‍රියාත්මක කිරීමට අවසර දීම සහ නඩත්තු කටයුතු සිදු කළේ කවුරුන්දැයි ඇතුළු කරුණු කාරණා ගැන වහාම තමාව දැනුවත් කරන ලෙස ද ආණ්ඩුකාරවරිය අවධාරණය කළාය.

අදාළ සිදුවීම සිදුවූ අවස්ථාවේදීම විශේෂ නිලධාරින් පිරිසක් එම ප්‍රදේශයට පිටත් කර යවා සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ද ඇය වැඩිදුරටත් කටයුතු කළාය.

මේ අවස්ථාවේ ඉතා සන්සුන්ව කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරිය ප්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලීමක්ද කළාය.

මේ අතර මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තවුෆීක්ගේ නිවසට ප්‍රහාරයක් එල්ලවී තිබේ.

කින්නියා, කුරන්ජන්කර්නි කළපුවේ පාරුවක් පෙරළීයාමෙන් සිදුවූ අනතුරත් සමඟ එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

එම අවස්ථාවේදී මෙලෙස ප්‍රදේශවාසීන් විසින් මන්ත්‍රීවරයාගේ නිවසට ප්‍රහාරයක් එල්ලකර ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

පහර දීමෙන් මන්ත්‍රීවරයාගේ නිවසට දැඩි හානි සිදුව තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment