Home ක්‍රීඩා පුවත් ක්‍රීඩාවෙන් සමුගැනීම හිතන තරම් ලෙහෙසි වැඩක් ද

ක්‍රීඩාවෙන් සමුගැනීම හිතන තරම් ලෙහෙසි වැඩක් ද

by Hela news

ලසිත් මාලිංග තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ප්‍රකාශයට පත්කළේ ය. මෑතක දී ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයකු වශයෙන් ඔහුගේ නම හුවා දැක්විය හැකිමුත් මෑත කාලයේ එවැනි තීරණයක් ගත් එකම ක්‍රීඩකයා ඔහු පමණක් නොවේ. මේ අතර ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ප්‍රකාශ කර තිබුණේ ලබන මාසයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව ඉන්දීය ක්‍රිකට් පිලේ විස්සයි විස්ස නායකත්වයෙන් සමුගැනීමට තීරණය කර ඇති බවයි. සමුගැනීම අකුරු කීපයක් එකතුව නිමැවෙන තනි පදයක් වුව ද එය දරාගැනීම අතිශය අසීරු භාවාතිශ කාරණාවකි. මේ ඒ සම්බන්ධයෙනි.’

‘ක්‍රීඩාව තුළ නිමග්නව සිටියදී ලැබෙන මානසික සුවය අති ප්‍රබලය. තරගකාරී නොවන ක්‍රීඩාවේ දී එය පූර්ණ වශයෙන් මානසික සුවයක් බව සැබෑ ය. එහෙත් තරගකාරී ක්‍රීඩාව සඳහා විධිමත්ව සම්බන්ධ වීමට යාමේ දී නිශ්චිත පුහුණු කාලසටහනක් අනුව යාමට සිදුවීම හේතුවෙන් ක්‍රීඩාව ඇරැඹුමේ දී යම් යම් අසීරුතා නිර්මාණය වන්නට පිළිවන.

නමුත් ක්‍රීඩාව ජයගැනීමේ අරමුණු හා දක්ෂතා මතුකරගැනීමේ අවශ්‍යතාව මානසිකව ගොඩනැංවුණු පසු පුහුණු කටයුතු අරභයා පුහුණුව හා ආහාර පාලනය ආදී කැපකිරීම් සිදුකිරීම අසීරු වන්නේ නැත. එසේ දැඩි කැපකිරීම් වලට යටත්ව ක්‍රීඩාවක නිරත වූ ක්‍රීඩකයෙක් දිනෙක ඉන් සමුගැනීමෙන් අනතුරුව සිදුවනුයේ කුමක් ද? එහි මානසික බලපෑම කවරාකාරයේ ස්වරූපයක් ගනු ඇත් ද? යන්න බොහෝවිට අප සලකා බලා නැත. එහෙත් එය රටක් වශයෙන් අප සලකා බැලිය යුතුව තිබේ.

මරණ දෙකක් ඇති මිනිසා

මෙහිදී ක්‍රීඩා තරුවක් යනු එකම ජීවිතය තුළ මරණ දෙකක් සහිත තැනැත්තෙකුයැයි පිළිගැණේ. ඉන් පළමු මරණය සිදුවන්නේ ක්‍රීඩාවෙන් සමුගන්නා විට ය. එය එලෙස සැලකිය හැක්කේ ඔහු හෝ ඇය ක්‍රීඩාව වෙනුවෙන් විශාල කැපකිරීම් සමුදායක් සිදුකළ විශිෂ්ට ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවන වන්නේ නම් ය. එහිදී සමුගැනීමේ තීරණයට එළැඹි පසු ඔහු තුළ පළමු මරණය මානසිකව නිර්මාණය වෙයි.

