Home කාලීන පුවත් කැලණියට වෛද්‍යපීඨයක් හිමි කර දුන් නිහඬ ප්‍රාඥයා: කාලෝ

කැලණියට වෛද්‍යපීඨයක් හිමි කර දුන් නිහඬ ප්‍රාඥයා: කාලෝ

by Hela news

කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 30 වන සංවත්සර උලෙළට සමගාමීව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනක ද සිල්වා විසින් පවත්වන ලද ‘කාලෝ ෆොන්සේකා අනුස්මරණ දේශනය’ ඇසුරෙනි.

1933 මාර්තු 04 වන දා කාලෝ ෆොන්සේකා උපත ලැබීය. අවුරුදු 86දී එනම් 2019 සැප්තැම්බර් 02 වන දින අභාවප්‍රාප්ත විය. මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේය. පාසල් අධ්‍යාපනයෙන් පසු 1955දී ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඔහු ඇතුළත් විය. 1960දී පළමු සාමර්ථ්‍යය සහිතව වෛද්‍ය උපාධිය සමත් වන ඔහු අවසන් වසර දක්ෂතම සිසුවාට හිමි පෙරී සම්මානය ද හිමි කරගන්නා ලදී. ඉන්පසු 1962දී ලංකා විශ්වවිද්‍යාලයේ භෞතවේදය අධ්‍යයනාංශයට කථිකාචාර්යවරයෙකු ලෙස සම්බන්ධ විය. 1966දී එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් උපාධිය ලබා 1967දී ලංකාවට නැවත පැමිණියේය. දිගුකලක් සිවිල් නොසන්සුන්තාවක් ඇති කළ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමත් සමඟම 1991දී කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කරමින් ආරම්භක පීඨාධිපතිවරයා ලෙස ඔහු විශාල අභියෝගයක් සියතට ගත් අතර, 1997 තෙක් පීඨාධිපතිවරයා ලෙස සේවය කරන ලදී. ඔහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සාමාජිකයෙකුද වූ අතර, කොළඹ වෛද්‍ය විද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ කළමනාකාරී මණ්ඩලයේ සභාපති ද වූවේය. ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ ශ්‍රී ලංකා පවුල් වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා හට ගෞරවනීය සාමාජිකත්වය පිරිනමන ලදී. ඔහුගේ විශ්‍රාම ගැනීමෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඔහුට සම්මානිත මහාචාර්ය ‍ පදවි හිමි විය. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියෙහි සභාපති වූ මහාචාර්ය ෆොන්සේකා 2012 ලෝක දුම්කොළ විරෝධී දින සම්මාන උළෙලේ සම්මාන ලැබූ දකුණු ආසියානුවන් සය දෙනා අතර විය. 2012දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස තේරී පත් විය. ඔහු එම ධුරය අවුරුදු පහක් ඉසිලුවේය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා කලාව සහ ශ්‍රීලංකාවේ දේශපාලනය සමඟ ද සමීප සබඳතාවක් පැවැත්වූවෙකි. 1999දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබන ඔහු ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධුරය ද දැරුවේය. එය විද්‍යාඥයෙකුට ලැබිය හැකි දුලබ ගරුත්වයකි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පුළුල් සංස්කෘතික සහසම්බන්ධතාව ශක්තිමත් කිරීම නිසා ජපන් රජය විසින් ඔහුව අගයන ලදී. කාලෝචිත ගී, රත්තරන් දුවේ සහ කොයිද ගියා වැනි ගීත ඇල්බම කීපයක් නිෂ්පාදනය කළ ඔහු ගී පද රචකයෙකි. අපගේ පීඨ ගීයේ නිර්මාතෘ ද ඔහුය. දේශපාලනිකව ලංකා සම සමාජ පක්ෂයේ වැදගත් සාමාජිකයෙක් විය. පක්ෂයේ මධ්‍යම කමිටුවේ සහ විධායකයේ සාමාජිකයෙකු වූ ඔහු කෝට්ටේ පිහිටි කාර්යාලයේ වැඩකටයුතු කරගෙන ගියේය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා එදවස නූතන බහුශ්‍රැතයෙක් විය. වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක්, කථිකයෙක්, දාර්ශනිකයෙක්, සංගීතඥයෙක් සහ ගී පද රචකයෙක් විය.

