Home කාලීන පුවත් කැල­ණිය සර­ස­විය එකලු කළ පඬි­රු­වන අාචාර්ය වැල­මි­ටියාවේ කුස­ල­ධම්ම නාහිමි

කැල­ණිය සර­ස­විය එකලු කළ පඬි­රු­වන අාචාර්ය වැල­මි­ටියාවේ කුස­ල­ධම්ම නාහිමි

by Hela news

ගුණප්‍රවාලං විනයප්‍රශාඛං

විශ්‍රම්භමූලං මහනීය පුෂ්පම්

තං සාධු වෘක්ෂං ස්වගුණෛඃ ඵලාඪෛ්‍යඃ

සුහෘද් විහංගාඃ සුඛමාශ්‍රයන්ති.

ගුණධර්ම නමැති දලු ඇති, විනයවත්කම නමැති අතු ඇති, විශ්වාසවන්තකම නමැති මුල ඇති, පිදිය යුතු බව නමැති මල් ඇති ශ්‍රේෂ්ඨ ගුණයන් නමැති ඵලයන්ගෙන් පිරුණු සත්පුරුෂ වෘක්ෂය, සහෘද පක්ෂීහු සුවසේ ඇසුරු කරති.

ශ්‍රී ලාංකේය සඟ සසුන වසර හැත්තෑවකට ආසන්න කාලයක් ශෝභාවත් කළ, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් සිදු කර දැයෙන් සමුගත් පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධීශ්වර, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අතිගෞරවාර්හ වැලමිටියාවේ ශ්‍රී කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිබඳ ව සඳහන් කිරීමේදී ඉහත සංස්කෘත පද්‍යයේ සෑම වචනයක් ම මැනවින් ගළපා ගත හැකි බව අවිවාදිතය.

වර්ෂ 1937 පෙබරවාරි 20 දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණිය උඩුගහ උතුරු කෝරලයට අයත් වැලමිටියාවේ විසූ පළිහවඩන ආරච්චිලාගේ ජෝන් සිඤ්ඤෝ සහ රත්නායක මුදියන්සේලාගේ ගුණමල් එතනා යන පින්වත් දෙමව්පියන්ට දාව මෙලොව ජනිත වූ පළිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩා, කුඩා කල සිට ම පන්සලටත්, ආගමික වත්පිළිවෙත්වලටත් ඉමහත් කැමැත්තක් දැක්වූ දරුවෙකි. සහෝදර සහෝදරියන් හත්දෙනෙකුගෙන් යුත් පවුලේ සිවුවැන්නා වූ ටිකිරි බණ්ඩා අනෙක් සියල්ලන්ට වඩා රූපසම්පත්තියෙන් ද, ගුණනුවණින් ද කැපී පෙනුණේ පෙර සසරේ කරන ලද පින් මහිමය නිසාවෙනි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන සහ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන 19 සියවසේ මෙරට බිහිවූ ප්‍රධානතම භික්ෂු අධ්‍යාපන කේන්ද්‍රස්ථානයන් දෙකයි. 1950 කාලවකවානුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ආධිපත්‍යය ඉසිලුවේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. එවකට ටිකිරි බණ්ඩාගේ උපන් ගමේ විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ වූ පූජ්‍ය හුරුග්ගමුවේ ගුණරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ දරුවා තුළ පැවිද්දට අවශ්‍ය සියලු සුදුසුකම් ඇති බැව් මැනවින් අවබෝධ කරගෙන ඔහු ව පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති නාහිමියන්ට භාර කළහ.

වසර හතරක් පැවිද්දට අවශ්‍ය මූලික බණදහම්, වත්පිළිවෙත් ප්‍රගුණ කළ ටිකිරි බණ්ඩා කුලකුමරු වර්ෂ 1954 ජනවාරි මස 07 දින තවත් 09 දෙනෙකු ද සමගින් වැලමිටියාවේ කුසලධම්ම නමින් උතුම් වූ පැවිදි බිමට

පත්වූහ.

