Home කාලීන පුවත් කැබිනට් ඇමැති ධුරයකින් අයින් කරන්නේ ඒ කටයුතු හොඳින් කෙරෙන්නේ නැති නිසානේ

කැබිනට් ඇමැති ධුරයකින් අයින් කරන්නේ ඒ කටයුතු හොඳින් කෙරෙන්නේ නැති නිසානේ

by Hela news
  • රජයක් බලයට පත් කරලා ජීවිතය යදින්න මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නෑ   
  • තීන්දු ගන්න ඕනෑ දේශපාලන කෝණයකින් බලලා නොවෙයි. මේ වෙලාවේ තීන්දු ගන්න ඕනෑ සෞඛ්‍ය කෝණ වලින් බලලා  
  • ඇමතිවරු මාරු වුණා කියලා ක්‍රමවේද හැදෙන්නේ නෑ   

මෙරට දෙවරක්ම අගමැති ධුරය හෙබ වූ රත්නසිරි වික්‍රමනායක මහතාගේ පුත්‍රයකු වන ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා පැත්ත ගියත් ඇත්ත කියන සෘජු ගුණෙන් හෙබි දේශපාලනඥයකු ලෙස ප්‍රකටය. කාලීන දේශපාලන කාරණ සම්බන්ධයෙන් ඒ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.   


ප්‍රශ්නය – හදිසියේම කැබිනට් කුට්ටම ඇනුවේ රටේ දැවෙන ප්‍රශ්නය ඒක නිසා ද?   


පිළිතුර – ඒක ඉතින් ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනැ නේ ද?   


එවැනි කැබිනට් සංශෝධනයක් කළ යුත්තේ.. මේක මේ මගේ පෞද්ගලික මතය. කැබිනට් අමාත්‍ය ධුරයකින් අයින් කරන්නේ කැබිනට් අමාත්‍ය ධුරයේ කටයුතු හොඳටම කෙරෙන්නේ නැති නිසානේ. එහෙම නම් තවත් අමාත්‍ය ධුරයකට දැම්මා කියලා එයාගේ කටයුතු හොඳ වෙනව ද?   


මේකෙන් දක්ෂයෝ අදක්ෂයෝ කරනවා. අදක්ෂයෝ අදක්ෂ ලෙසම කටයුතු කරන අතර අලුතෙන් ලබා දුන්න අමාත්‍යංශයත් කඩා වැටෙන්න ඉඩ තියෙනවා.   


ප්‍රශ්නය – මෙහෙම කුට්ටම අනලා වැඩේ ගොඩ දාන්න පුළුවන් ද?   


පිළිතුර – මට තියෙනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය තමයි අපේ තිස්ස විතාරණ මහාචාර්යතුමා. එතුමා වයිරස් සම්බන්ධව ලෝකයේම අවධානය දිනා ගත් විශේෂඥ මහාචාර්යවරයෙක්. ඇයි එතුමට වගකිව යුතු තනතුරක් නොදෙන්නේ. ඇයි එතුමාගෙන් වැඩක් ගන්නේ නැත්තේ. අපට තියෙන ගැටලුව ඒකයි.   


ප්‍රශ්නය – කොවිඩ් වසංගතය මීටර් සීය තරමට වේගවත්.   


පිළිතුර – ඇත්ත වශයෙන්ම කොවිඩ් පළමු රැල්ල දෙවැනි රැල්ල මෙල්ල කරන්න කණ්ඩායමක් හිටියා. ඒ අයව ඒ කටයුතු වලින් අයින් වුණා. තවත් සමහර වෛද්‍යවරු හිටියා ඒ අයත් අයින් වුණා. ඇයි මේ දේවල් සිද්ධ වුණේ කියන ඒකත් ප්‍රශ්නයක් තමයි. ඉතාම තීරණාත්මක තැනකට මේ රට තල්ලු වෙලා ඉවරයි. මෙතැනින් ගොඩ එන්නනම් ගන්න පුළුවන් හොඳම කණ්ඩායම අරගෙන මේ කොවිඩ් අවදානමට මුහුණ දෙන ඒකයි කරන්න ඕනෑ.   


ප්‍රශ්නය -පුළුවන් නම් බේරියල්ලා කියන තැනට රට පත් වෙලා ?   