සිය ආචාර්ය උපාධි නිබන්ධනය වූ “Regulation of Growth Hormone” භෞතවේදය පිළිබඳ අත්පොත්වලට පවා ඇතුළත් වුව ද අප අද කාලයේ පර්යේෂකයන් පළ කර ඇති පර්යේෂණ පත්‍රිකා ගණන h – index මට්ටම, හෝ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මුල් පර්යේෂකයන් අතර සිටිනවාද වැනි කාරණාවලින් මහාචාර්ය කාලෝ මැනිය නොහැක්කේය. එහෙත් ඔහු විද්‍යාඥයෙකි. ඔහුගේ තාර්කික බුද්ධියට සියල්ල මැවූ නිර්මාපකයෙකු ගැන හෝ අධිස්වාභාවික දේ ගැන පිළිගැනීමට ‍ෙනාහැකි විය. වැරදි විශ්වාසවලට වඩා විද්‍යාව බලවත් බව ඔහුට ඒත්තු ගැන්වී තිබුණු අතර, නිර්දය ලෙස සාක්ෂි එකතු කරමින් සිටියේය. එක් උදාහරණයක් නම් ගිනි පෑගීමේ චාරිත්‍රයට දේව බලපෑමක් අවශ්‍ය නොවනබවත්, ඇත්තෙන්ම දෙපය හා ගිනිඅඟුරු අතර ස්පර්ශ කාලය අඩු කිරීමෙන් එය සිදු කෙරෙන බවත් ඔහු පෙන්වූ ආකාරයයි. ඒ සඳහා මහාචාර්ය කාලෝ සහ සගයන් සිය කැමැත්තෙන්ම ඌරු මස් කා අරක්කු බී ගිනි මතින් ඇවිද්දේය. අවට සිටි දේව භක්තිකයන් ශාප කළ ද අවසානයේ විද්‍යාව ජයගත්තේය.

විද්‍යාඥයකු සහ චින්තකයකු ලෙස මහාචාර්ය කාලෝ විද්‍යාවේ පදනම, ක්‍රම, ඇඟවුම් සහ දර්ශනය පිළිබඳ වෛද්‍ය විද්‍යාවට විශේෂයෙන් සමීප වෙමින් සැලකිල්ලට භාජනය කළේය. 1966 “to err is fatal” නමින් බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයෙහි ඔහු පළ කළ පත්‍රිකාව මෙසේ ඇරඹේ. “දෝෂයකින් තොරව රෝගීන්ට සත්කාර කිරීම ප්‍රමිතිය වුව ද එය යථාර්ථයේ දී කළ නොහැකිය. පසුගිය අවුරුදු 36ක කාලයේදී මාරාන්තික වැරදි පහක් මවිසින් කර ඇත.” එම කෙටි පත්‍රිකාව සායනික වෛද්‍ය ක්ෂේත්‍රයේම සාරය ග්‍රහණය කරගෙන ඇත.”සියලු වෛද්‍යවරු වරදින සුලු අය වෙති. වැරදීම්වලට කෙරෙන ස්වභාවික ප්‍රතිචාරය නම් ඒවා සැඟවීම හෝ නිදහසට තර්ක කිරීමය. අපගේ වැරදිවලට මුහුණ නොදීම අවිද්‍යාත්මක සහ සදාචාර විරෝධී වේ. වරදකාරි හැඟීම් යටපත් කරවන කැතාර්ටික් චාරිත්‍ර අපගේ වෘත්තියේ නැත. දැනුම වර්ධනය වන්නේ වැරදිවලට මුහුණ දීමෙන් නිසා වෛද්‍ය විද්‍යාවේ ඥාන මාර්ගයට යන මාර්ගය ඒවාට ඍජුව මුහුණ දීමය.”

