කඳු නැඟීමේ ජාතික ශූර එච්.එල්. ක්‍රිෂාන්ත ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මුල් පුටුවට

0
39

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති තනතුරට ශ්‍රී ලංකාවේ හිටපු ජාතික ශූර එච්. එල්. ක්‍රිෂාන්ත මහතා තේරී පත් වෙයි. ගාල්ල දිස්ත්‍රික් පාපැදි සංගමය නියෝජනය කරමින් පාපැදි සභාපති පුටුවට තරග කළ ක්‍රිෂාන්ත මහතා සමග තවත් ජාතික ශූරයකු වූ වරාය අධිකාරිය නියෝජනය කළ බී. ජේ. සුමනසේකර මහතා තරග වැදිණි. ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ පැවැති පාපැදි සම්මේලන නිලවරණයේ සභාපති සටනේදී ක්‍රිෂාන්ත මහතා ඡන්ද 21ක් ලබාගත් අතර සුමනසේකර මහතා ඡන්ද 19ක් ලබා ගත්තේය.

හිටපු ජාතික ශූර එච්. එල්. ක්‍රිෂාන්ත මහතා ශ්‍රී ලංකා ජර්මන් මිත්‍රත්ව ක්‍රීඩා සමාජයෙන් තරග බිමට පිවිස වසර 2000දී හා 2003දී ජාතික පාපැදි ශූරයා කිරුළ දිනාගත්තේය. වසර 2003දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් සංචාර කිහිපයකට එච්. එල්. ක්‍රිෂාන්ත මහතා සහභාගී වූයේ කණ්ඩායම් නායකත්වය ද සමගිනි. එච්. එල්. ක්‍රිෂාන්ත මහතා දැනට අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් තනතුරට ගම්පහ දිස්ත්‍රික්කයේ නලීන් අධිකාරී මහතා ඡන්ද 26ක් ලබා තේරීපත් වූ අතර, ඔහු වෙතින් පරාජයට පත්වූයේ ගම්පහ දිස්ත්‍රික්කයේම එච්. ඒ. කරුණාරත්න (ඡන්ද 14) මහතාය. භාණ්ඩාගාරික තනතුරට ජයසේන ගුරුගේ මහතා (ඡන්ද 28) පත් වූ අතර, ඔහු සමඟ තරග කළ ජානක ප්‍රනාන්දු මහතා ඡන්ද 12 ලබා ගත්තේය. උප ලේකම් තනතුර සදහා ඡන්ද 21ක් ලබා ඒ. එම්. දිසානායක මහතා පත්වූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ උදය කුමාර මොලගොඩ මහතා ඡන්ද 19ක් ලබා ගත්තේය. උපසභාපති තනතුරු 6ක් සදහා 17ක් තරග කළ අතර, එහිදී එච්. ඩබ්ලිව්. පණ්ඩිතරත්න (ඡන්ද 28), සම්පත් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු (ඡන්ද 24), නිශාන්ත පියසේන (ඡන්ද 20), ප්‍රභාත් ද සිල්වා (ඡන්ද 20), චන්දන කඳනාරච්චි (ඡන්ද 19) හා එන්. එච්. මොල්ලිගොඩ (ඡන්ද 19) ලබා ගත්හ. පාසල් සංගමයෙන් උපසභාපති තනතුරක් සඳහා නම් කර එවන අය ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here