පිළිතුර – මේකේ කළමනාකරණය ගැන ලොකු ගැටලුවක් තියෙනවා. ඒ වගේම එක පියවරක් අසාර්ථක වුණොත් ඊළඟට ගන්න පියවර ගන්න පැහැදිලි බවක් නෑ. අන්න එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනනවා. ඒ මොනව වුණත් රජය ලොකු මහන්සියක් ගන්නවා එන්නත්කරණය හරහා හා අනෙකුත් ක්‍රම පාවිච්චි කරලා ජනතාවට යම් කිසි ආකාරයකට සහනයක් සලසන්න. ඒක ඉතින් කොයි තරම් දුරට සාර්ථක වෙයි ද කියලා කියන්න බෑ මේ කළමනාකරණය පිළිබඳ ගැටලුව නිසා.   


ප්‍රශ්නය – ඔබ කළමනාකරණය කියලා කිව්වේ?   


පිළිතුර – එකක් තමයි රෝහල් පිළිබඳ ගැටලුව. ඊළඟට රෝගීන් කළමනාකරණය. එන්නත් ලබා දීමේ දී පූර්ව කටයුතු තියෙනවානේ. පී.සී.ආර්. වගේ ඒවා පිළිබඳ කළමනාකරණය. පී.සී.ආර්. එකක් කරලා දවස් ගාණක් යනවා, ඒකේ ප්‍රතිඵල එන්න. ඒ අතරතුර ඒ මනුස්සයා හැම තැනම ඇවිදිනවා. තවත් අයට ඒ ලෙඩේ ගමන් කරනවා. අපේ ගම්වල ඔය ප්‍රශ්නය තියෙනවා. රෝගියකු රෝහලකට හෝ අදාළ තැනකට යොමු කිරීමේ ක්‍රම වේදයක් නෑ. මේ වගේ ප්‍රශ්න තියෙනවා.   


ප්‍රශ්නය -මේ වැඩපිළවෙළ ඔබ ඔය කියන තැනට වැටුණේ කොහොම ද?   


මේවා සාකච්ඡා කරන්නේ නැද්ද?   


පිළිතුර – ඒක මම දන්නේ නෑ. මම කැබිනට් එකේ නෑනේ. අපි රාජ්‍ය ඇමැතිවරු විතරයිනේ. 

 
ප්‍රශ්නය -සෞඛ්‍ය අංශ කියනවා. රට වහන්න කියලා. නමුත් උද්ධච්ඡකමට රට ඇරගෙන හිටියා කියලා විපක්ෂය කියනවා.   


පිළිතුර – පළමු රැල්ලේ, දෙවැනි රැල්ලේ තිබිච්ච සම්බන්ධීකරණය කඩාගෙන වැටුණා. ඒ කාලේ හොඳ සම්බන්ධිකරණයක් තිබුණා. ඒ නිසාම තමයි අපට ඒක මර්දනය කර ගන්න පුළුවන් වුණේ. ඒ සම්බන්ධිකරණය මේකේ නෑ.   


ප්‍රශ්නය -දවසකට රෝගීන් දෙසීයකට ආසන්න පිරිසක් මිය යනවා.   


පිළිතුර – ඔව්. ඒක තමයි මම කිව්වේ. සම්බන්ධීකරණය කඩා වැටිලා තියෙනවා. මේ වෙලාවේ තීන්දු තීරණ ගන්න ඕනැ දේශපාලන ඇහින් බලලා දේශපාලන කෝණයෙන් නොවෙයි. මේ වෙලාවේ තීන්දු ගත යුත්තේ සෞඛ්‍යමය කෝණ වලින් බලලා. ඒ නිසා ඒ හඬට අපි කන්දිය යුතුයි.   


ප්‍රශ්නය – ජනතාවගේ ප්‍රශ්න ඉහළට දැනුම් දෙන්න තැනක් නැද්ද ?   


පිළිතුර – ඉහළට කියන්නේ ?   


ප්‍රශ්නය – ජනාධිපතිවරයාට අගමැතිවරයාට.   


පිළිතුර – එන්නත් එහෙම නැති වුණාම අපි කතා කරලා කියනවා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට නොවෙයි. ඒ අදාළ අංශවලට කතා කරනවා. නමුත් සමස්තය ගන්න ඕනෑනේ. සමස්තයක් හැටියට රටේ පී.සී.ආර්. කීයක් කරනවා ද? අපේ පැත්තට ලැබෙන්නේ පී.සි.ආර්. 250 ක් 300 ක් විතර ප්‍රමාණයක්. 250 ක් 300 ක් පී.සී.ආර් කළොත්. ඒ අය ඔක්කොම පොසිටිව් වුණා කියලා හිතමු. එතකොට ඒ ප්‍රමාණය විතරයිනේ ලේඛන ගත වෙන්නේ. නමුත් ආශ්‍රිතයන් ඇතුළුව ලෙඩ්ඩු තව ඉන්න පුළුවන්.   