එහිදී ඔහුට හැඟෙනුයේ තම ක්‍රීඩා කාලය අවසන් වූ පසු ජීවිතය කුමන ස්වභාවයක් ගනී ද? තවදුරටත් ක්‍රීඩකයකු යන නාමකරණය අහිමි වූ පසු ඔබ සැලකෙන්නේ කවරෙක් වශයෙන් ද? ආදී ප්‍රශ්න හටගනීම ස්වභාවික ය.

විශිෂ්ට ක්‍රීඩකයන් වසරේ වැඩි කාලයක් පුරා තම ජීවිතයේ සුවිශාල කාලයක් පුහුණුව වෙනුවෙන් වැය කරනු ලබයි. එහිදී ඔවුන් අතින් සෙසු සමාජයීය කටයුතු, සබඳතා ගිලිහී යන බව පිළිගැනීමට සිදුවෙයි. ඒ අනුව ඔවුන් සිය තරුණ වයසේ වැඩි කාලයක් ක්‍රීඩාව වෙනුවෙන්ම වෙන්කර තිබේ. පෞද්ගලික ජීවිතය මෙතරම් කැපකරමින් ඔවුන් උත්සහ කරනුයේ තමන් ජීවත්වන සමාජය තුළින් කීර්තිය, යසස හා ගෞරවය උකහා ගැනීම ය.

ආරම්භයේ දී ආර්ථික කාරණා සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමු නොකරමින් ඔවුහු සිය ජීවිතය තුළ සුවිශාල කැපකිරීමක් කරති. එහිදී ඔවුහු සිය පවුල්වලින් ඈත්ව පූර්ණ කාලීනව ක්‍රීඩා ඇකඩමි තුළ හෝ නේවාසික සංචිත තුළගත කිරීමට සිදුවීම, පෞද්ගලික මානව සබඳතා සම්බන්ධතා පවා ක්‍රීඩා පුහුණුවට කැපකිරීම මෙහිදී විශේෂයෙන් අවධානයට ලක්විය යුතු ය. කොටින්ම කියන්නේ නම් ඒ ආකාරයෙන් ක්‍රියාකිරීම අතිශය වෙහෙසකර කර්තව්‍යයකි.

සාමාන්‍යනේ බොහෝ ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් සමුගැන්ම ගැන සිතන්නට කැමැත්තක් දක්වන්නේ නැත්තේ මෙම අසීමිත කැපකිරීම් සමුදාය නිසා ය. එහෙත් සමුගැනීමේ තීරණයට එළැඹීමට ඔවුනට සිදුවන්නේ ඔලිම්පික් පදක්කම් දිනාගැනීම, එසේ නැතහොත් තම ක්‍රීඩා ජීවිතයේ පත්විය යුතු කීර්තිමත් තලයට ළඟා වීම දිගින් දිගටම අපොහොස් වීම, එසේත් නැතහොත් ආබාධයකට නතුවීම හෝ වයසට යාම යන කාරණාවක් මූලික කරගනිමිනි.

සමුගැන්මෙන් ඇතිවන ජීවිත හිස්තැන

කෙසේ නමුත් දීර්ඝ කාල සීමාවක් තමන් දැඩි ලෙස සිදුකළ පුහුණු කටයුතු අතහැර දැමූ පසු ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ ජීවිතය පුරවන්නේ කවර අරමුණු වලින් ද? කවර කටයුතුවල නිමග්න වීමෙන් ද? ඔවුන් තරග සංචාර වෙනුවෙන් තැනින් තැනට ගමන් කිරීමට ගතකළ කාලය, තරග වදිද්දී සිරුරේ නිපැදවුණු ඇඩ්‍රිනලීන් වැනි විවිධ හෝමෝන වර්ග ශ්‍රාවය ඇණහිටීම ආදිය ඔවුනට මානසිකව හා කායිකව බලපෑම් කරන්නේ කෙසේ ද? තරග නොවදින ජීවිතයක් තුළ ඇතිවන මානසික සංකූලතා, ශාරීරික උද්වේගය කවර ස්වරූපයක් ගනී ද? එය ගැඹුරින් සොයා බැලිය යුතු ය.

