Home කාලීන පුවත් කළු කඩවල දොර වසන ආණ්ඩුවේ අලුත් නීතිය

කළු කඩවල දොර වසන ආණ්ඩුවේ අලුත් නීතිය

by Hela news

කොවිඩ් වසංගතය අස්සේ මඩිය තර කර ගැනීමට ගිය ජාවාරම්කාර මුදලාලිලාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා අතුල් පහරක් දුන්නේය. ඒ, මහජන ආරක්ෂා ආඥා පනතේ 5 වැනි වගන්තිය යටතේ තමා වෙත පැවරී තිබෙන බලතල ප්‍රකාරව, අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසිනීති රෙගුලාසි බලාත්මක කරමිනි. ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2021 අංක 1 දරන හදිසි අවස්ථා (අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ නියෝග) නමින් හැඳින්වෙන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් අගෝස්තු මස 30 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ රෙගුලාසි බලාත්මක කෙරිණි. අත්‍යවශ්‍ය ආහාර සැපයීම සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි බලාත්මක කෙරෙන ආකාරය පැහැදිලි කිරීමට මත්තෙන්, එවැනි පියවරක් වෙත ජනාධිපතිවරයා තල්ලු කර ලූ ක්‍රියාදාමය විමසිල්ලට ලක් කළ යුතුය.

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් හෙවත් නව කොරෝනා රෝගය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලෝකයම ග්‍රහණයට ගෙන තිබේ. වසංගතයෙන් බේරීම සඳහා නිවෙසින් බැහැරව නොයෑම හැරුණු කොට වෙනත් විකල්පයක් නැති තැනට ජනතාව පත්ව තිබේ. මෙකී තත්ත්වය අන්තර්ජාතික සහ ජාතික ආර්ථිකයට එල්ල කර ඇත්තේ මරු පහරකි. විශේෂයෙන් අන්තර්ජාතික ආර්ථික අර්බුදවලට මුහුණ දිය හැකි අන්දමේ ආර්ථික ශක්තියක් නැති ශ්‍රී ලංකාව වැනි රටවල්, මෙහිදී බලවත් අපහසුතාවට මුහුණපා සිටින බව නොරහසකි. අපනයන සහ සංචාරක ක්ෂේත්‍ර මත යැපෙන ශ්‍රී ලංකාව, වසර දෙකක් තිස්සේ ආර්ථිකය ආපස්සට ගමන් කරමින් සිටින්නේ නොවැළැක්විය හැකි ආකාරයටය.

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ අවස්ථාවේ සිට ඊට එකම පිළියම ලෙස බොහෝ රටවල් විසින් අනුගමනය කරන ලද්දේ, රට වසා දැමීමය. ‘ටෝටල් ලොක්ඩවුන්’ ලෙස මේ වන විට ව්‍යවහාරයට පැමිණ තිබෙන්නේ, එසේ රට තුළ ගමන් කිරීමේ මෙන්ම රට තුළට පැමිණීමේ සංචරණ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් නවතා දැමීමේ ක්‍රියාවලියයි. 2020 මාර්තුවේ සිට මේ වන විට අපේ රට ද අවස්ථා ගණනාවක දී වසා දැමීමට පියවර ගැනිණි. ගෙවුණු මාස 19ක කාලය තුළ වැඩි කාලයක් රට තිබුණේ සම්පූර්ණයෙන් වසා දමා හෝ සංචරණ සීමා මැද ය. රට ම වසා දැමීමේ ක්‍රියාවලිය ආර්ථිකයට එල්ල කර ඇත්තේ සුළුපටු බලපෑමක් නොවන බව, 2020 මහ බැංකු වාර්තාවේ දත්ත නිරීක්ෂණය කිරීමේ දී පැහැදිලිය.

ජාවාරම්කාර ප්‍රතිපත්ති

කොවිඩ් වසංගතයෙන් ආර්ථික, සමාජීය කටයුතුවලට පෙර නොවූ විරූ බාධා ඇති වීම කරණ කොට ගෙන, 2019 වසරට සාපේක්ෂව 2020 වර්ෂයේ මෙරට ආර්ථිකය 3.6%කින් පහළට වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවේ දැක්වේ. වසංගතය මෙන්ම එය පාලනය කිරීමට පැනවූ සීමා හේතුවෙන් ලෝක ආර්ථික පහත වැටීම, මෙරට ආර්ථිකයට අහිතකර ලෙස බලපෑ බව එහි සඳහන්ය. 2020 වර්ෂයේදී සේවා, කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත යන අංශ තුන ම ඍණ අගය වාර්තා කර ඇත.