ප්‍රශ්නය – ආණ්ඩුව දත්ත හංගනවා කියලා චෝදනාවක් තියෙනවා?   


පිළිතුර – එහෙම චෝදනාවක් තියෙනවා. අපිටත් නොයෙක් දෙනා කියලා තියෙනවා. විවිධ ජනතාව අපෙන් අහනවා දත්ත හංගනවා නේද කියලා.   


ප්‍රශ්නය – ඒක කොතැනින්ද වෙන්නේ? ආණ්ඩුව ද නිලධාරීන් ද?   


පිළිතුර – ඒක ගැන නම් මට පැහැදිලිතාවක් නෑ. මෙයට වඩා ලෙඩ්ඩු මිය යන බවත් කියනවා. මම දන්නේ නෑ. 

 
ප්‍රශ්නය -ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් මොහොමඩ් මුසම්මිල් ප්‍රසිද්ධියේ කිව්වා ඉහළ හමුදා නිලධාරියෙක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රබලයන් දෙන්නෙක් මේ දත්ත වසන් කරනවා කියලා.   


පිළිතුර – එතුමට මොනව හරි තොරතුරු ලැබෙන්න ඇති. නැත්නම් ආවාට ගියාටම කතා කරන කෙනෙක් නෙවෙයි ඒ මන්ත්‍රීතුමා.   


ප්‍රශ්නය – ඔබත් ප්‍රසිද්ධියේ කියලා තිබුණා හැටනම ලක්ෂයේ බලාපොරොත්තු සුන් වෙලා කියලා   


පිළිතුර – මිනිස්සු බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවනේ. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නෑ රජයක් බලයට පත් කරලා ජීවිතය යදින්න. මරණය නොවෙයි මිනිස්සුන්ට ඕනෑ ජීවත් වීමේ සතුට භුක්ති විඳින්නයි. මිනිස්සුන්ට ඕනෑ නමුත් මේ වගේ තත්ත්වයක් තුළ මිනිස්සු තල්ලු වෙන්නේ එතැනට නම් අද රෝහලකට යන්න. එක ඇඳේ දෙන්නා තුන් දෙනා ඇඳන් යටත් ලෙඩ්ඩු. මම මේ කතා කරන්නේ හොරණ රෝහල ගැන. වෙන දේවල් ගැන නොවෙයි. මම කතා කරන්නේ හොරණ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ගැන. ඒකට නොවෙයි ආණ්ඩුවක් පත් කර ගත්තේ. මම හොරණට ඔසු සලක් ඉල්ලලා දැන් අවුරුදු 10 ක් වෙනවා. ඔසු සලක් හදලා දුන්නා. අපට ලැබුණ මුදල් ලක්ෂ 100 ක් විතර වියදම් කළා. ඒ අතර ආණ්ඩුව පෙරළුණා. ජනාධිපතිතුමා වෙනස් වුණා 2015 දී. ඊට පස්සේ ඒ අය කිව්වා මේ බිල්ඩිම ඔසුසලකට සුදුසු නෑ කියලා. තාම ඒ ගොඩනැගිල්ල එහෙමම තියෙනවා පාවිච්චි කරන්නේ නෑ. ඊට පස්සේ මම මධ්‍යම බස් නැවතුම් පොළෙන් කඩ තුනක් අරන් දුන්නා. ඒත් තාමත් ඔසු සලක් නෑ හොරණට. අපි කතා කරනවා මේ කොවිඩ් ගැන. මිනිස්සුන්ට බෙහෙත් ටිකක් ගන්න හදලා දෙන්නේ නැති ආණ්ඩුවක්. මට තියෙනවා සාධාරණ දේවල් කතා කරන්න. මට සාධාරණ වේදනාවක් තියෙනවා. මම මේ කතා කරන්නේ හොරණ ගැනයි. සමහර පී.එච් අයිලා ෆෝන් එකට කතා කරන්නේ නෑ. දවස් හතර පහ ලෙඩ්ඩු ඉන්නවා පොසිටිව් වෙලා. ගෙනි යන්නේ නෑ. එතකොට ගෙදර අනික් අයට හැදෙනවා. ගෙදර අය හැම තැනම යනවා. කොහොම ද මේක මෙහෙම පාලනය කරන්නේ ? අවශ්‍ය ප්‍රමාණයට එන්නත එන්නේ නෑ. හැමදාම කතා කරන්න ඕනෑ. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා බලධාරීන්ට. ක්‍රමවේදයක් තියෙන්න ඕනෑ. ඇමැතිවරු මාරු වුණා කියලා 


ක්‍රමවේද හැදෙන්නේ නෑ. මේ රටේ සෞඛ්‍යයට ක්‍රමවේදයක් හා කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් නෑ. අදටත් ළමයා ස්කෝලේ දාගන්න අපි ළඟට එනවා. පළමු වසරට තවම ස්කෝලේ නෑ.   


