Home Uncategorized කාශ්මීරයේ ගං ඉවුරේ තණ බිමේ හා පුලින තලා මත එක රැයින් ඉපැදුණු ක්‍රිකට් වීරයා

කාශ්මීරයේ ගං ඉවුරේ තණ බිමේ හා පුලින තලා මත එක රැයින් ඉපැදුණු ක්‍රිකට් වීරයා

by Hela news

ගුජාර් නගර මණ්ඩියේ ඒ කියන්නේ ජම්මු නගරයේ ටාවි ගංගාවට සමාන්තර ව විහිදුණු පුංචි බිම්කඩක උදෑසන ම පුංචි කොල්ලෝ රංචුවක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. අවුරුදු දොළහක පුංචි කොල්ලෙක් තමන්ගේ අතේ ටෙනිස් බෝලයක් තදට හිර කර ගෙන දුවනවා. එහෙම දිවගෙන ඇවිත් ඔහු තමන්ගේ උපරිම ශක්තියෙන් බෝලය පිතිකරු වෙත යොමු කරනවා. පන්දුව ඔහුගේ ශක්තිය උකහාගෙන ගිහින් පිතිකරු හා ඔහුගේ පිත්ත පරාජය කරමින් කඩුල්ල ලෙස සලකුණු කර ඇති ගලේ ගැටෙනවා.

පන්දුයවන්නා ජයග්‍රහණයේ මාන-යෙන් ප්‍රීති ඝෝෂා නඟමින් පිතිකරු දෙසට මඳක් ඇවිද යනවා. ගිහින් මෙන්න මෙහෙම කියන්නේ බොහෝම ආඩම්බරයෙන්.

“උම්රාන් මලික්ගේ වේගය එක්ක සෙල්ලං කරන එක ලේසි නෑ.”

මේ කතාව එක්ක වටපිටාවෙන් නැඟෙන්නේ ප්‍රීති ඝෝෂා, සතුට පළ කරන ශබ්ද වගේම සිනහසීම්. ඒවායෙන් ඇඟවෙන්නේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාව තුළ කාශ්මීරයේ ක්‍රිකට් තරු නැඟී සිටිමින් ඉන්නා බවයි.

පළ තුරු වෙළෙන්දකුගේ පුත්‍රයකු වන මලික් පසුගියදා සන්රයිස් කණ්ඩායමේ දැල් තුළ පන්දුයවන්නෙක් වශයෙන් බඳවා ගත්තා. නමුත් තන්ගරාසු නටරාජන් කොවිඩ් නිසා තරගාවලියෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වූ පසු සන්රයිස් කණ්ඩායම මලික්ව දැල් තුළ පන්දුයැවීමේ වගකීමට පමණක් සීමා කළේ නෑ. ඔවුන් ඔහුව තමන්ගේ කණ්ඩායම් සංචිතයට රැගෙන ආවා.

මලික් කියන්නේ දැන් විසි එක් හැවිරිදි කොල්ලෙකුට. ඔහු මේ අයි.පී.එල්. තරගාවලියේ යැවූ වේගවත්ම පන්දුව පැයට කිලෝමීටර් 153 ක් ලෙසයි සටහන්ව ඇත්තේ. ඒ කියන්නේ පැයට සැතපුම් අනූපහක්. ලේසි නෑ. කොහොමද කාශ්මීරයේ ගං ඉවුර ආසන්නයේ ක්‍රිකට් ගහපු කොල්ලා ගොඩනඟාගෙන ඇති ශක්තිය.

ඔහු දැන් ක්ෂණිකව තරුවක් බවට පත්වෙලා. ඒ වගේම තමයි ඔහු සාමාන්‍යයෙන් පැයට කිලෝ මීටර් 150 ක වේගයෙන් පන්දු යවන්න සමත්කම් දක්වනවා. ඒ බව ඔප්පු වුණේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක්ව ක්‍රීඩා කළ තරග කීපයේදී ඔහු දක්වපු දක්ෂතායි. දැන් මලික් ගැන වර්ණනා කරන කණ්ඩායම් බොහෝයි. ඒ අතරට ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලිත් ඇතුළත්.