මේ කරුණු සම්බන්ධයෙන් ලෝකයේ විවිධ රටවල පර්යේෂණ සිදුකර ඇති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී දැනගත හැකි ය. මෙම පර්යේෂණවලට අනුව හෙළිදරව්වී ඇත්තේ ක්‍රීඩාවෙන් සමුගැනීම හේතුවෙන් ක්‍රීඩකයන් තුළ මානසික සංකූලතා, ආතති තත්ත්වයන් බොහෝවිට මතුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා යෑමේදී වරක් බ්‍රිතාන්‍යයේ ඔලිම්පික් ශූර පාපැදි ක්‍රීඩිකාවක වන වික්ටෝරියා පෙන්ඩෙල්ටෝන් පවසා තිබුණේ ක්‍රීඩාවෙන් සමුගැනීම තමන් තුළ අසුබවාදී හැඟීම් ඇතිනොකළ බව ය. එය පූර්ණ වශයෙන් තම මනසේ සුබවාදී හැඟීම් ඇතිකළ බවක් ඈ පවසා තිබේ.

‘එය මගේ මනසට සුවිශාල නිදහස්වීමක් ලෙස දැනුණා. ඇත්තටම කියනවා නම් ක්‍රීඩාවෙන් සමු අරගෙන අලුත් ක්ෂේත්‍රයකට ඇතුළත් වෙලා කටයුතු කරන්න ලැබුණු එක ගැන මට සතුටුයි. එය මට පහසුවක් නිමවලා දුන්නා. නැත්නම් හැමවෙලාවෙම ක්‍රීඩකයෙක් වශයෙන් මම හිටියේ දැවෙමිනුයි. ජයග්‍රහණය, සාර්ථකත්වය, තරගකාරිත්වය එක්ක හැප්පෙමින් මම මානසික වශයෙන් දැඩි පීඩනයක් දැරුවා. දැන් ක්‍රීඩාවෙන් සමුගත් නිසා මට ඒ මානසික ආතතිය නෑ.’ ඒ ඈ ක්‍රීඩාවෙන් සමුගැනීම ගැන දකින තත්ත්වය ය.

එහෙත් එය සෑම ක්‍රීඩකයකුටම පොදු සත්‍යයක් නොවේ. අප එසේ කියන්නේ ක්‍රීඩාවෙන් සමුගත් පසු බොහෝ දෙනෙක් සාමාන්‍ය ජීවිතය හා එක්වීමේ දී දැඩි සටනක නිරතවන බව හෙළිදරව්වී ඇති හෙයිනි. එය එසේ වන්නේ ක්‍රීඩා කරන සමයේ ඔවුනට හිමිව තිබූ ජනප්‍රියත්වය, කීර්තිය, යසස අහිමිවීම ඔවුනට සිදුකරන බලපෑම ය. එමෙන්ම සමාජයට ඔවුන් ක්‍රමිකව අමතකව යාම වැනි කරුණු දැඩි මානසික බලපෑමක් ඇති කරන බව පර්යේෂකයන්ගේ මතයයි. කොටින්ම කියන්නේ නම් සමුගැන්මෙන් අනතුරුව ක්‍රීඩකයා යනු සමාජ දේහය තුළ අමතකව ගිය පුද්ගලයකු බවට පත්වේ. ජනප්‍රිය පුද්ගලකුව නැතහොත් ජන සමාජය තුළ නිරන්තරයෙන් සංවාදයට ලක්වූ පුද්ගලකුව සිට එවැනි නිෂ්ක්‍රිය තැනැත්තකු බවට පත්වීම දරාගැනීමේ අසීරුතා මතුකරන බව අවබෝධකරගැනීමට අසීරු නොවේ.