ප්‍රශ්නය – බඩගින්නටත් උත්තරයක් නෑ.   


පිළිතුර – ඔව්. මිනිස්සුන්ට අපි පුළුවන් තරම් සහන දෙන්න ඕනෑ.   


ආර්ථිකය කඩා නොවැටෙන්න නම් නිෂ්පාදනය කරන තැන්වලට උදව් කරන්න ඕනෑ. රට වටේට මහ මුහුද ? ඒත් මොකද වෙලා තියෙන්නේ. මුහුදේ සම්පත් ටික නෙළා ගන්නේ පිට රටින් ඇවිල්ලා. මේ මහ පොළොව මරලා දාලා ඉවරයි. කාබනික පොහොර අවශ්‍යයි. ඒ ගැන කිසිම තර්කයක් නෑ. හැබැයි ඒක කළ යුත්තේ ක්‍රමානුකූලව පැල, පැලෑටි කියන්නේ ජීවත් වන දෙයක්. කාබනික ගොවිතැනට යනකොට බොහොම සූක්ෂමව ඕනෑ ඒක කරන්න.   


ප්‍රශ්නය -ඔබේ අමාත්‍යාංශයෙ ඔබට වැඩ කරන්න බාධා තියෙනවාද?   


පිළිතුර – මෙහෙමයි අපට විදේශ විනිමය ලැබෙන ප්‍රධානම මාර්ගයක් තමයි සංචාරක ව්‍යාපාරය. අපේ රටේ පුරා වස්තු විනාශ කරනවා. සංචාරකයෝ එන්නේ පුරා වස්තු ටික බලා ගන්න. පාර්ලිමේන්තුව බලන්න එන්නේ නෑ. එන්නේ පුරා වස්තු බලන්න. පුරා වස්තු සංරක්ෂණය කරන්න අය වැයෙන් කීය ද හම්බ වෙන්නේ. මේවට දෙන්නේ නෑ. තැනක් සම්ප්‍රදායික කලාවන් බලන්න විදේශිකයන් කැමැතියි. අපි ඒවා තමයි පෙන්වන්න ඕනෑ. ඒවට කොහෙන් ද සල්ලි වෙන් වෙලා තියෙන්නේ. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් මේ ටික රැක ගන්න ඕනෑ. කලාව කලාකරුවෝ රැක ගන්න ඕනෑ.   


ප්‍රශ්නය -පුරා වස්තු සංරක්ෂණය කෙරෙහි ආණ්ඩුවේ අවධානයක් නෑ.   


පිළිතුර – අවධානය අවමයි කියලා මට හිතෙනවා. මේ ආණ්ඩුවේ විතරක් නොවෙයි. කාලයක් තිස්සේ සංස්කෘතික අමාත්‍යෘංශය කියන්නේ සංස්කෘතික ඇමැතිකම දෙන්නේ දෙන්නත් ඕනෑ. ඒත් හොඳ එකක් දෙන්නත් බෑ. අන්න එහෙම නො දී ඉන්න බැරි කමට දෙන්නේ. එහෙම දෙන ඇමැතිකමක් තමයි සංස්කෘතික ඇමැතිකම කියන්නේ .   


ප්‍රශ්නය – ඔබට මේ ඇමැතිකම ලැබුණෙත් ඒ විදියටම ද?   


පිළිතුර – සමහර වෙලාවට වෙන්න ඇති. ඒක ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනෑ. දිස්ත්‍රික්කයේ පළමු වැනියා වෙන්න ඡන්ද ගන්නයි. එහෙමත් තියෙනවානේ එහෙම බැලුවොත් මම කියන්නේ නෑ. මම ගැන ඒක හොඳ නෑනේ. අපේ නළා අපිම ෆිඹින්න හොඳ නෑ. හැබැයි අපට හිතෙනවා සංස්කෘතියට දීලා තියෙන තැන මදි කියලා. ඒක සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදාය බිඳින්නේ නැතිව අපේ රටට කවදාවත් ඉදිරි ගමනක් නෑ. අපේ සමහර ජනාධිපතිවරු ඇහුවා. කලාව කන්න ද කියලා. එහෙම රටක් මේක. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට කානුවේ දාගෙන ගැහුවේ. නරක පැත්ත අපි අයින් කර ගන්න ඕනෑ.   