මෙරටට විදේශ විනිමය ගෙන ආ ප්‍රධාන මාර්ග වන අපනයන, විදේශ නියුක්තිකයන් සහ සංචාරක යන ප්‍රධාන ක්ෂේත්‍ර තුනම කොවිඩ් 19 වසංගතය හමුවේ ප්‍රබල පසුබෑමකට ලක් විය. මහ බැංකු වාර්තාවේ දැක්වෙන ආකාරයට, 2020 වර්ෂයේදී භාණ්ඩ හා සේවා අපනයන 28.5%කින් පහත වැටී තිබේ. ඒ අතරේ විරැකියාව, උද්ධමනය වැනි සමාජ දර්ශක ද පසුගිය වර්ෂවලට සාපේක්ෂව ඉහළ අගයක් කරා ගොස් තිබේ. මේ සියලු කාරණා සලකා බැලීමේදී, රටේ ආර්ථිකය වර්තමානය වන විට අභියෝගාත්මක තත්ත්වයකට මුහුණපා සිටින බව පැහැදිලිය. රටත්, ජනතාවත් මෙවන් අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණපා සිටින අවස්ථාවක පවා, සිය මඩිය තර කර ගැනීම ඇතැම් ජාවාරම්කාර වෙළෙඳුන්ගේ ප්‍රතිපත්තිය වී තිබෙන බව, අද වන විට වෙළෙඳපොළේ භාණ්ඩ මිල දෙස බැලීමේදී තේරුම් ගත හැකිය. ගමේ කළුකඩ මුදලාලිගේ සිට අන්තර්ජාතික මට්ටමේ කළුකඩ ව්‍යාපාරිකයා දක්වා අතළොස්සක් සිදු කරමින් යන මෙකී ජාවාරම්කාර ප්‍රතිපත්තිය නිසා ඔවුන් රජයේ පාලන මිල කෙරෙහි කිසිදු සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නැත. මේ නිසාම භාණ්ඩ මිල රොකට්ටුවක වේගයෙන් අහසට නඟිමින් තිබේ.

භාණ්ඩ හිඟය

භාණ්ඩ මිල ඉහළ යන සෑම අවස්ථාවකම එහි චෝදනාව එල්ල වනුයේ පවතින ආණ්ඩුවටය. හාල් කිලෝවේ සිට අනෙකුත් සෑම අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයකටම පාලන මිලක් පනවා, මිල පාලනයට පියවර ගත්ත ද, ලාභයම පෙරදැරි කර ගත් කළුකඩ ව්‍යාපාරිකයෝ ගැසට්ටුවල කනින් රිංගා, හිතු මනාපයට භාණ්ඩ අලෙවි කරති. ඒ බව පසුගිය කාලය පුරා දක්නට ලැබිණි. සහල්, සීනි මෙට්‍රික් ටොන් ගණන් තමන්ගේ ගබඩාවල සඟවා තබා ගෙන වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇති බව මවාපාන මේ වෙළෙන්දෝ, භාණ්ඩ මිල ඉහළ ගිය වහාම තමන්ගේ තොග වෙළෙඳ පොළට එවා, අධික ලාබ ලබති. බොර දියේ මාළු බාන සටකපට ව්‍යාපාරිකයන් කිහිප දෙනකු නිසා මිලියන 21ක ජනතාවට සිදු වූයේ අහස පොළොව නුහුලන ගණන්වලට භාණ්ඩ මිල දී ගැනීමට ය. වෙළෙඳ අමාත්‍යාංශය මඟින් ගැසට් පිට ගැසට් ගසමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනයකට යටත්ව තබා ගැනීමට ගත් පියවර අපතේ ගිය තැන, ජනාධිපති රාජපක්ෂ මහතා තීන්දු කළේ, අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමටය. අගෝස්තු මස 30 දා මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන ලද මේ ගැසට් නිවේදනය, මෙරට ඉතිහාසයේ සුවිශේෂම ගැසට් නිවේදයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, බෙදාහැරීම අඩපණ කිරීම, අධික මිල ගණන් අය කිරීම හා පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරන වෙළෙඳපොළ අක්‍රමිකතා ආදි කටයුතු වැළැක්වීම මේ ගැසට් නිවේදනයේ අරමුණ ලෙස දක්වා තිබේ. ඒ සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයනය කළ මිල ගණන් අනුව හෝ වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිල දී ගෙන, ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට බලය ලත් නිලධාරීන් කටයුතු කළ යුතු බවත් එහි සඳහන්ය.