සමුගැනීමේ තවත් බලපෑම්

එලෙස ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම ක්‍රීඩකයා ගේ පෞද්ගලික, සමාජයීය සහ වෘත්තීය ජීවිතයට බලපෑම් කිරීම ද මෙහිදී සැලකිල්ලට ලක්කළ යුතු ය. එය ඔවුන්ගේ සිතිවිලි තුළට ප්‍රබලව බලපාන අතර එය චර්යාත්මක හා බුද්ධිමය වශයෙන් සිදුවිය හැකි ය. අප එසේ පවසන්නේ බොහෝ ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව තමන්ගේ ජීවිතය තුළ ඇති ශුන්‍ය භාවයක් සම්බන්ධව කතාකරන්නට පෙළඹ ඇති හෙයිනි.

එහෙයින් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමේ දී ක්‍රීඩකයනට මුහුණදීමට සිදුවන පළමු අභියෝගය වනුයේ සාමාන්‍ය ජීවන රටාවකට ගැලපෙන ආකාරයට තමන්ගේ හැසිරීම් ගොඩනංවාගන්නේ කෙසේ ද යන්න සම්බන්ධව ය. එය එසේ වන්න් වෘත්තීය ක්‍රීඩකයකු වශයෙන් සිටියදී ඔවුනට ලැබුණු වෘත්තීය තරගකාරිත්වය, පිළිගැනීම මෙන්ම ත්‍යාග ආදිය එකවර අහිමිවීම දරාගැන්මේ පවතින අසීරුතාවයන් ය.

ඔලිම්පික් පිහිනුම් ශූරයකු වන ඉයන් තෝප්, සෙල්ටික් පාපන්දු කළමනාකරු නීල් ලෙනන් හා ද්විත්ව ඔලිම්පික් ශූර ඩේම් කෙලි හෝම්ස් වැන්නවුන් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. එහිදී ඔවුන් පවසන්නේ වෘත්තීය වශයෙන් ක්‍රීඩාවෙන් ඈත්වීම හරහා තමන් තුළ මානසික ආතතික තත්ත්වයක් ගොඩනැංවූ බවයි.

ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්, පෝල් ගැස්කොයි සහ ෆ්‍රෑන්ක් බෘනෝ වැන්නුන් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු තමන් තුළ ඇතිවූ මානසික අවපීඩන තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

මේ අතර බොක්සිං පිටියේ විශිෂ්ටයකු වූ ෂුගර් රේ ලෙනාර්ඩ් පවසන්නේ, ‘බොක්සිං වළල්ල හැරුණාම අන් කිසිම දේකට මාව සතුටු කරවන්න බෑ. අනෙක ලෝක ශූරයකු බවට පත්වනවාට වඩා ජීවිතයේ කිසිම දෙයක් සංසන්දනය කරන්නත් බෑ. එවැනි ගෞරවයක් හිමිවන අවස්ථාවේ දෑත් ඔසවා ප්‍රේක්ෂකයන්ට සතුට ප්‍රකාශ කිරීම, මිලියන ගණනක් මිනිසුන් ඔබට සුබ පතන එක වෙන මොනවටද සමාන කරන්න හැකිවෙන්නේ.’ යනුවෙනි.

ක්‍රීඩාවෙන් සමුගත් පසු ලෙනාර්ඩ්ගේ මානසික ස්වභාවය වෙනස්වීම පොදුවේ ක්‍රීඩකයකු තුළ ඇතිවන මානසික සංකූලතාවය මනාව තේරුම් ගැනීමට අවශ්‍ය කදිම මූලාශ්‍රයකි. ඒ මන්දයත් ඔහු බොක්සිං වළල්ලෙන් සමුගැනීමෙන් අනතුරුව යළි පිටියට පැමිණීමට අවස්ථා ගණනාක දී ම උත්සහ කළේ එහෙයිනි.

