Home කාලීන පුවත් ඔව්! කාබනික පොහොර ගෙනාවොත් අවදානමක් තියෙනවා!

ඔව්! කාබනික පොහොර ගෙනාවොත් අවදානමක් තියෙනවා!

by Hela news

රට තුළ මේ දිනවල සාකච්ඡාවට බඳුන්වන බරපතළ ප‍්‍රශ්න ඇත්නම්, වැඩිපුරම ඇත්තේ කෘෂිකර්මාන්තය ආශ‍්‍රිත ප‍්‍රශ්න ය. මහ කන්නය උදා වූයේම සිව් දිශානතීන්ට පැතිර ගිය ප‍්‍රශ්න ගොන්නක් රැගෙනය. කාබනික රසායනික සහ ජෛව පොහොර ඒකාබද්ධව මෙතෙක් පැවැති ගොවිබිම් සඳහා කාබනික පොහොර පමණක් යොදමින් වගාව සිදු කිරිමට සිදුවීමත් ඒ සඳහා රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරිමට සැලසුම් කිරීමත් සමග අර්බුදකාරී තත්ත්වයක් ඇති වූ බව නොරහසකි.

කාබනික වගාවට ජනතාව හුරු කරලීම, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවීන් යොමු කිරීම, මහ කන්නය සඳහා බිම් සැකසුම, නයිට‍්‍රජන් පසට එක්කිරීම, නයිට‍්‍රජන් අවශ්‍යතාව ඇති අවස්ථාවක රතු කැට හෙවත් බණ්ඩි පොහොර ගොවීන්ට බෙදාදීම, රට තුළ කාබනික පොහොර හිඟතාවය පිරිමැසීමට චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීමට ඒ සඳහා ශාක නිරෝධායන පනත සහ ප‍්‍රමිති ආයතන පනත හරස් වීම, එසේ තිබියදී කාබනික පොහොර රැගත් නැව කොළඹ වරාය අසන්නයට පැමිණීම, ඉන්දියාවෙන් නයිට‍්‍රජන් දියර පොහොර ගෙනඒම, රට පුරා ගොවීන් උද්ඝෝෂණය කිරීම ඇතුළු ප‍්‍රශ්න හමුවේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සෘජු තීරණ ගනිමින් මේ වනතුරු සමස්ත කෘෂිකර්මාන්තයම ආරක්ෂා කරගැනීමට උත්සාහ ගන්නා බවද නොරහසකි.

මෙවන් පසුබිමක් යටතේ ඔහු සමඟ කළ සාකච්ඡාවක් මෙසේ ගෙන එන්නෙමු.

  • ඔබ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මෙයට මාස හතරකට පෙර වැඩ භාරගන්නා විට කෘෂි ක්ෂේත‍්‍රය තුළ පැවැතියේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නේද?

මා එය අර්බුදයක් ලෙස දකින්නේ නැහැ. රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරද්දී ඇති වූ තත්ත්වයක් ලෙස පමණයි මා එය දකින්නේ. එක එල්ලේ ජනතාවට නව අත්දැකීමක් ලබන්න කියා යෝජනා කළ විට එවැනි තත්ත්වයක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද ජනතාව මෙතෙක් හුරුවෙලා හිටියේ රසායනික පොහොර යොදල පහසුවෙන් අස්වනු නෙළා ගන්නා කෘෂිකර්මාන්ත රටාවකට. කාබනික කෘෂිකර්මාන්තයක් කියන්නේ තරමක් වෙහෙස ගත යුතු කාර්යයක්. මා මෙතෙක් ක්ෂේත‍්‍රය තුළ ලද අත්දැකීම් සහ සිදු කළ පර්යේෂණ, පුළුල් කෘෂිකාර්මික දැනුම, පරිපාලනයේදී ගතයුතු තීරණ ආදී සියල්ලක් සමගින් රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීමක් තමයි මේ සිදු කරන්නේ.

  • කාබනික පොහොර වැඩපිළිවෙළ සාර්ථක ද…..?