එසේම, රාජ්‍ය බැංකුවලින් එවැනි තොග මිල දී ගැනීම සඳහා ගෙන ඇති ණය, එකී ණය හිමියන්ගෙන් අය කර ගැනීමට එම බැංකු පියවර ගත යුතු බවත් එහි දක්වා තිබේ. මේ ක්‍රියාදාමය සඳහා නිසි බලධාරියා වශයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයකු පත් කිරීමට ජනාධිපති රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. ඒ, හදිසි නීති රෙගුලාසිවල දෙවැනි කොටසේ සඳහන් අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි බලාත්මක කරමිනි. අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑමට අදාළ සියලු ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සහ සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ කාර්යය වන්නේය. මෙකී නියෝග යටතේ ස්වකීය කාර්යය ඉටු කර ගෙන යෑමට අවශ්‍ය වන නියෝජ්‍ය කොමසාරිස්වරුන් හෝ සහකාර කොමසාරිස්වරුන් හෝ පත් කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලතල හිමිය.

අත්‍යවශ්‍ය සේවා

එහි උපලේඛනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් ‘අත්‍යවශ්‍ය සේවා’ ලෙස හැඳින්වෙන සේවා හඳුන්වා දී තිබේ. ඒ අනුව සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වා ගෙන යෑමට අවශ්‍ය වන වී, සහල්, සීනි යනාදි අනෙකුත් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය එක්රැස් කිරීම, ගබඩා කිරීම, පිරිපහදුව, ප්‍රවාහනය හෝ බෙදාහැරීම හෝ එකී කටයුතු සම්බන්ධයෙන් ඉෂ්ට කරන කාර්යය මේ නියෝගවලට යටත්ය.

ගැසට් නිවේදනය මඟින් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන ලද සේවාවක සේවයේ නියුතු වූවකුට, සිය රාජකාරිය පැහැර හැරීමට ඉඩක් නැත. එවන් සේවාවක සේවායෝජකයා හෝ ඔහුගේ බලය පවරන ලද තැනැත්තකු හෝ නියම කරන ලද කාර්යය සාමාන්‍ය දිනක පමණක් නොව, ඉන් බාහිරව හෝ නිවාඩු දිනවල වුව ද ඉටු කිරීමට සේවානියුක්තකයෝ බැඳී සිටිති. එසේ සේවයට නොපැමිණීම හෝ කාර්යය ඉටු කිරීම පැහැර හැරියේ වැඩවර්ජනයකට හෝ වෙනත් සංවිධානාත්මක ක්‍රියාකාරකමට අනුබල දීමෙහිලා වුව ද ලිහිලක් හිමි නොවේ. එවන් අවස්ථාවක එකෙණෙහිම සේවය අවසන් කිරීමටත්, ඊට අතිරේකව වරදකරු කිරීමටත් මෙමඟින් බලය හිමිය.

එසේම යම් කිසි සේවාවක් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක, සේවය පවත්වා ගෙන යෑමට බාධා කිරීම, අවහිර කිරීම, ප්‍රමාද කිරීම, සේවයේ යෙදෙන තැනැත්තන් හට සේවයට පැමිණීමට බාධා කිරීම, වැඩ නොකර සිටීමට පෙලඹවීම, සේවයෙන් ඉවත්ව යෑමට දිරිමත් කිරීම යනාදිය ද දඬුවම් ලැබිය හැකි වරදකි. ගැසට් නිවේදනයේ තුන්වැනි කොටසේ සඳහන් ‘ආහාර ගබඩා පරිශ්‍ර, වී ගබඩා හා හාල් මෝල් යනාදි වශයෙන් අත්‍යවශ්‍ය අහාර තොග නිසි පරිදි ජනතාව වෙත ලබා දීමට සහ නිසි පරිදි පවත්වා ගැනීම සඳහා මැදිහත් වීම’ මැයෙන් හදිසි නීති රෙගුලාසි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමට බලපාන ආකාරය පැහැදිලි කර තිබේ. මේ නියෝග යටතේ වරදක් කිරීමෙහිලා හෝ යම් වරදක් කිරීම සම්බන්ධයෙන් හෝ පාවිච්චි කරන ලදැයි කියන අවස්ථාවක එකී ප්‍රදේශයේ පොලිස් අධිකාරිවරයා එවැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ළඟ තබා ගෙන ඇති පරිශ්‍රය සිය සන්තකයට ගෙන ආරක්ෂා කළ යුතුය. ගොඩනැඟිල්ලට හෝ පරිශ්‍රයට අයිතිය කියාපාන තැනැත්තකුට ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවට යෑමට අවස්ථාව ඇත. ආඥාව පනවා සති දෙකක කාලයක් ඉකුත් වූ පසු, ඔහුගේ අනුමැතියෙන් තොරව එම ගොඩනැඟිල්ල හෝ පරිශ්‍රය පාවිච්චි කර ඇති බවට අභියාචනාධිකරණය සෑහීමට පත් වන්නේ නම්, එම ගොඩනැඟිල්ල හෝ පරිශ්‍රය මුදාහැරේ. මේ නියෝග කඩ කරලීම සඳහා ගොඩනැඟිල්ල හෝ පරිශ්‍රය භාවිත කර ඇති බවට අභියාචනාධිකරණය සෑහීමට පත් වන්නේ නම්, ගොඩනැඟිල්ල හෝ පරිශ්‍රය හෝ රාජසන්තක කිරීමට බලය හිමිය.