ප්‍රශ්නය -ඔබට ඒක කරන්න පුළුවන් වෙයි ද?   


පිළිතුර – ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති පුටුවට ගෙන ඒමෙන් අපි බලාපෙරොත්තු වුණේ ඒක.   


ප්‍රශ්නය – ඒ බලාපොරොත්තු දැන් සුන් වෙලා.   


පිළිතුර – ජනතාව එහෙම හිතනවා. නමුත් අපට තවමත් ආලෝකයක් ලැබෙයි කියලා හිතනවා. මම දන්නේ නෑ. ඒක මිරිඟුවක් ද කියලා. ඒ නිසා අපි තාමත් බලාපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිසි කළමනාකරණයක් කරලා. මේ රට ගොඩ ගනී කියලා. ‘‘සෞභාග්‍යයේ දැක්ම’’ කියලා මතුර මතුර ඉඳලා වැඩක් නෑ. අපි කරන්නේ මතුරන එක විතරයි. මේක මහ පොළොවේ පැල කරන ප්‍රායෝගික වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ. ඒක එහෙම වෙන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හොඳ කණ්ඩයාමක් ඉන්න ඕනෑ. ඇමැතිවරු රාජ්‍ය ඇමැතිවරු මන්ත්‍රීවරු හොඳට ඉන්න ඕනෑ. ඒ ඒ විෂයයන් ගැන හොඳ දැනුමක් තියෙන හොඳ නිලධාරි මණ්ඩලයක් ඉන්න ඕනෑ. එහෙම වුණොත් විතරයි මේ රට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. දැඩි සෘජු තීන්දු තීරණ ගැනීම ජනාධිපතිතුමාට බාරයි. එතොකට මඩ ගහයි. ඒකාධිපතියෙක් කියලා. ඒකට කමක් නෑ. රට වෙනුවෙන් හොඳ තීරණ ගන්නවා නම් මොන තරම් අවලාද ඇහුවත් කමක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ හොඳ කණ්ඩායමක් ඉන්නවාද කියන එක යි. ජනතාවගේ බලාපොරොත්තු සුන් වෙලා. නැවත හොරකම පටන් ගත්ත ද කියලා මිනිස්සු අපෙන් අහනවා. එහෙම අහන්න හේතු තියෙනවා. බැඳුම්කර හොරු ටික ඇල්ලුව ද? දැන් කොච්චර කල් ද? ඊළඟට පාස්කු බෝම්බ ප්‍රහාරය. මේවා එක්ක දේශපාලන ඩීල් තියෙනවා ද කියලා ජනතාව අපෙන් අහනවා. අපට මේවට දෙන්න උත්තර නෑ. අපට කියන්න පුළුවන් විමර්ශන කටයුතු කෙරෙනවා කියලා විතරයි.   


ප්‍රශ්නය -ඔබත් නිලධාරීන් එක්ක නිතරම කොකු දාගන්නවා අපි දකිනවා?   


පිළිතුර – අපි හැම තිස්සෙම දේශපානඥයන්ට අගමුල දිගු කරනවා. නමුත් මේ රටේ දූෂිත නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. නිලධාරියෙක් වුණාම පක්ෂපාතීත්වය තියෙන්න ඕනෑ. මේ රටේ ව්‍යවස්ථාවට නමුත් එසේ නොවන නිලධාරීන් ඉන්නවා. මුදල් හම්බ කිරීමට පමණක් තමන්ගේ තනතුර පාවිච්චි කරන නිලධාරීන් ඉන්නවා.   


ප්‍රශ්නය – ඔබ හැප්පෙන්නේ ඒ දූෂිත නිලධාරි වළල්ල එක්ක?   


පිළිතුර – මගේ යටතේ තියෙන ආයතනවල එහෙම අය ඉන්නවා. ඔය එක එක ආයතන ප්‍රොජෙක්ට් හදනවනේ. ඒවා හැදෙන්නෙම එක් එක්කෙනා නඩත්තු කර ගන්න. එහෙම ඒවා තියෙනවා. අවුරුදු ගණන් ඔහේ අතු ගගා ඉන්නවා. කෝටි ගණන් ජනතාවගේ මුදල් නාස්ති කරනවා. මේවා නතර නොකර මේ රට හදන්න බෑ.   

0 comment
0

Related Posts

Leave a Comment