මෙය ගොවියාට සම්පූර්ණයෙන් අලූත් අත්දැකීමක්. එය අප හොඳින් අවබෝධ කරගෙන සිටිය යුතුයි. කාබනික පොහොර වැඩපිළිවෙළ දීපව්‍යාප්තව ක‍්‍රියාත්මක කිරීමට අපි වැඩසටහන් රැසක් දියත් කොට තිබෙනවා. කාබනික වගාවට ගොවීන් හුරු කිරීමට සැලසුම් ක‍්‍රියාත්මක කර තිබෙනවා. රසායනික පොහොරට හුරු වූ ගොවියා කාබනික පොහොර සඳහා හුරු කරවීම තරමක් අපහසු දෙයක්. නමුත් මේ වන විට රට පුරා ගොවීන් තමන්ගේ වගාවට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කරගැනීමට යොමු වෙලා තිබෙනවා. ඔවුන්ට ඒ සඳහා රජය ආධාර මුදල් ලබා දෙනවා වගේම තාක්ෂණික දැනුම ලබා දෙන්නත් කටයුතු කර තිබෙනවා. මේ සියල්ල මෙම මහ කන්නයේදී ආරම්භ කළ කටයුතු. මෙහි සාර්ථකභාවය කතා කරන්න වෙන්නේ රට පුරාම ගොවීන් කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමෙන් හා එයින් අස්වැන්නක් ලැබීමෙන් පසුවයි.

  • ඒ කියන්නෙ මේ පිළිබඳ විශ්වාසයක් ඔබටත් තවම නැහැ.

විශ්වාසයක් නැතිකම නොවේ. අපිත් වැඩ කරන්නේ රට පුරා දහස් සංඛ්‍යාත ගොවි ජනතාවත් සමඟයි. ඒ වගේම මේක කර්මාන්තශාලා තුළ හෝ නිවෙස් තුළ හෝ කුඩා පරිසර පද්ධතියක් තුළ හෝ සිදුකරන කර්මාන්තයක් වත් නිෂ්පාදනයක් වත් නෙවෙයි. කෙළින්ම විවෘත පරිසරයක් තුළ කාලගුණ දේශගුණ තත්ත්වයන්ට මුහුණ දෙමින් පලිබෝධ, කෘමි උවදුරු, වෙනත් උවදුරු සමග කරන පුළුල් නිෂ්පාදන ක‍්‍රියාවලියක්. මෙහිදී මුහුණ දීමට සිදු නොවන අත්දැකීමක් නැති තරම්. ඒ සියල්ල හමුවේ නොසැලී ඉදිරියට යන ගමනක් මේක.

  • දැන් රටට අවශ්‍ය කාබනික පොහොර සැපයුමට අවශ්‍ය කරන කාබනික පොහොර තොග තිබෙනවාද?

කාබනික පොහොර පමණක් භාවිතයෙන් වගාව සිදුකර ගැනීමට ගොවියාට සිදු වූ පළමු අවස්ථාව මේක. රටේ තැනින් තැන කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සිදු වුවත් මෙවර මහ කන්නය සඳහා පොහොර ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි අපට විදේශීය රටවල්වලින් කාබනික පොහොර ආනයනය කිරීමට සිදුවූයේ.

  • චීනයේ hippo sprit නමැති කාබනික පොහොර නැව මේ වන විට ආපසු හැරී ගොස් තිබෙනවා. නමුත් ඒ අය ( quindao seawing biotech group) ශ‍්‍රී ලංකාව තුළ සිදුකළ සාම්පල පරීක්ෂාව දෝෂ දර්ශනයට ලක් කළා. ශාක හා පැළෑටි නිරෝධායන ආයතනය තිබෙන්නේ ඔබ යටතේ. එයට විදේශීය සමාගමක් ඇඟිල්ල දිගු කිරීම ඔබට තර්ජනය කිරීමක්ද?

තර්ජනය කිරීමක් නෙවෙයි. කාබනික පොහොර ආනයනය සඳහා චීනය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඊට අදාළ ගිවිසුම් කිහිපයක්ම තිබුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අපි කටයුතු කළේ ඒ ගිවිසුම් අනුව. සාම්පල පරීක්ෂාවට මුල්තැන දීම සහ ඉන් අනතුරුව ලංකාවේ පරිසර පද්ධතියට සියයට සියයක්ම ගැළපෙන්නේ නම් පමණක් කාබනික පොහොර මිලදී ගැනීමට සූදානම් බව පෙර සාකච්ඡාවලදීම චීනයට අප දන්වා යවා තිබුණා. පැළෑටි හා ශාක නිරෝධායන මධ්‍යස්ථානයේ දී සිදු කරන්නේ ශ‍්‍රී ලංකාවට සුදුසු ද ශ‍්‍රී ලංකාවේ පරිසර පද්ධතියට හිතකරද අහිතකරද යන්න පරික්ෂා කිරීමයි. එය අත්‍යවශ්‍ය කාරණයක්. මේ වන විට වසර ගණනාවක් එහිදී පරීක්ෂණ පවත්වා තිබෙනවා.