සමුගැනීමෙන් නිර්මාණයවන ක්‍රීඩක ආතතික ස්වභාවය ගැන ගැඹුරින් අධ්‍යයනය කළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ එලෙස විශ්‍රාමික ක්‍රීඩකයකු තුළ නිර්මාණය වන ආතතිය වසර ගණනක් යනතුරුත් ඉවත්ව නොයන බවයි. මේ හේතුවෙන් ඇතැම් ක්‍රීඩකයන් සමුගැනීමෙන් අනතුරුව දිවි නසා ගැනීමට පවා උත්සහ කළ අවස්ථා ලෝක ක්‍රීඩා ඉතිහාසයෙන් සොයාගත හැකි බව ඔවුහු පෙන්වා දෙති.

2012 වසරේ ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම දිනාගැනීමට අපොහොසත්වීම සම්බන්ධව ඇතිවූ මානසික කම්පනය නිසා රුසියානු ක්‍රීඩිකා එලීනා ඉවැස්චෙන්කෝ ද සිය දිවි හානි කරගැනීමට ගත් උත්සහය ඊට උදාහරණ වශයෙන් දැක්විය හැකි ය.

සත්‍ය වශයෙන්ම වෘත්තීය ක්‍රීඩකයනට සමුගැනීමෙන් අනතුරුව සිදුවන්නේ කුමක් ද? මේ පිළිබඳව තවත් ගැඹුරින් සාකච්ඡා කිරීමේ දී අප මීට පෙර සඳහන් කළාක් මෙන් දැඩි පුහුණුවෙන් පිරුණු කාලය ගිලිහීයාම, තරග මගින් ඇතිවන පීඩනය සහ ඔවුන්ගේ පිටුපස සැඟවී ඇති යශෝ කීර්තිය සහිත කාලය උදාහරණ කරගත හැකි ය.

තමන්ගේ අනන්‍යතාව අහිමිවීම මෙහිදී ක්‍රීඩකයනට විශාල වශයෙන් බලපෑම් කරනු ලබන බව දැක්විය හැකි ය. එසේම ඔවුන් ක්‍රීඩා කරන සමයේ පටු සීමාවක් තුළ ජීවිතය දැකීමට හුරුවීමෙන් මතුවන අර්බූද ද මෙහිදී වඩා සියුම්ව සැලකිල්ලට ලක්විය යුතු ය.

එය පුහුණුකරුවනට, මාපියන්ට, වෘත්තීය ක්‍රීඩා ඒජන්තවරුන්ට වැනි පුද්ගලයින්ට පහසුවෙන් හඳුනාගැනීමට පිළිවන. එහෙත් එය ක්‍රීඩකයන්ට දැනෙන්නේ නැත. සැබැවින්ම එහිදී සිදුවන්නේ තමන්ගේ දෘෂ්ඨිය කිසියම් පටු නලයක් තුළ සිරව ඇතිමුත් ක්‍රීඩකයාට එය නොදැනී යාමයි. ඒ මන්දයත් ඔවුන් ක්‍රීඩාවේ දැඩිව නිමග්නව සිටින සමයේ සිතන්නේ පුහුණු, තරග හා ප්‍රතිඵල සම්බන්ධයෙන් පමණක් වන හෙයිනි.

එහි අවසන් ප්‍රතිඵලය සැබෑ ලෝකය තුළ නැතහොත් යතාවාදී භාවය අභිමුව සමතුලිත ජීවිතයකට ඇති උරුමය ඔවුන් අතින් අහිමිවීම ය. එය සනාථ කරන ක්‍රීඩකයන් අතරට මහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් දෙවර ඔලිම්පික් පදක්කම් දිනූ ජේම්ස් ක්‍රැක්නෙල් ද අයත් ය. ඔහු පවසන්නේ ක්‍රීඩාවෙන් සමුගත් ක්‍රීඩකයා ආතතියට ලක්වන්නේ පිටියේ දී යොමුකළ ශක්තිය ඉන් නික්මුණු පසු යොදන්නේ කවරාකාරයෙන් ද යන්න නොදන්නා නිසා බවයි.