ඔහු පත්‍රිකාව අවසන් කරන්නේ “ඇලෙක්සැන්ඩර් පෝප් ‘වැරදි කිරීම මිනිස් ගතියයි. සමාව දීම දේව ගතියයි’ යනුවෙන් ප්‍රසිද්ධියේ දේශනා කළ ද මෝඩයෙකු පමණක් අවුරුදු 36ක දී පස් වතාවක් වැරදි කෙරෙනු ඇතැයි මිමිණෙනු ඇත. කෙසේ නමුත් පාපොච්චාරණය කිරීමෙන් දෝෂවලින් තොර රෝගී සත්කාරයේ පරමාදර්ශය ප්‍රවර්ධනය කළ හැකි නම් මෝඩයාට ඒ සඳහා විද්‍යාත්මක සහ සදාචාරාත්මක වගකීමක් ඇති බව මම විශ්වාස කරමි” යනුවෙනි. වෛද්‍ය ප්‍රතිකාරවල අහිතකර ප්‍රතිඵල කොතරම් සුලබදැයි අපි සියල්ලෝ දනිමු. මහාචාර්ය කාලෝ තමා කෙරෙහි ඇති කළ පීඩාව දැඩි විය. පිළිගත නොහැකි සත්‍යයන් අනාවරණය කිරීමෙන් ඔහු උද්දාමයක් ලද අතර, මෙවර එහි වාරය වෛද්‍ය වෘත්තියට හිමි විය.

1991 කැලණිය විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස පත්වන විට ඔහුට විකල්ප දෙකක් විය. වඩාත් ආරක්ෂිත දෙය වූයේ සංස්ථාපිත දේශපාලන බලාධිකාරයේ වුවමනා සපුරමින්, සාම්ප්‍රදායික දැනුමක් ලබා දීම සඳහා රාජ්‍ය සේවයේ විශ්‍රාමික එකිනෙකා හොඳින් හඳුනන ගුරුවරුන්ගෙන් පීඨය සමන්විත කිරීමයි. අනෙක නම් නව පීඨය සඳහා අනාගතවාදී නමුත් අමාරු ප්‍රවේශයක් තුළින් විශේෂ අනන්‍යතාවක් සහිත වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයක් ලබා දෙන ආයතනයක් නිර්මාණය කිරීමයි.

ඔහු ස්ථිරව සහ තීරණාත්මකව පළමු විකල්පය ප්‍රතික්ෂේප කළේය. “මේ තරුණ පීඨය විඩාබර සහ විශ්‍රාමික පුද්ගලයන්ගෙන් පුරවන්නට මට අවශ්‍ය නැහැ.” ඔහු ඒ බැව් ප්‍රසිද්ධියේම එවකට සිටි උපකුලපතිට සහ පාලක සභාවට කීවේය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භයේ දී අපගේ පීඨයට සිටියේ සීමිත අධ්‍යයන කාර්යමණ්ඩලයකි. එම නිසා බඳවාගැනීම් වේගවත් කිරීමට සිදු විය. පීඨාධිපති ලෙස මහාචාර්ය කාලෝ අවධාරණය කළේ ඉහළ සුදුසුකම් ලද්දන් බඳවා ගැනීම මිස කාගේ කවුරුන් වීම මත බඳවා නොගන්නා ලෙසය. හොඳ පර්යේෂකයන් හෝ එසේ වීමට හැකි අය සඳහා මූලිකත්වය දෙන ලදී. “ආයතනික අභිජනනය තහනම්” යන්න ඔහුගේ වචනයි. සියල්ලට වඩා කුසලතා සහ හැකියා වැදගත් විය. ඔහුගේ සාධාරණ සහ විනිවිදභාව හා බැඳුණු ප්‍රතිපත්ති නිසා වෛද්‍ය පීඨයේ තනතුරුවල දැන්වීම්වලට විශ්වවිද්‍යාලයට අයදුම්පත් ගලා ආවේය. දීප්තිමත් තරුණ විද්වතුන් බඳවාගත් අතර, ඔවුහු එවක් පටන් අද දක්වා ඇති ශක්තිමත් පර්යේෂණ සංස්කෘතිය තහවුරු කර ඇත. මහාචාර්ය කාලෝ ඔවුන්ගේ සාර්ථකත්වය පිළිබඳ කිසිදා ඊර්ෂ්‍යා කළේ නැත.