අනෙක් ප‍්‍රධානතම කාරණය තමයි, ශාක නිරෝධායන මධ්‍යස්ථානයේ සාම්පල වාර්තාව පමණක් නෙවෙයි ශ‍්‍රි ලංකා ප‍්‍රමිති ආයතනයේ 1704 ප‍්‍රමිතියට ද අනුගතව කාබනික පොහොර ආනයනය කිරීමට සිදුවෙනවා. මේ ආයතන දෙකේදීම අදාළ සාම්පල වෙන වෙනම පරීක්ෂා කළා, එක් වතාවක් නොවෙයි දෙවතාවක්ම. එම පරීක්ෂණ වාර්තා දෙකම අසමත්. කෙටියෙන්ම කියතොත් අදාළ සාම්පල තහවුරු කළා, එම පොහොරවල ලංකාවට අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටින බවට. එහෙයින් අප ඒවා ප‍්‍රතික්ෂේප කළා.

  • සාම්පල වාර්තා එසේ නමුත් කෙසේ හෝ පොහොර තොගය ලංකාවට ගොඩබෑමට දේශපාලන අධිකාරියේ වුවමනාවක් තිබුණා නේද..,? එවැනි කතාවක් රට පුරා ප‍්‍රචලිත වුණා.

ජනතාව අතර විවිධ මත විවිධාකාරයෙන් ප‍්‍රචලිත වෙනවා. නමුත් එහි සත්‍යතාවයක් නැහැ. ඔය කියන කාරණය මා ප‍්‍රතික්ෂේප කරනවා. ලංකාවට නුසුදුසු කාබනික පොහොර ලංකාවට ඇතුළත් කර ගැනීමට කවුරුවත් බලපෑමක් කළේ නැහැ. ලංකාවේ වරාය ආසන්නයට ඔය කියන නැව සේන්දු වූ බවත් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර චීනයෙන් ලිඛිතව දැනුම් දීමෙනුත් අනතුරුව මම ශ‍්‍රී ලංකාවේ වරාය අධිකාරිවරයාට ලිඛිතව දැනුම් දුන්නා, කිසිදු හේතුවක් මත හෝ මෙම නැවේ ඇති කිසිවක් වරාය තුළට
නොගන්නා ලෙස. කෙටියෙන්ම කියතොත් නැව ඇතුළු වරායට ඇතුළත් කර නොගන්නා ලෙස මා දන්වා සිටියා. එය එපරිද්දෙන්ම සිදුවුණා.

  • නමුත් කාබනික පොහොර ආනයනය නතර කිරීමට රජය තීරණය කළේ නෑ නේද? එය නැවත අවදානමකට අතවැනීමක් කියා මා සිතනවා.

අවදානමකට අතවැනීමක් වන්නේ රට තුළට නුසුදුසු තත්ත්වයේ ප‍්‍රමිතියෙන් තොර පොහොර ගෙන ආවොත් පමණයි. මම එවැන්නකට ඉඩ තබන්නේ නැහැ. කෙසේ හෝ රට පුරා සැලකිය යුතු අස්වනු ලබාගැනීමට ගොවියන්ට අවශ්‍ය පරිදි පොහොර ලබාදිය යුතු වෙනවා. රට තුළ පොහොර හිඟයි නම් ආනයනය කර හෝ කාබනික පොහොර ගොවියට ලබාදීමටත් සිදුවෙනවා. මේ වන විට කාබනික පොහොර සැපයීමට රටවල් ගණනාවකින් සමාගම් විසිතුනක් ඉදිරිපත් වී සිටිනවා. ඒ සියලූම දෙනා අප සමඟ සාකච්ඡා කළ පරිදි සාම්පල් ලබා දී ඒවා පර්යේෂණයන් සඳහා යොමුකොට තිබෙනවා. එම පර්යේෂණ අසමත් වන කිසිදු රටකින් හෝ කිසිදු සමාගමකින් ලංකාව තුළට පොහොර ගන්න අපි සූදානම් නෑ. ඒ නිසා අවදානමක් ඇති බව මා පිළිගන්නේ නෑ.

  • මේ වන විට රට පුරා ගොවීන්ට කාබනික පොහොර බෙදාදීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වන්නේ කෙසේද?