“මේ තරගාවලිය සෑම වසරකදීම විශිෂ්ට දක්ෂයන් සොයාගන්නවා. පැයට කිලෝ මීටර් 150 ට වඩා වේගයෙන් පන්දු යවන්න හැකි ක්‍රීඩකයන් සොයාගන්න හැකි වීම සතුටක්. ඒකෙන් කියැවෙන්නේ මේ තරගාවලිය තනි තනිව ක්‍රීඩකයන් තුළ සිදුකර ඇති බලපෑම.” කෝලි කියනවා.

ඒ වගේම මෙවැනි වේගවත් පන්දු යවන්නන් ඉන්දියාවෙන් බිහිවීම ඔහු දකින්නේ විශාල ජයග්‍රහණයක් ලෙසයි. ‘අනාගතය සුබවාදී බව තමයි මේවායින් පෙනෙන්නේ. ඔබ හොඳින්, අවධානයෙන් බලාගෙන සිටියොත් ඔවුන්ගේ විශ්වසනීය භාවය ගැන දැකගන්න හැකිවෙනවා. එය අයි.පී.එල්. තරගාවලි මඟින් ඔප්පු වෙනවා.” මේ වෙනකොට මලික්ගේ වේගය ගැන පරිපාලකයන් තුළ ද විශේෂ අවධාන-

යක් නිර්මාණය කරලා තිබෙනවා. ලෝකයේ අතිවිශිෂ්ට වේග පන්දු-යවන්නකු වුණු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඉයන් බිෂොප් කියා ඇත්තේ පරිපූර්ණ වේග පන්දු යවන්නකු බවට පත්වීමට අවශ්‍ය සියලු බලසම්පන්න අවි මලික් සතුව පවතින බවයි.

“මලික්ට හොඳ වේගයක් තිබෙනවා. ඒකට මුහුණ දෙන්න අසීරු එකක්. ඒ වගේම එය දුර්ලභ වේගයක්.” බිෂොප් පවසනවා.

මේ අතර හර්ෂා බොග්ලා කියන්නේ මලික් නිකම්ම නිකං ක්ෂණික පහළ වීමක් නොවන බවයි. “ඔහු එකපාරට මතුවෙච්ච තක්කඩියෙක් නෙවෙයි. ඔහු නියම වේග පන්දු යවන්නෙක් වන ලකුණු තිබෙනවා. අවශ්‍ය වන්නේ මලික්ව හොඳින් බලාගන්න එක.” ඔහු කියන්නේ එහෙමයි.

2018 වසරේ දී මලික්ව ජම්මු හා කාශ්මීර අවුරුදු දහනවයෙන් පහළ කණ්ඩායමට එක්කර ගත්තා. ඔහු සයීඩ් මුෂ්ටාක් අලී ශූරතාවට ක්‍රීඩා කළා. ඒ ඉන්දියාවේ දේශීය විස්සයි විස්ස තරගාවලියක්. ඒ වගේමයි රංජි කුසලානයටත් ඔහු ක්‍රීඩා කළා.

කොහොම වුණත් මෙවර සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියේ දක්ෂතා දැක්වූයේ නැහැ. ඔවුන් අවසන් ස්ථානයයි හිමි කර ගත්තේ. නමුත් මලික්ට ඉන් සිදුවූයේ අවැඩක් නොවෙයි. ඔහු මේ වන විට එක්සත් අරාබී එමීරයට ඇවිත් ඉන්නේ ඉන්දීය කණ්ඩායමේ දැල් තුළ වේග පන්දු යවන්නකු ලෙසයි.

මලික්ගේ මේ ගමන කාශ්මීරය තුළ තරුණ ක්‍රීඩකයන් මහා පිබිදීමකට ලක්කරලා. බොහෝ දෙනෙක් දැන් ඔහුගේ අඩිපාරේ ගමන් කරන්න තීරණය ක්‍රියාත්මක කරලත් ඉවරයි. ඒ නිසා වල ගොඩැලි, මඩ වගුරු හා කසළ කඳු ඇති බිම් මත කාශ්මීරයේ තරුණ ගැටවු ක්‍රිකට් ක්‍රීඩා කරනවා. බැටළුවෝ, ගවයෝ ඉන්න තණබිම් මත ඔවුන් තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරලා.