බලය පැවරීමටද ඔහු නිපුණයෙකි. ඔහුට අනුව “අරගලයක් මැද උපන් පීඨය එවක පැවති අසීරුතා සැලකිල්ලට ගත් විට මගේ ලොකුම ජයග්‍රහණය නම් පීඨය මගේ භාරකාරත්වය යටතේ නොසැලී සිටීමයි. එය සමෘද්ධිමත් විය. එසේ වීමේ සාර්ථකත්වය මා සමඟ මිය නොයා යුතුය. නව ආයතනයක ප්‍රගමනයට තරුණ තරුණියන් වෙත එය පවත්වාගෙන යෑමේ විධායක බලය ලබා දී තිබිය යුතුය.

එහෙත් ඔහු ඔහුගේ දක්ෂ තරුණ ප්‍රජාව කිඹුලන්ට විසි කරන්නට ගියේ නැත. ඔහු කාලය සහ ශ්‍රමය වැය කරමින් ඔවුනට මග පෙන්වූවේය. “කිසිදාක කෝපයෙන් යුතුව ප්‍රසිද්ධියේ කිසිවක් නොපවසන්න. නොලියන්න. ඔබ පසුකලක තැවුණත් හානිය සිදු වී හමාර වනු ඇත.” එවකට තරුණයන්ට දුන් හොඳම උපදෙසකි ඒ. මෙය කීවේ අපේ වත්මන් උපකුලපතිනිය ද ඉදිරියේය.

ප්‍රජාතන්ත්‍රවාදියකු වූ මහාචාර්ය කාලෝ සාකච්ඡාවලදී ඒ සඳහා පැය ගණන් අවකාශය සලසා දුන්නේය. ඔහුගේ තර්කය නිවැරදිය. “සියල්ලන්ට අදහස් දැක්වීමට ඉඩ දෙන්න. හොඳ අදහසක් හෝ ගැටලුවකට විසඳුමක් ඉදිරිපත් විය හැකිය. වඩාත් වැදගත් වන්නේ මිනිසුන්ට ඔවුන්ට ඇහුම්කන්දෙන්නන් සිටින බව ඒත්තු ගැන්වීමය.” එසේ තිබියදීත් ඔහු තමා ගැන කතා කළේ කෙටිවය. ඔහු විශ්‍රාම ගැනීමට පෙර තිබූ අවසන් රැස්වීමේදී සනාතන සභාවේ සාමාජිකයන් ඔහුට නොනැවතී පැසසුම් කරන්නට විය. පැයකට පමණ පසු ප්‍රතිචාර දැක්වීමට ඔහුගේ වාරය ආ විට ඔහු නැගිට මතකයේ රැ‍ඳෙන පරිදි “මම කෙටියෙන් කියන්නම්. ස්තුතියි” කියා හිඳගත්තේය.