මහ කන්නය ආරම්භයේ දී සිදු කරන්නේ පාංශු පෝෂක වර්ධනය කිරීමයි. ජෛව පොහොර වල ඉන්න ක්ෂුද්‍ර ජීවීන් නයිට‍්‍රජන් තිර කරනවා. පසෙහි පී එච් අගය සහ පවතින සෙසු පෝෂක තත්ත්වයන් පිළිබඳ සොයාබැලීම සඳහා ජංගම පාංශු පරීක්ෂණ කටයුතු රට පුරා සිදු කෙරුණා. ඒ ප‍්‍රතිඵල අනුව පළමුවෙන්ම ලංකාව තුළ නිපදවා තිබූ නයිට‍්‍රජන් දියර පොහොර ශ‍්‍රී ලංකාව පුරා ගොවිජනසේවා මධ්‍යස්ථාන පන්සිය හැට දෙකක් ඔස්සේ ගොවි මහතුන්ට බෙදාදීමට කටයුතු කර තිබෙන්නේ. මේ අතර ඉන්දියාවෙන් ගෙන ආ නැනෝ නයිට‍්‍රජන් ගොවි මහතුන්ට ලබාදීමට ද කටයුතු යොදා තිබෙනවා ඒ සඳහා වෙනම නිර්දේශයක් ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලබාදී තිබෙනවා. ඉදිරි සති 4 – 6 කාලය තුළ පොටෑසියම් පොහොර ඒ කියන්නේ බණ්ඩි පොහොර ලබාදීමට කටයුතු කරනවා. කිසියම් ප‍්‍රදේශයක පාංශු පෝෂක ඌනතාවයක් තිබුණොත් ඒ ඒ ප‍්‍රදේශ සඳහා පාංශු පෝෂක ලබාදීමට ද කටයුතු කරනවා.

  • ඉදිරියේදී ඇතිවන තවත් අර්බුදයක් වන්නේ වගාව සඳහා පලිබෝධ නාශක යෙදීමයි. කාබනික වගාවකදී සිදුකළ යුත්තේ කාබනික පලිබෝධ නාශක භාවිතයයි. ඒ සඳහා මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සූදානම්ද?

සූදානම් වෙමින් පවතිනවා කීවොත් නිවැරදියි. අපි මේ වන විට වී වගාවේ වල් මර්දනය සඳහා ගොවීන් වෙත පත‍්‍රිකා නිකුත් කර තිබෙනවා. වල් මර්දනය පලිබෝධ මර්දනය සඳහා අවශ්‍ය උපදෙස් ගොවීන්ට ලබාදීමටත් කාබනික පලිබෝධ නාශක සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් දෙපාර්තමේන්තුව කටයුතු යොදමින් සිටිනවා. එය සාර්ථකව කර ගැනීමට හැකිවේ යැයි මා විශ්වාස කරනවා.

  • මෙවර මහ කන්නයේ සිදු වන්නේ අත්දැකීම් ලබමින් වගා කිරීමක් සහ අස්වැන්න පිළිබඳ අනුමාන කිරීමක් නේද? එවන් තත්ත්වයක් තුළ යම් හෙයකින් අපේක්ෂිත අස්වැන්න නොලැබුණහොත් අසරණ වන්නේ ගොවියන් නේද?

මේ වන විට ඒ සඳහා රජය සහතිකයක් ලබා දී තිබෙනවා, යම් හෙයකින් අස්වැන්න අඩු වුවහොත් ඊට අදාළ වන්දි මුදලක් ලබාදෙන බවට. ඒ සඳහා ඇමැති අනුකමිටුවක් පත්කොට තිබෙනවා. පුද්ගලයෙක් රැකියාවට ගොස් වැටුපක් හා සෙසු පහසුකම් ලබනවා වගේම ගොවියාගේ වැටුප වන්නේ අස්වැන්නෙන් ලැබෙන ආදායම. යම් හෙයකින් අස්වනු අඩු වෙනවා කියන්නේ කන්නෙට අදාළ වගාවට හොඳ ආදායමක් ලබාගැනීමට නොහැකිවීමක්. එවිට ගොවි ජනතාව අසරණ වෙනවා. මේ පිළිබඳ අවබෝධයෙන් අප කටයුතු කළ යුතුයි.

අපිට වී අස්වනු අඩුවනු ඇතැයි මා සැක කරන්නේ නැහැ. රටේ පරිභෝජනය සඳහා මාසෙකට අවශ්‍යවන්නේ සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ දෙකක පමණ ප‍්‍රමාණයක්. යම් හෙයකින් අස්වැන්න පිළිබඳ ගැටලූවක් ඇති වුවහොත් ඒ සිදු වන්නේ උඩරට පහතරට එළවළු සඳහාත් පලතුරු සඳහාත් පමණයි. එවැන්නක් සිදුවුවහොත් තාවකාලිකව විකල්ප ආහාර, පරිප්පු ආදිය සඳහා යොමු වීමට සිදුවේවි.

  • ඔබ මේ කියන්නේ වාරිමාර්ග අමාත්‍යවරයා කී පරිදි මඤ්ඤොක්කා බතල කන්න සිදුවේවි කියා ද…?