සාර්වභෞම පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන් ඇතුළු කීර්තිමත් සංඝනේතෲවරුන් සමීපයේ භාෂාශාස්ත්‍ර අධ්‍යයනයෙහි නිරත වූ කුසලධම්ම සාමණේරයන් වහන්සේ වර්ෂ 1959 මැයි මස 23 දින මහනුවර මල්වතු මහාවිහාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. 1960 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් පන්ති සාමර්ථ්‍යය සහිත ව ගෞරව උපාධිය සමත් වූහ. එතැන් පටන් පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන කේන්ද්‍ර කරගනිමින් සිය ධර්මශාස්ත්‍රීය සේවාව ආරම්භ කළ කුසලධම්ම හිමියන් පෞද්ගලික ලාභාපේක්ෂාවන්ගෙන් තොර ව තමන්ට ලැබෙන සුළු වේතනය පවා ආයතනික අභිවෘද්ධිය වෙනුවෙන් වැය කළේ තම ගුරුභූමිය ගැන තිබූ අප්‍රමාණ භක්තිය නිසා ම ය.

සිය ආචාර්යයන් වහන්සේලා වූ කිරිවත්තුඩුවේ නාහිමියන්, යක්කඩුවේ නාහිමියන් සහ නාත්තන්ඩියේ ප්‍රඥාකර වැනි නාහිමිවරුන් ඇසුරෙහි ලැබූ පළපුරුද්ද සහ ආභාසය වර්ෂ 1989 සිට 2021 දක්වා වසර 32 ක් පුරා විද්‍යාලංකාර පරිවේණාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කිරීමේ දී උන්වහන්සේට මහෝපකාරී විය. වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් විද්‍යාලංකාර සඟ පරපුරේ සිවුර පෙරවීමේ ක්‍රමය ඇතුළු විද්‍යාලංකාර සම්ප්‍රදායය සිය දිවි දෙවැනි කොට ආරක්ෂා කරගත් හිමිනමකි. පිරිවෙන සතු මහාර්ඝ සම්පතක් වන සර්වඥ ධාතූන් වහන්සේලාට නිරන්තරයෙන් පුදපූජාවන් පවත්වමින් පාරිවේණිකයන්ට පමණක් නොව සමස්ත රටවැසියන්ට ම ආශීර්වාද කළ නාහිමිපාණන් වහන්සේගේ පරම විශ්වාසය වූයේ පිරිවෙන ආරක්ෂා කරන අදෘශ්‍යමාන මහා බලය වන්නේ ධාතු මන්දිරයේ වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේලා බවයි.

විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති ධුරය, පිරිවෙන් භූමියට හෝ අධ්‍යාපන කටයුතුවලට පමණක් සීමා නොකළ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ පිරිවෙනට අයත් ව රට පුරා ඇති විහාරස්ථානවල අවශ්‍යතා ද සොයා බලමින් ශිෂ්‍ය දායකකාරකාදීන්ට මග පෙන්වමින් ශාසනික, ජාතික, සාමාජික ආදී සියලු අංශයන්ගෙන් ලෝකශාසනාභිවෘද්ධිය පිණිස දිවාරෑ වෙහෙසුණහ. එහි ප්‍රතිඵලයක් ලෙස මහනුවර මල්වතු මහාවිහාරයේ අතිපූජ්‍ය මහානායහිමිපාණන් ප්‍රමුඛ සංඝසභාව විසින් කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පුදනු ලැබීය.

වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ තරම් ශාසනික, ජාතික සහ සාමාජික තනතුරු දැරූ වෙනත් හිමිනමක් නැති තරම්ය. රාජ්‍යනායකයන් ඇතුළු බොහෝ දෙනෙක් උන්වහන්සේ අනුශාසකත්වයෙහි තබාගත්හ. විද්‍යාලංකාර පිරිවෙන සතු ඓතිහාසික ප්‍රෞඪත්වයේ ජීවමාන සංකේතය වූයේ කුසලධම්ම නාහිමියන්ය. උන්වහන්සේට උපතින් ම උරුම වූ ආකර්ෂණීය පෞරුෂය මෙන් ම දුටුවන් පහදවන රූපසම්පත්තිය ද, කාරුණික අව්‍යාජ සිනහව ද වියතුන් සභා මැද පමණක් නොව කුසලධම්ම නාහිමියන් සිටින සෑම තැනකදීම අන් සියල්ලන්ට වඩා ඉමහත් බැබළීමක්, ගෞරවයක් අත්කර දුන් බව නොරහසකි.

අපේ වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තරම් අවංක දාක්ෂිණ්‍ය ගුණයෙන් සහ සත්පුරුෂ කෘතවේදී ගුණයෙන් පොහොසත් භික්ෂූන් වහන්සේ නමක් තවත් සියවස් ගණනකට බිහිනොවනු ඇත. නාහිමියන්ට ලැබෙන සෑම දෙයක් ම අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස ඉතාමත් සතුටින් පරිත්‍යාග කරන උදාර වූ බෝසත් සිරිත උන්වහන්සේ ජීවිතය පුරා ම විහිදී පැතිරී තිබුණි. කුසලධම්ම නාහිමිපාණන් තම උපන් දිනය, පැවිදි වූ දිනය, වාර්ෂික ව පවත්වන විද්‍යාලංකාර දිනය ආදී තවත් බොහෝ අවස්ථාවන්හි සිනහමුසු මුහුණින් හදවතින් ම කරන පරිත්‍යාගයන් ලැබූ පිරිස දසදහස් ගණනකි.

ආර්ථික දුෂ්කරතා ඇති දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය, ආබාධිත අයට අවශ්‍ය උපකරණ, වැඩිහිටි නිවාස සහ රෝහල්වලට අවශ්‍ය ද්‍රව්‍ය ආදී නාහිමියන් විසින් කරන ලද පරිත්‍යාගයන් වචනවලින් කියා හෝ ලියා නිමකළ නොහැකි තරම් අනන්තය. අප්‍රමාණය. වැදගත් ම දෙය වන්නේ උන්වහන්සේ කරන පරිත්‍යාගයන් සේ ම ලැබීම් ද නොඅඩු වීමයි. තමන්ට ලැබෙන්න ලැබෙන්න වැඩි වැඩියෙන් අන්‍යයන්ට පරිත්‍යාග කරන්නට නාහිමියෝ කිසිවිටෙකත් පසුබට නොවූහ.

විද්‍යාලංකාර පිරිවෙනේ දාන ශාලාවෙන් දන් නොවැළඳූ භික්ෂූන් වහන්සේ නමක් මෙරට හෝ පිටරටක සිටිය නොහැකි තරම් කුසලධම්ම නාහිමියෝ දන් පූජා කළහ. ව

විශේෂයෙන් ප්‍රාචීන භාෂා සම්මන්ත්‍රණ, විභාග උත්තර පත්‍ර බැලීම්, වෙනත් සම්මන්ත්‍රණ, රැස්වීම් ආදී අධ්‍යාපනික, ශාසනික, ජාතික කවර ම හෝ කර්තව්‍යයක් විද්‍යාලංකාර පිරිවෙනේ පැවැත්වෙන්නේ නම් ඒ සියලු දෙනා වෙනුවෙන් දානය, ගිලන්පස පමණක් නොව නවාතැන් පහසුකම් ද සැලසෙන්නේ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙනි. දශක දෙකකට වැඩි කාලයක් ප්‍රාචීන භාෂා සම්මන්ත්‍රණවලට සහභාගි වන ශිෂ්‍ය භික්ෂූන් වහ්සේලා දහස් ගණනකට කුසලධම්ම නාහිමියන් දානය පූජා කළේ භාෂාශාස්ත්‍ර උන්නතිය පමණක් නොව අනාගතයේ ශාසන භාරධාරිත්වයට සුදුසුකම් ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කෙරෙහි මහත් ආදරයෙන් සහ සෙනෙහසිනි. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඉගෙනීම සඳහා ඇතුළත් වන සියලු ම ගිහි පැවිදි සිසුන්ට, ආචාර්ය මණ්ඩලයට පමණක් නොව සේවකකාරකාදීන්ට ද කිසිදු භේදයකින් තොර ව කුසලධම්ම නාහිමියන්ගේ ආරක්ෂාව, රැකවරණය මෙන් ම සැලකිල්ල ද නොඅඩුව ලැබෙයි. ආයතනය මෙන් ම ආයතනිකයන් ද ගෞරවනීය ලෙස සැලකීම කුසලධම්ම නාහිමියන් සතු වූ ප්‍රශංසනීය ගුණාංගයකි.

වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ නමකි. ඇතැම් විට උන්වහන්සේට ආරාධනා ලැබෙන්නේ ලංකාවේ අතිදුෂ්කර, පහසුකම් අවම, දුප්පත් අහිංසක ගැමි ජනතාව ජීවත්වන ප්‍රදේශයක විහාරස්ථානයකිනි. එහෙත් අපේ නායක හාමුදුරුවෝ දුර හෝ වෙහෙස නොබලා ඉතාම කරුණාවෙන් එහි වැඩමවා ධර්ම දේශනාව සිදු කර ලැබෙන යමක් වේ නම් ඒවාත් ආපසු පන්සලට ම පරිත්‍යාග කරති. එපමණකින් නොනැවතී උදව් උපකාර අවශ්‍ය නම් ඒවා ද නොපිරිහෙළා ඉටු කරති. අපේ රටේ වැඩියෙන් ම දාගැබ්, බෝමළු, විහාර මන්දිරවලට මුල්ගල් තැබුවේ ද විවෘත කළේ ද කුසලධම්ම නාහිමිපාණන් වහන්සේය. තමන්ට හැකි උපරිමයෙන් දුෂ්කරතා ඇති විහාරස්ථානවලට කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ කළ උපකාර රාජරාජමහාමාත්‍යාදීන්ගෙන් සිදු වී නොමැති බව නම් සඳහන් කළ යුතුමය.

කෙතරම් තනතුරු, ලාභ සත්කාර, ගරු බුහුමන් ලැබුව ද ‘විද්‍යාලංකාරයේ නායක හාමුදුරුවෝ’ යන ආදරණීය වචනයෙන් ගිහිපැවිදි කවුරුත් හැඳින්වූ වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අතිශයින් ම නිහතමානීය. නිරහංකාරය. සුහදය. කාරුණිකය. ආගන්තුක සත්කාරයෙහි අප්‍රමාණ ව ලැදිය. උන්වහන්සේ ගැන අපේ සිත් තුළ ඇති සදානුස්මරණීය මතකයන් මෙවැනි කෙටි ලිපියකින් විවරණය කිරීම කිසිසේත් ම කළ නොහැකිය. සොබාදහම අප කාටත් පොදුය. අප දුක්වන්නේ නාහිමියන්ගේ මරණය නිසා නොවේ. ලාංකේය සඟසසුන නමැති මහ වනයෙහි ඔබවහන්සේ වැනි සඳුන්, තේක්ක, බුරුත වැනි මහාර්ඝ වනස්පති වෘක්ෂයන් ඇද වැටෙන විට, ඒ බිමෙහි පැළ වන්නේ අරටුවක් නැති වල්පැළ නිසාවෙනි.

හැත්තෑ වසරකට ආසන්න ලෝකශාසනික සේවාවෙන් ද, උදාර පරිත්‍යාගශීලීත්වයෙන් ද නාහිමිපාණන් වහන්සේ රැස්කරගත් අනන්ත කුසල් බලයෙන් උන්වහන්සේට උතුම් අමාමහ නිවනින් සැනසීම අත්වේවා!

0 comment
0

Related Posts

Leave a Comment