පීඨාධිපති වශයෙන් ඔහු ඇතැම් පාර්ශ්වයන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ පවුල් සෞඛ්‍ය විද්‍යාව නම් විෂය ක්ෂේත්‍රය පීඨය තුළ ස්ථාපිත කිරීමට මූලිකත්වය ගත්තේය. තව ද, ආබාධිතතා අධ්‍යයනය නම් සුවිශේෂ විෂය ක්ෂේත්‍රය පීඨය තුළ ස්ථාපිත කරන ලද්දේ ද ඔහු විසිනි.

කෙටියෙන් කිවහොත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා පුරාවෘත්තයක් බඳු ගුරුවරයෙකි; දාර්ශනික විද්‍යාඥයෙකි. තමන්ට අනන්‍ය ශෛලියක් තිබූ විශ්වවිද්‍යාල පරිපාලකයෙකි. 1998 විශ්‍රාම යන විට කටු අත්තක සිට කිරුළක් දක්වා අප පීඨයට යා හැකි සියලු දිශානතීන්වලට අවශ්‍ය පසුබිම ඔහු විසින් සකසා තිබුණි. මානව දයාවෙන් හෙබි මේ ශ්‍රේෂ්ඨ මිනිසාට තවත් බොහෝ දෑ තිබිණි.

ශ්‍රී ලාංකික විද්වතුන් අතරේ ඔහු රාජකීයයෙකි. එහෙත් ඔහු සරල රසයක් තිබූ සරල මිනිසෙකි. උදාහරණයක් ලෙස ඔහු මේස් පැළඳීමට අකමැති විය. ඔහු කලාතුරකින් ටයිපටියක් පැලඳි විට එය බොහෝ විට කමිසයට නොගැළපෙන්නක් විය. දිනක් නොගැළපෙන ටයිපටියක් සහ කමිසයක් හැඳ, මේස් නොපැලඳ ඔහු ආරාධිත අමුත්තකු වශයෙන් උත්සවයකට ගියේය. ඇතුළු වන ස්ථානයේ දී ආරක්ෂක නිලධාරියා සමඟ ගනුදෙනු කිරීමේදී ඔහු අසරණව සිටිනු මම දුටුවෙමි. මම ඔවුන් දෙසට යද්දී “අනේ පුතේ මම ආරාධිත අමුත්තා” යැයි මහාචාර්ය කාලෝ ආයාචන කරමින් සිටියේය. “ඒකෙන් ඇති වැඩක් නෑ. යන්න ඕනි නම් ආරාධනා පත්‍රය පෙන්වන්න” ආරක්ෂක නිලධාරියා උත්තර දුන්නේය. ඔහු ඇතුළුවීමට නොදුන් පුද්ගලයා මහාචාර්ය කාලෝ ෆොන්සේකා බව ඔහුට තේරුම් කර දීමට මද වෙලාවක් ගත වුණේය. ආරක්ෂක නිලධාරියා දණින් වැටෙන තරම් විය. මහාචාර්ය කාලෝ සිනා සී ඔහුගේ පිටට තට්ටුවක් දමමින් ඇතුල් වීමට අවසර දීම ගැන ස්තුතිවන්ත විය. මෙය ඔහුට සාමාන්‍ය දෙයකි. අප සියල්ලන්ට පාඩමකි. සැබෑ රජකු හිස මත සිය කිරුළ පැළඳ සිටින්නේ එය තරයේ අල්වාගෙන නොවේ.

මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ සෙනෙහස ලබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ සහ කැලණිය වෛද්‍ය පීඨ සටන් කර ඇති අතර, තවමත් ඔහුගේ මතකයේ අයිතිය ලබනට සටන් කරති. එහෙත් එම සටනේ ජයග්‍රාහකයා කවුරුන්දැයි අපි දනිමු. අවසාන කැමැත්ත ලෙස සිය දේහය පරිත්‍යාග කළ, ඔහු ආදරය කළ, ආරම්භ කළ පීඨය තරම් ඔහුගේ හදවත සැබෑ ලෙස හිමි වෙන ස්ථානයක් තිබේ ද?

0 comment
0

Related Posts

Leave a Comment