Home ක්‍රීඩා පුවත් ක්වින්ටන් ඩි කොක් ජාතිවාදියෙක් ද

ක්වින්ටන් ඩි කොක් ජාතිවාදියෙක් ද

by Hela news

‘ජාතිවාදය මුලිනුපුටා දැමිය යුතු ය. වර්ගවාදය, ආගම්වාදය ආදී මෙකී නොකී සියලු බෙදීම් වනසා ලෝකය තනියායක් කළ යුතු ය. එහෙත් එය කවි සිත්වල පහළවන අපූරු චින්තාවන් පමණි. තවමත් ලෝකය සිටින්නේ ඇවිලෙන්නට බලාගෙන ය. බෙදෙන්නට තතනමිනි. දැන් එය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන බිමෙන් ද අසන්නට ලැබෙයි. මේ ඒ ගැන ය. ‘

වත්මන් විස්සයි20 ක්‍රිකට් ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන තරගයට ටික වේලාවකට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය වර්ගවාදයට එරෙහිව ලෝක කුසලානයේ දී දණ ගසන ලෙස සිය කණ්ඩායමට උපදෙස් දී තිබුණේ ය.

එහෙත් එකී තීරණයට එකඟවීම ප්‍රතික්ෂේප කර තිබුණේ කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයකු වන ක්වින්ටි ඩි කොක් ය. ඒ අනුව සුපිරි වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයට ක්‍රීඩා කිරීම ද ඔහු ප්‍රතික්ෂේප කර තිබුණේ ය.

කෙසේ නමුත් තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී නායක බවුමා ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික හේතුවක් මත ඩිකොක් තරගයට එක් නොවන බවය. එහෙත් පසුව සත්‍ය කතාව හෙළි විණි. ඒ කොක් වර්ගවාදයට එරෙහි විරෝධතාවයට දණ නැමීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තරගයට ක්‍රීඩා නොකරන බව පැවසිණි. පසුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය ද එය තහවුරු කළේ ය.

මීටපෙර වර්ගවාදයට එරෙහිව දණ නැමීම සියලු ක්‍රීඩකයන්ට අනිවාර්යය කර තිබුණේ නැත. ඒ හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ප්‍රථම තරග තුළ ද ඩිකොක් ඇතුළු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ම එලෙස වර්ගවාදයට විරෝධය පළකර තිබුණේ නැත. එහෙත් පසුව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ සියලු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් තරග ආරම්භයට පෙර දණ බිම ගසා වර්ගවාදයට විරෝධය පළ කළ යුතු බව යි. එය පළමුව අනිවාර්ය නීතියක් බවට පත්කළේ බ.ඉ.කොදෙව් තරගයට පෙර ය.

එය පළමු වරට නීතියක් බවට පත්ව තිබූ අතර ඊට පෙර දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය එවැනි තීන්දුවක් ප්‍රකාශ කර තිබුණේ ද නැත. එවැනි නීතියක් පැණවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ අසමානතා සහිත විරෝධය දැක්වීම ලෝකය තුළ සංවාදයට බඳුන් වන්නට පටන් ගත් පසුව ය. විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ ඉතිහාසය සැලකිල්ලට ගනිද්දී ජාතිවාදයට එරෙහිව දැඩි ස්ථාවරයක් ප්‍රකාශයට පත්කිරීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස සමස්ත ලෝකයාගේම පිළිගැනීම බවට පත්ව තිබිණි. එය මෙවර ලෝක කුසලානයේ දී තවත් ප්‍රබල වූයේ ඊට සහභාගිවන තවත් කණ්ඩායම් කිහිපයක් මෙම වර්ගවාදයට එරෙහි විරෝධයට දැඩි ස්ථාවරයක් අනුගමනය කරමින් ප්‍රතිචාර දක්වා තිබීම හේතුවෙන් ය.

මේ සියල්ල සලකා බලමින් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය ද තම කණ්ඩායමට නියෝගකර තිබුණේ එම මතය ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කරන මෙනි. පසුගිය දා ක්වින්ටන් ඩි කොක් විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ එම නියෝගය ය. කෙසේ නමුත් ලෝක කුසලානයේ ඉතිරි තරග සඳහා සියලුම ක්‍රීඩකයන් මෙම නියෝගය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂාව වී ඇත.