“අපිට අපේ පුතා පුදුම ආඩම්බරයක් ඇති කරලා තිබෙනවා. එයා අයි.පී.එල්. ක්‍රීඩා කරද්දී අපි පුදුම විදිහට සතුටු වුණා. ඒ වගේමයි දැන් පුතා විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ඉන්දියාවේ දැල් තුළ පන්දු යවන්නෙක් වශයෙන් කටයුතු කරමින් ඉන්නවා. ඇත්තටම ඔහු අපිට මහා අභිමානයක්.” යැයි කියන්නේ මලික්ගේ පියා අබ්දූල් රෂීඩ් මලික්. ජම්මුහි පිහිටි ඔහුගේ නිවෙසේ සිටයි මේ පලතුරු වෙළෙන්දා තම පුතුගේ ජයග්‍රහණය ගැන උදම් අනා තිබුණේ.

“ඔහු හැම වෙලාවේ ම ක්‍රිකට් ගැන සිත සිත හිටියේ. අපි දැනගෙන හිටපු එකම දේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි කියලයි. අපිත් මොනම විධිහකින්වත් ඒ දේ කරන්න එපා කියලා ඔහුට බලපෑම් කළේ නෑ.” ඔහු කිව්වා.

“අපි එක ම එක යාඥාවක් සිදු කරනවා. ඒ තමයි ඔහුට ඉන්දීය ජාතික පිලට ක්‍රීඩාකරන්න අවස්ථාව නිර්මාණය කර දෙන්න කියලා. එහෙම ක්‍රීඩා කරල රටේ ගෞරව තවතවත් ඉහළ දාන්න අවස්ථාව නිමැවෙන්න කියා. දෙවියෝ මේ හඬට ඇහුම්කන් දේවි.” ජ්‍යෙෂ්ඨ මලික් පවසනවා.

මලික් කියන්නේ ඔහුගේ දරුවන් තිදෙනාගෙන් බාලම පුත්‍රයා. ඒ වගේමයි කොල්ලකුට කියලා ජ්‍යෙෂ්ඨ මලික්ට ඉන්නෙත් උම්රාන් මලික් විතරයි.

කුඩා කාලයේ සිට මලික් හැදුණේ වැඩුණේ හුදෙකලා පවුලක නොවෙයි. ඔහු හැදුණේ ගුජාර් නගර් මණ්ඩියේ තම ඥාතී සමූහයා එක්ක ඒකාබද්ධ පවුලක් ඇතුළෙයි. ඔහුගේ කුඩා සන්ධියේ ජම්මු දිස්ත්‍රික්කයේ තිබුණු ටෙනිස් බෝල් ක්‍රිකට් තරගාවලියකට සහභාගි වෙන්න ඔහුට හැකියාව උදාවෙලා තිබුණා. ඒ වගේමයි ක්‍රිකට් නිසා ඔහු දහයේ පන්තියෙන් පස්සේ පාසල් ගිහිල්ලා නෑ. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතයේ වැඩි අවධානයක් යොමුකිරීම සඳහායි ඔහු එහෙම කරලා තිබුණේ.

“මේ කිසිම දේකට අපි එයාට බැන්නේ නෑ. වෙන එකක් තියා දවස තිස්සේම එයා ක්‍රිකට් ගහනවා කියලා අපි එයා ට දොස් කීවේ නෑ.” ජ්‍යෙෂ්ඨ මලික් අද කියන්නේ ආඩම්බරයෙන්.