නැහැ.. නැහැ.. මා කියා සිටින්නේ යම් හෙයකින් එලවළු, පලතුරු අස්වැන්න අවම වුවහොත් පාරිභෝගිකයන්ට කෙටි කාලෙකට පමණක් විකල්ප වෙත යොමුවීමට සිදුවේවි කියා පමණයි.

රට තුළ පැවැති රසායනික පොහොර භාවිතය නියමිත ප‍්‍රමිතියට සිදු නොකිරීම මත ඇති වූ තත්ත්වයක් තමයි අද විශාල ප‍්‍රශ්නයක් ලෙස ව්‍යාප්තව තිබෙන්නේ. ඊට විසඳුම් සොයන විට සමස්තයක් ලෙස ඒකාබද්ධව මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදු වෙනවා.

  • ලෝකයේ මේ වන විට කාලගුණ සහ දේශගුණ විපර්යාසයන්ට අනුගතව කෘෂිකර්මාන්තය පවත්වාගෙන යන්නේ කෙලෙසකද යන්න පර්යේෂණ සිදුකරමින් සිටිනවා. එවැනි තත්ත්වයකදී රසායනික පොහොර සියයට සියයක්ම අතහැර දමා කෘෂිකර්මාන්තයේ යෙදීම මැටියෙන් බළලූන් තනනවා වැනි ක‍්‍රියාවක් නේද…?

අපි මේ වන විටත් ඇතැම් ප‍්‍රදේශවල නිර්පාංශු වගාව සහ පාලිත ගෘහීය වගාව සාර්ථක ලෙස පවත්වාගෙන යමින් සිටිනවා. කාලගුණ දේශගුණ විපර්යාස සමග ඉදිරියට යද්දී හරිතාගාර වගාව සහ පාලිත තත්ත්වයන් යටතේ වගාවන්ට යොමු වීමට සිදුවීම අනිවාර්යයි. අපට එයින් බැහැර වන්නට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව හරිතාගාර වගාවන් සඳහා නිර්පාංශු වගාවන් සඳහා රසායනික පොහොර භාවිතයට මෙන්ම රසායනික පලිබෝධ භාවිතයට ද යොමු වීමට සිදු වෙනවා. ඒ සඳහා වන සැලසුම් රජය සමග සාකච්ඡා කොට පවත්වාගෙන යෑමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සිදුවෙනවා. ලෝකයේ බොහෝ දියුණු රටවල් සහ සෙසු රටවල් හැඩගැහිලා තියෙන්නේ සීත උෂ්ණ ඍතූ වලට ගැළපෙන පරිදි වගාව සිදු කරන්න. ඉදිරියේදී අපටත් ඊට අනුගත වීමට සිදුවේවි. රටේ ආහාර සුරක්ෂිතතාවය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැක්මයි. එය සාක්ෂාත් කර ගැනීමට නම් ලෝකයේ ආහාර සුරක්ෂිතතාව වැඩපිළිවෙළ සමග ඒකාබද්ධව යෑමට අපිටත් සිදුවෙනවා.

  • එසේ නම් ඔබ කියන්නේ කාබනික පොහොර භාවිතය සමග යන රජයේ ප‍්‍රතිපත්ති වැඩපිළිවෙළ අසාර්ථක වන බව ද….?

නැහැ. සෞභාග්‍ය දැක්ම කෘෂිකර්ම වැඩපිළිවෙළ රටට ඉතා යෝග්‍යයි. එය රට තුළ ක‍්‍රියාත්මක කරමින් යන අතරතුර සෙසු වගාවන් සඳහා ද යොමුවෙමින් රට තුළ ආහාර සුරක්ෂිතතාව උදෙසා නව සැලසුම් සකස් කළ යුතු බවයි මා කියන්නේ. ඒ සඳහා කොතැනකවත් බාධාවක් ඇතැයි කියා මා සිතන්නේ නැහැ. මොකද මේ රටේ ජනතාව බඩගින්නෙ තබන්න බැහැ. රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවකයින් විදිහට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ රටට ආහාර සැපයීම. එක කන්නයක් තුළදී කණපිට පෙරලන්න අපට බැරි වෙන්න පුළුවන්. මොකද ගොවි ජනතාවගේ හුරුව වගේම ඊට අදාළ අමුද්‍රව්‍ය සැපයීම වැනි කාරණා වලදී අර්බුද මතු වෙනවා තමයි. ක‍්‍රමක‍්‍රමයෙන් කාබනික වගාව ව්‍යාප්ත කර ගැනීමට අපට නොහැකි වන්නේ නෑ.

0 comment
0

Related Posts

Leave a Comment