මේ අතර තමන් ඉදිරිපත් කළ යෝජනාවට අනුගත වෙමින් ජාතිවාදයට එරෙහිව ක්‍රියා කිරීමට සෙසු දකුණු ක්‍රීඩකයන් එකඟ වීම ගැන එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අනෙකුත් සියලුම ක්‍රීඩකයන්ට ස්තුතිය පුදකර තිබිණි.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමෙන් ක්වින්ටන් ඩි කොක් ක්‍රීඩා නොකරන්නේ නම් මින් ඉදිරියේ දී ඔහු වෙනුවට ආදේශකයක් සොයා ගැනීම සම්බන්ධයෙන් දැන් මතුවී ඇත්තේ ගැටලුවකි. ඊට පිළිතුරු සපයා ගැනීමට කොතරම් සාධනීය හැකියාවක් ඇත්ද යන්න තමන් නොදන්නා බව වත්මන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක බවුමා පවසා තිබේ.

‘ක්වින්ටන් වෙනුවට ආදේශකයක් ලබා ගන්නවාද කියන කාරණය මගේ තීරණය නොවෙයි. නමුත් ක්විටන් කියන්නේ තවත් ක්‍රීඩකයෙක්. ඒ නිසා මම ඔහුට අවශ්‍ය ඕනෑම මොහොතක ඔහු වෙනුවෙන් පෙනී සිටින්න සූදානම්.’ යැයි ද බවුමා ප්‍රකාශ කර තිබුණේ ය.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳ ක්‍රීඩා ලෝලීන් සිටිනුයේ බෙදුණු ස්ථාවරයක ය. ඇතැමුන් ඩී කොක් ට පක්ෂපාතීවී සිටින අතර තවත් පිරිසක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට දොස් පවරා තිබේ. කෙසේ නමුත් ඩී කොක් පවසන්නේ වර්ගවාදයට එරෙහිව දණගැසීම තමන් ප්‍රතික්ෂේප කළේ අදහස් දැරීමේ මූලික අයිතියට ගෞරව කරමින් බවයි.

‘මේ සිද්ධිය අපිව කනගාටුවට හා කම්පනයට පත්කිරීමක් වුණා. කණ්ඩායමක් ලෙස අපි ඉන්නේ කණස්සල්ලෙන්.’ පසුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායකයා ප්‍රකාශ කර තිබුණේ ය.

‘ඇත්තටම කියනවා නම් ක්වින්ටන් ඩි කොක් කියන්නේ කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩකයෙක්. නායකයෙකු ලෙස මම ඔහු නැතිව කණ්ඩායම ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමක් ගැන අපේක්ෂා කළේ නෑ. කොහොම වුණ්ත් ක්වින්ටන් කියන්නේ වැඩිහිටියෙක්. අපි එයාගේ තීරණයට ගරු කළ යුතුයි.’ යැයි ද බවුමා පවසා තිබුණේ ය.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ විරෝධය

පසුගියදා මෙම විරෝධය ප්‍රදර්ශනය කිරිමේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් වර්ගවාදයට එරෙහිව විරෝධය දැක්වීමේ දී තම දණහිස පොළොවට ඔබාගෙන එක් අතක් ඉහළට ඔසවා ගෙන සිටි අතර තවත් සමහරු අත මිට මොළොවා ඉහළට ඔසවාගෙන සිටිය හ. එහෙත් ඩි කොක්, ඇන්රිච් නොර්ට්ජේ සහ හෙන්රිච් ක්ලාසන් තම දෑත් දෙපස තබාගෙන නිසොල්මනේ සිටි බව ඡායාරූප මගින් ප්‍රදර්ශනය විණි.

මෙම සිදුවීමෙන් අනතුරුව නිල ප්‍රකාශයක් නිකුත් කළ දකුණු අප්‍රිකානු පාලක මණ්ඩලයේ සභාපති ලෝසන් නෙයිඩෝ පෙන්වා දෙන්නේ ජාතිවාදය ජය ගැනීම සඳහා කැපවීම මගින් එක්සත් භාවයක් ගොඩනැගිය යුතු බවයි.

තම ප්‍රකාශයෙන් ඔහු වැඩිදුරටත් දක්වා තිබුණේ ගෞරවනීය අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ ගේ 90 වැනි ජන්ම දිනය සැමරීම සඳහා දකුණු අප්‍රිකානුවන් හා ලොව පුරා ජනතාව එක් වූ අයුරින්ම එරට නිදහස සඳහා වූ අරගලයේ ප්‍රතිමුර්තියක් වූ අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ ට දක්වන උපරිම උපහාරයක් වශයෙන් මෙම සංසිද්ධියේ දී එක්සත්විය යුතු බවයි.

එසේම දකුණු අප්‍රිකානු පාලක මණ්ඩලය තවදුරටත් පවසන්නේ ක්‍රිකට් යනු ගෝලීය වශයෙන් වැඩිපුරම නරඹන දෙවැනි ක්‍රීඩාව වන හෙයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානය, අතීතයේ බෙදීම් සුව කිරීමේ ජාතික අධිෂ්ඨානය ඉස්මතු කිරීමට සඳහා සුදුසුම වේදිකාව බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

0 comment
0

Related Posts

Leave a Comment