ඒ අනුව ඔහු සමාජයෙන් ඈත්ව සිටීමට පසුබිමක් නිර්මාණය වීම සිදුවන්නේ නිතැතින් බව ඔහු ගේ මතයව තිබේ. ඔහු ට අනුව ක්‍රීඩාවෙන් ඉවත් වූ සැණින් තමන්ට නිමග්නවීමට හැකි වෘත්තීය මාවතක් නොදැකීම හේතුවෙන් බොහෝ විට ක්‍රීඩකයන් සිය සමුගැනීමේ තීන්දුව පිළිබඳ බිය ජනක අඩියට පැමිණීම ස්වභාවයෙන්ම අපේක්ෂා කළ හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

මේ අතරම ක්‍රීඩකයකු සිය වෘත්තීය ක්‍රීඩා ජීවිතයෙන් සමුගැනීම නිසා ජීව විද්‍යාත්මක අර්බූදයන් ද නිර්මාණය වීමේ හැකියාවක් පවතී. සාමාන්‍යයෙන් ක්‍රීඩකයෝ බොහෝවිට සිරුරට ලබාදෙන පෝෂ්‍ය පදාර්ථ, ඇතැම් නීතිවිරෝධී නොවන හෝමෝන භාවිත කිරීම එකවර නතර කිරීම හෝ සීමා කිරීම සමඟ ඇතිවන ගැටලු රාශියකි. එමගින් ඔවුන් කිසියම් ශාරීරික අර්බූදයන්ට මුහුණ පෑමට ඇති අවස්ථා බහුල යැයි පැවසෙයි. එසේ සිදුකිරීම මගින් ඔවුන්ගේ ශරීරය තුළ ඇතිවිය හැකි රසායනික බලපෑම් ප්‍රබල ය. සෙරටොනින් වැනි රසායනිකයන් සිරුර තුළ පහළ යාම ආතතිය වැඩිකිරීමට ඉවහල් වන බව පර්යේෂකයෝ මේ වනවිට අනාවරණය කරගෙන ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පුළුල් පර්යේෂණ සිදුවිය යුතුව තිබේ.

ආතතිය නැති කරගැනීමට සිදුකළ යුත්තේ කුමක් ද?

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනිමෙන් පසු ඇතිවන මානසික ආතතියෙන් මිදිම වෙනුවෙන් කළ යුතු දේ සම්බන්ධයෙන් කරුණු කීපයක් දැක්වීම මෙහිදී වැදගත් ය. ඒවා අප පෞද්ගලිකව ඉදිරිපත් කරන කරුණු නොව ලෝකයේ ක්‍රීඩා වෛද්‍ය පර්යේෂකයන් ඉදිරිපත් කර ඇති ඒවා ය.

එහිදී පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ක්‍රීඩකයකු සමාජය විසින් තමන් ක්‍රීඩා ජීවිතය තුළින් පමණක් හඳුනා ගැනීම අඩුකර සෙසු ක්‍රමවේදයන් භාවිත කිරීම තුළින් සමාජය තුළ පුද්ගලයකු වශයෙන් හඳුනාගැනීමට ඇති අවස්ථා වැඩිදියුණු කළ යුතුව ඇත. එහිදී ඔබ ක්‍රීඩාව සිදුකරන අතුර තුර ඔබ තුළ පවතින කැමැත්ත හා හැකියාවන් මොනවාද යන්න සොයා ගත හැකි ය.

එසේම පීඩන කළමනාකරණය සහ කාල කළමනාකරණ දක්ෂතා වර්ධනය කරගැනීම කළ යුතු ය. එමගින් ක්‍රීඩාවට අතිරේකව ක්‍රීඩකයාට නිරතවිය හැකි වෙනත් වගකීම් හා නිසි ආකාරයෙන් ගැලපීමට අවස්ථාව උදාවෙයි.