නියෝග කඩ කිරීම

එසේම මේ නියෝග යටතේ වරදක් කිරීම සම්බන්ධයෙන් පාවිච්චි කරන ලදැයි කියනු ලබන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය, ඒවා ප්‍රවාහනය කරන වාහන අධිග්‍රහණය කිරීමට නිසි බලධාරීන්ට බලය දී තිබේ. එසේ අධිග්‍රහණය කරන පාරිභෝගික ද්‍රව්‍ය තොග අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගය පරිදි රජයේ සහතික මිලට හෝ රේගුවේ සඳහන් මිල ගණන් පදනම් කර ගෙන රජයේ භාරයට ගෙන, ජනතාවට සාධාරණ මිල ගණන්වලට ලබා දීමට හැකිය. පාරිභෝගික අධිකාරියේ සභාපති, පොලිස්පති සහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් හට මෙකී බලතල හිමිය. හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති මේ නියෝග කඩ කිරීම හෝ ඒ අනුව ක්‍රියා කිරීම පැහැර හැරීම හෝ වරදක් ලෙස සලකන අතර, මහේස්ත්‍රාත්වරයකු හමුවේ පවත්වන නඩු විභාගයකින් දණ්ඩනයට අමතරව, එකී තැනැත්තාගේ වංචල හෝ නිශ්චල සියලු දේපළ හෝ සියලු බැඳීම්වලින් නිදහස්ව රාජසන්තක කළ හැකිය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අසීමිත ලෙස ඉහළ යෑම, පසුගිය කැබිනට් රැස්වීම් සියල්ලේදී අවධානයට ලක් වූ කාරණයකි. භාණ්ඩ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කැබිනට් හමු කිහිපයකදීම දැඩිව අදහස් දක්වා තිබූ බවක් ද වාර්තා විය. මේ භාණ්ඩ මිල ඉහළ යෑම කෘත්‍රිමව ඇති කරන ලද්දක් බව ජනාධිපතිවරයාගේ අදහස වී තිබිණි. ධනපති ව්‍යාපාරිකයන්ගේ කූට උපක්‍රම මෙන් ම, වෙනත් දේශපාලන අරමුණු ද මේ පසුපස තිබෙන බව කැබිනට් මණ්ඩලයට ද රහසක් නොවීය. කෙසේ වෙතත් වග කිව යුතු අමාත්‍යාංශ, ආයතන දුසිම් ගණනක් තිබියදී ද භාණ්ඩ මිල පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා, අවසානයේ දෝෂාරෝපණ එල්ල වූයේ ආණ්ඩුවටය. භාණ්ඩ මිල පාලනයට නිකුත් කෙරෙන ගැසට් නිවේදන සමාජ මාධ්‍යවල හාස්‍යයට ලක් කෙරෙන ආකාරය ද දක්නට ලැබිණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙකී තීන්දුව ගන්නේ මෙවන් පසුබිමකය. ඇතැම් ධනපති ව්‍යාපාරිකයන් එන එන ආණ්ඩු අල්ලේ නටවමින් කළ රංගනය මෙතැනින් නිමා වේ ද? යන්න සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත.

0 comment
0

Related Posts

Leave a Comment