Home ගොසිප් පුවත් කණ්ණඩ සින­මාවේ ‘රණ්ඩු කෙක්ක’ කොළ­ඹත් ගාව­ගෙන නඩු යයි

කණ්ණඩ සින­මාවේ ‘රණ්ඩු කෙක්ක’ කොළ­ඹත් ගාව­ගෙන නඩු යයි

by Hela news

ඉන්දියාවේ කණ්ණඩ සිනමා නිළියක් පසුගියදා මදුරාසි උසාවියට ගොනු කළ නඩුවක් හේතුවෙන් කොළඹ කැසිනෝ ව්‍යපාරයක නමක්ද ඉන්දීය මාධ්‍යවල කතාබහට ලක්විය. කණ්ණඩ සිනමා නිළි සංජනා ගල්රාණි මේ නඩුව ගොනු කර තිබුණේ තම හොඳම මිතුරාට එරෙහිවය. නඩු නිමිත්ත මුදල් වංචාවකි.

ඇය තම හොඳම මිතුරා වන රාහුල් ටොන්සේට චෝදනා කර සිටියේ 2020 වසරේදී කොළඹ සහ ගෝව නගරයේ ක්‍රියාත්මක වන කැසිනෝ ව්‍යාපාරයකට තම මුදල් යොදවන බව පවසා එම මුදල් වංචා කර තමා රැවටීම සම්බන්ධවය. ඇයගේ චෝදනා ලැබූ සෙසු පුද්ගලයන් දෙදෙනා රාමක්‍රිෂ්ණා සහ රාජේශ්වරී නම් වේ.

කොළඹ සහ ගෝව යන ප්‍රදේශවල ක්‍රියාත්මක වන කැසිනෝ ව්‍යපාරයක මුදල් ආයෝජනය කිරීමෙන් විශාල ලාභයක් ලැබිය හැකි බවට තම මිතුරා වූ රාහුල් ටොන්සේ තමාට යෝජනා කළ බවත්, තමා ඔහු තම ‘සහෝදරයකු’ සේ විශ්වාස කළ බැවින් ඔහුගේ ගිණුමට තමා මහන්සියෙන් ඉපයූ මුදල් බැර කළ බවත් සංජනා මදුරාසි පොලිසියට පැමිණිලි කරමින් පවසා තිබේ. පසුව ඇය රාහුල් ටොන්සේගේ දෙමාපියන්ගේ ගිණුම්වලටද මුදල් බැර කර තිබේ. කෙසේ වෙතත් ඇය පවසන්නේ තමන්ට එම ආයෝජනවල ප්‍රතිලාභ නොලැබුණු බවයි. තම මිතුරා තමාට වංචා කළ බවට චෝදනා එල්ල කරන කණ්ණඩ සිනමා නිළිය තමාට සාධාරණයක් ඉටු කර දෙන ලෙස උසාවියෙන් ඉල්ලා තිබේ.

සංජනා නම් වන මේ කණ්ණඩ සිනමා නිළිය පසුගිය වසරේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා චෝදනා ලබා සිරගතව සිටි අතර ඇය සමඟ සිරගත වූ පිරිස අතර ඇයගේ මිතුරා බව පවසන රාහුල් ටොන්සේ ද විය.

කණ්ණඩ නිළි සංජනා අයථා ක්‍රමවලින් මුදල් ඉපයීම කෙරෙහි අවධානය යොමු කළ නිළියක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නීය. ඉන්දියාව පුරා මත්ද්‍රව්‍ය සහ කළු සල්ලි ජාවාරම් පැතිරී‌ගොස් ඇත්තේ ඔඩු දිවූ තුවාලයක් මෙනි. රංගනයෙන් ඉපයූ මුදල් තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි ඉක්මනින් අධික ලාභ ලැබිය හැකි ක්ෂේත්‍රවල මුදල් ආයෝජනය කිරීමට ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ ඇතැම් තාරකාවන් කටයුතු කළ බවට ඉතිහාස වාර්තා ඔනෑ තරම්ය.

ඒ අතරට සංජනා ගල්රාණි එක්වූයේ පසුගිය වසරේදීය.

ඉන්දීය සිනමාව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් පැතිර පවතින බවට ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සොයා ගනු ලැබූවේ මීට වසර කිහිපයකට පෙරදීය. ඒ බව ඉන්දීය පොලීසිය විසින් සාක්ෂි සහිතව තහවුරු කිරීමෙන් පසුව ඉන්දියාවේ ජනප්‍රියම සිනමා ව්‍යාපාරය වන බොලිවුඩ් සිනමාවේ දිදුලන තාරකා රැසක්ම මත්ද්‍රව්‍ය චෝදනා සඳහා සාක්ෂි ලබා දීමට පොලීසියට කැඳවනු ලැබූහ.

කණ්ණඩ සිනමාව යනු බොලිවුඩය තරම් ලොව පුරා ජනප්‍රිය සිනමාවක් නොවුවද එහි නියැළෙන බොහෝ දෙනා සැලකිය යුතු මුදලක් උපයා ගැනීමට සමත් වෙති. ගැටලුව වී ඇත්තේ මෙලෙස තමන් උපයන මුදල් අයථා ක්‍රම මඟින් වර්ධනය කර ගැනීමට උත්සාහ ගැනීමයි. කණගාටුවට මෙන් සංජනා ගල්රාණිද මේ ගොඩට වැටුනේ පසුගිය වසරේදීය. පසුගිය වසරේ සැප්තැම්බර් 8වැනිදා සංජනා කර්ණාටක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජවාරම් චෝදනා එල්ල කරමිනි. එහිදී පොලීසිය පවසනු ලැබූවේ කර්ණාටක් සිනමාව හරහා ව්‍යප්තව පවතින මත්ද්‍රව්‍ය ජාලයක් ඇති බවත්, සංජනා ද එහි එක් පුරුකක් බවත්ය. මීට පෙර රජිනි ද්වීවෙදි නම් වන කර්ණාටක් නිළියද මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිරගත කරනු ලැබූ අතර සංජනා එම පාරේම ගමන් ගනිමින් මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිරගත වූ කර්ණාටක් සිනමාවේ දෙවැනි සිනමා නිළිය බවට පත්වූවාය.

ඇයට ඇප ලබා ගැනීමට ඇයගේ නීතිඥයන් බොහෝ උත්සාහ දැරූ නමුත් ඇයගේ ඇප අයදුම්පත් අවස්ථා කිහිපයකදීම ප්‍රතික්ෂේප වූයේ ඇයට මාස තුනක කාලයක් සිරගතව සිටීමට සිදුකරමිනි.

දැන් ඇය යළිත් වරක් අධිකරණය හමුවට ගොස් ඇත්තේ මුදල් ආයෝජනය කිරීමේ ගැටලුවක් මුල් කර ගනිමින්, මුදල් වංචා කිරීම පිළිබඳ තම මිතුරන්ටත් චෝදනා කරමිනි. සංජනාගේ මේ අත්දැකීම් දෙස බලන විට පෙනී යන්නේ ඉපයූ මුදල වර්ධනය කර ගැනීමට අයථා ක්‍රම මඟින් උත්සාහ දරනවාට වඩා ලද දෙයින් සතුට වන අන්දම දැන ගැනීම ඇඟට ගුණ බව දැන් හෝ ඇය වටහා ගත යුතු වන බවයි.

0 comment
0

Related Posts

Leave a Comment