ඒ කාලේ ඉඳලම මලික් කියූ දෙයක් තිබුණා. ඒ තමයි,

“මම කවදා හරි ඉන්දියාවට ක්‍රීඩා කරනවා.” ඒය ඔහුගේ සිහිනයව තිබුණා. ඒ වෙනුවෙන් අපි ඔහුට යන්න ඉඩහැරියා. අද වන විට එය යම් පමණකට සැබෑ වෙලා. මෙතැන දී මලික් අර මඩවල එස්. රත්නායක සූරීන් ලියූ ‘අක්කර පහ’ නවකතාවේ වගේ තම පුතාව තමන්ගේ ව්‍යාපාරයට දායක කරගැනීම, අත්උදව් ගැනීම සිදු කර නෑ. “මම මගේ පලතුරු වෙළෙඳාමට ඔහුව සම්බන්ධ කරගත්තේ නෑ.” ජ්‍යෙෂ්ඨ මලික් කියන්නේ ආඩම්බරයෙන්.

මලික්ගේ මෙම දක්ෂතාව පවුලට හා ඔහුගේ යහළුවන්ට අතිරේකව ප්‍රදේශයේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් තුළ සුවිශාල උද්දාමයක් ඇතිකරලා තිබෙනවා.

මේ බව පැහැදිලි වන්නේ ඔහුගේ පින්තූර සහිතව කාශ්මීරයේ පුරා ළෙලදෙමින් ඇති ධජ පතාකයි. “උම්රාන් මලික් ගැන ආඩම්බරයි.” කියා සටහන් වුණු මෙවැනි බැනර් රාශියක් ඔහුගේ උපන් නගර මණ්ඩියේ වෙළෙඳ පොළේ එල්ලා තිබෙනවා.

දැන් කාශ්මීරයේ තරුණයෝ උත්සාහ ගන්නේ මලික් වගේ වේගයෙන් පන්දු යවන්නයි. ඒ වගේම අයි.පී.එල්. අවස්ථාවක් දිනාගන්නයි. ඒ වෙනුවෙන් මලික් ගිය පියවර ලකුණු පිටුපස ඇවිද යන්න ඔවුන් සැමවිටම උත්සුක වෙමින් ඉන්නවා. මේ නිසා කාශ්මීරයේ විශේෂයෙන් ගුජාර් නරගයේ තරුණයන් අතර ක්‍රිකට් ක්‍රීඩාව දැඩිව ප්‍රචලිත වෙලා. ඒ වගේම දැන් ඇතිවී ඇති මෙම ක්‍රිකට් පිබිදීම සම්බන්ධයෙන් ජම්මු කාශ්මීර ක්‍රිකට් සම්මේලනය සිය ප්‍රීතිය පළ කර තිබෙනවා.

මේ අතරේ ෂෙයිකා ෂාරික් කියන්නේ අඩි හයයි අඟල් දෙකක් උසැති වේග පන්දු යවන්නෙක්. සිරිනගර් ප්‍රදේශයේ සයිඩා කාදල් ප්‍රදේශයෙන් එන ඔහු මලික් හා පුහුණු වූවෙක්.

“උම්රාන් මලික් අපිට බොහෝ බලපෑම් කර තිබෙනවා. ඒ නිසා මහන්සි වෙලා වැඩ කළොත් අපිටත් ලොකු තැනකට එන්න හැකියි කියලා අපිට වැටහී තිබෙනවා.” ඔහු පවසන්නේ ඒ හේතුවෙනුයි.

දැන් ඔබ ජම්මු කාශ්මීර ප්‍රදේශයට ගිහින් ක්‍රිකට් ක්‍රීඩාකරන කොලු කුරුට්ටන් පන්දු යවනවා බලා ඉඳලා ඔවුන් හා කතා කළොත් “මම උම්රාන්

මලික්.” කියලා අහගන්න පිළිවන්. එක ක්ෂණයෙන් ජම්මු, කාශ්මීර තරුණ ප්‍රජාව ක්‍රිකට් උන්මාදයක වෙලී ඇති අයුරු යුද ගැටුම්, අවි ගැටුම්, ආගමික, ජාතික ගැටුම් අවුළුවා තම පටු අරමුණු ඉටුකර-ගන්න තතනන මානව සමාජයේ ද්‍රෝහීන්ට නම් හිතකර වන එකක් නෑ.

0 comment
0

Related Posts

Leave a Comment