Home දේශීය පුවත් කැලඹුණු කාලගුණය නිසා 25ක් මරුට

කැලඹුණු කාලගුණය නිසා 25ක් මරුට

by Hela news
  • පවුල් 60,264ක පුද්ගලයන් 212,060කට පීඩා
  • ඔරු පදින්න ගිහින් 12ක් අකාලයේ ජීවිත හැර ගිහින්
  • පවුල් 3,648ක් ආරක්ෂිත ස්ථාන 76ක
  • නිවෙස් 23ක් මුළුමනින්ම විනාශයි අර්ධ හානි 1,229ක්
  • අවදානම් ස්ථාන 115ක් ගැන අවධානයෙන්

දිවයිනේ දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 126කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 25ක් මියගොස්, පවුල් 60,264කට අයත් පුද්ගලයන් 212,060ක් මේ වන විට ආපදාවට ලක්ව තිබේ.

සැඩ පහරට හසුව ගසාගෙන යෑමෙන් එක් පුද්ගලයකු අතුරුදන් වී ඇති අතර, පිහිනීමට හා පාරු පැදීමට ගොස් පුද්ගලයන් 13ක් දියේ ගිලීම හේතුවෙන්ද , අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් 3ක් සහ නායයෑම්වලින් පුද්ගලයින් 7ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූවන් ගණන 5ක් බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (10) පෙරවරු‍වේ පැවසීය.

ආරක්ෂිත ස්ථාන 23ක පවුල් 384කට අයත් පුද්ගලයන් 1,498ක් දැනට රඳවා ඇති බවත් පවතින ‍කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පවුල් 1,020කට අයත් පුද්ගලයන් 3,537ක් ඥාතීන්ගේ සහ මිතුරන්ගේ නිවෙස්වල නවාතැන් ගෙන ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ගංවතුර හා නාය යෑම් හේතුවෙන් නිවාස පූර්ණ හානි 18ක් සහ නිවාස අර්ධ හානි 960ක් ද වාර්තා වී තිබේ.

නාය යෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇති අවස්ථාවන්හි අදාළ ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයන් පොලිසිය යොදවා හා අධිකරණ ක්‍රියාමාර්ගයෙන් ඉවත් කිරීමට සිදු වන බවද සුදත්ත රණසිංහ මහතා පැවසීය.

නාය යෑම් සහ පස් කඳු කඩාවැටීමේ අවදානම් ස්ථාන 115ක් පිළිබඳ මේ වන විට වාර්තා වී තිබෙන බවත් ඒ සම්බන්ධව අවධානය යොමු කරමින් කටයුතු කරන බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා මෙහිදී පැවසීය.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර සිටින්නේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, දොලුව, යටිනුවර, උඩපළාත, පස්බාගේ කෝරළේ, ගඟවත්ත කෝරළේ, උඩුනුවර සහ ගඟඉහළ කෝරළේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, අලව්ව, මාවතගම, රිදීගම සහ නාරම්මල, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල, රඹුක්කන, අරණායක, කෑගල්ල, මාවනැල්ල, බුලත්කොහුපිටිය, වරකාපොළ, දෙහිඕවිට, ගලිගමුව සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තෙවැනි අදියරේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

ගාල්ල, ගම්පහ, බදුල්ල,කොළඹ, කලුතර, මාතලේ, නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්ක සඳහා පළමු සහ දෙවැනි අදියරේ නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

නාය යෑම් අවදානම් නිකුත් කළ ප්‍රදේශවල තත්ත්ව පරීක්ෂණයක් කරන තුරු නැවත පදිංචියට නොයන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වැඩි දුරටත් අවධාරණය කළේය.

0 comment
0

Related Posts

Leave a Comment