පුහුණුකරුවන්, පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ කළමනාකරුවන් සමඟ සැමවිටම ඉතා හොඳ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට ක්‍රීඩකත්වය දිරි ගැන්වීම කළ යුතුවේ. එමගින් ක්‍රීඩා ජීවිතය සාර්ථක කරගැනීමට මෙන්ම ක්‍රීඩකයාගේ පෞද්ගලික ජීවිතය ද සකස් කරගත හැකි ය. ජීවිතයේ මුණගැසෙන සෙසු මාර්ග සඳහා සුවිශාලව උපකාර කිරීම මගින් ක්‍රීඩකයාගේ ජීවිතය අලංකාකර කරගැනීමට හා ඔහුගේ මනස විවෘත කරගනිමින් තම අනන්‍යතාව ගොඩනංවා ගැනීමට පිළිවන.

එසේම ක්‍රීඩා මනෝචිකිත්සකයන්ගේ උපදේශන ලබා ගැනීමෙන් තමන්ට යා හැකි වෙනත් පථයන් මොනවාද යන්න සොයාගැනීමට ද ක්‍රීඩකයාට හැකි ය.

සමාජ පිළිගැනීමේ අවාසිය

ක්‍රීඩකයන් යනු ස්වභාවයෙන්ම මානසික වශයෙන් ශක්තිමත් පුද්ගලයන් වන හෙයින් ඔවුන් ප්‍රසිද්ධව ඇත්තේ ශක්තිමත් සමාජ ජීවි කොට්ඨාසයක් වශයෙනි. ඔවුන් ඉතා නිරෝගීමත් සහ සෙසු අයට වඩා තුටින් පසුවන්නෝ යැයි ද සමාජ පිළිගනී. එම පිළිගැනීම හේතුවෙන් ඔවුනට සමාජයේ සෙසු පුද්ගලයකුගෙන් උපකාරයක් ලබාගැනීම වඩා දුෂ්කර භාවයට පත්කර තිබේ. එහෙයින් පවුලේ සාමාජිකයන්, මිතුරන්, කණ්ඩායම් සගයන් සහ පුහුණුකරුවන්ට ක්‍රීඩකයකු සමුගැනීමේ තීන්දුවක් ගැනීමේ දී කොතරම් දුෂ්කරතාවයකට මුහුණපාන්නේ ද යන්නත් ඒ තීරණය පිළිබඳ බිය වන්නේ ද, කොතරම් ලජ්ජා ශීලී වන්නේ ද යන්න ගැනත් තේරුම් ගෙන හැකි සෑම අවස්ථාවකදී ම ඔහුට වඩා සමීපවීමට අවශ්‍ය ය.

ඒ අතර සමස්ත සමාජයම තේරුම්ගත යුතු තවත් කාරණයක් ඇත. ඒ ක්‍රීඩකයා තමන්ගේ විස්මිත සාර්ථකත්වයක් උපයා ගැනීම වෙනුවෙන් ජීවිතයේ කොතරම් සුවිශාල කැපකිරීමක් කර ඇත් ද යන්න මෙන්ම ඒ සම්බන්ධයෙන් සලකනකල සමුගැනීම යනු ඔහුට හෝ ඇයට කොතෙක් අසීරු තීරණයක්ද යන්න ය. එවන් ක්ෂේත්‍රයකින් සමුගන්නා විට සමාජයීය සහයෝගය මෙන්ම එය නිසි පරිදි සන්නිවේදනය කිරීම අතිශය වැදගත් කටයුත්තක් වන්නේ එහෙයිනි. එවිට ක්‍රීඩකයකුට තමන්ගේ සමුගැන්ම සම්බන්ධයෙන් ඇතිවන බිය පාලනය කරගැනීමටත් ඉන් නිමැවෙන ආතතිය යම් පමණකට පාලනය කිරීමටත් හැකියාව උදාවන බව පැවසිය යුතුත ය.

0 comment
0

Related Posts

Leave a Comment