Home විදෙස් පුවත් ඔමික්‍රොන් ලොවම කලඹයි. අවධානයෙන් සිටින්න, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ඔමික්‍රොන් ලොවම කලඹයි. අවධානයෙන් සිටින්න, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

by Hela news

දකුණු අප්‍රිකාවෙන් සහ බොට්ස්වානා රාජ්‍යය ආශ්‍රිතව පළමුවරට හඳුනා ගත් බව කියන කොවිඩ් වයිරසයේ B.1.1.529 නමින් හඳුන්වන ‘ඔමික්‍රොන්‘ නව ප්‍රභේදය දැඩි අවධානය යොමු කළ යුතු දරුණු විකෘතිතා ඇති කරන ප්‍රභේදයක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මෙය කොවිඩ් වයිරසයේ විකෘති ප්‍රභේදයක් වූවත් එහි තවත් විකෘතිතා රාශියක් ඇතැයි ද නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ඔමික්‍රොන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා භයානක බව ලෝ ප්‍රකට විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. නව ප්‍රභේදය හඳුනා ගැනීමෙන් පසු ලොව පුරා බොහෝ රටවල් දකුණු අප්‍රිකාව සහ තවත් අප්‍රිකානු රටවල් රැසකින් සිය රට වෙත පැමිණෙන ගුවන් යානා අවලංගු කිරීමට පියවර ගත් අතර, රට තුළ කොවිඩ් නීතිරීති දැඩි කිරීමට ද කටයුතු කර ඇත.

දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, නැමීබියාව, ලෙසෙතෝ රාජ්‍යය, මොසැම්බික් සහ මලාවි රාජ්‍යයට මේ ගුවන් තහනම පැනැවීමට අමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසක් දැනටමත් පියවර ගෙන ඇත.

සති දෙකක කාලයකට තම රටට ඇතුළු වන විදේශිකයන් නතර කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති අතර, නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා තම ඔත්තුසේවා ජාලයේ සේවය ද ලබා ගැනීමට කටයුතු යොදා තිබේ. පළමු වරට දකුණු අප්‍රිකාවෙන් සොයාගත් නව කොරෝනා ප්‍රභේදය ආසාදිත පුද්ගලයකු ඊශ්‍රායලයෙන් මේ වන විට සොයා ගෙන ඇත. මේ අතර දකුණු අප්‍රිකාව පවසන්නේ නව කොරෝනා ප්‍රභේදය හඳුනාගැනීම නිසා තමන්ට ගෞරවයක් හිමි වනවා වෙනුවට දඬුවමක් නියම වී ඇති බවය. කෙසේ වෙතත් මේ වනවිටත් ඔමික්‍රොන් ප්‍ර භේදය ආසාදිත පුද්ගලයන් රටවල් රැසකින් හමුවීම හේතුවෙන් ඉදිරියේදී තත්ත්වය බැරෑරුම් අතට හැරෙනු ඇතැයි වාර්තා වේ.

මේ අතර දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි මගීන් විශාල ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීමෙන් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් ගුවන්තොටුපොළේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන ඇතැයි වාර්තා වේ. ඔවුන් ගුවන් තොටුපළ අසල හෝටලයක නවතා වැඩිදුරටත් පරීක්ෂණවලට යොමු කර තිබේ. නෙදර්ලන්තයේ කොවිඩ් රෝගීන් ගණන ඉහළ යාමත්, නව කොරෝනා ප්‍රභේදය වැළඳුණු පිරිස හමුවීමත් නිසා එරට පළාත් කිහිපයකට අගුළු දැමීමක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ අනුව අවම වශයෙන් ඉදිරි සති තුනක කාලයකට අවන්හල්, කෞතුකාගාර සහ සිනමා ශාලා වැනි ස්ථාන පස්වරු 5.00 වන විට වසා දැමීමට නියමකර තිබේ.

ඔස්ට්‍රේලියාව, ජර්මනිය සහ ඉතාලිය ඇතුළු රටවලින් ද ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වූවන් හඳුනා ගෙන තිබේ

ග්‍රීක අක්ෂර හෝඩියේ 15 වැනි අක්ෂරය වන ඔමික්‍රොන් නමින් මේ ප්‍රභේදය හැඳින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ග්‍රීක අක්ෂර හෝඩිය අනුගමනය කිරීමට පියවර ගනු ලැබුවේ එවැනි වසංගත හෝ වයිරස් පළමුව හඳුනා ගන්නා රටින් එය නම් කිරිමෙන් එම රටට අපකීර්තියක් වන බැවිනි. වසංගත හෝ වයිරස් නම් කිරීමේදී යම්කිසි ජාතියකට, ආගමකට හෝ සංස්කෘතියකට අපහාස නොවන පරිදි මේ ප්‍රතිපත්තිය අනුගමනය කෙරේ. ඒ අනුව ග්‍රීක අක්ෂර හෝඩියේ ඔමික්‍රොන් අක්ෂරයට පෙර ඇති අක්ෂර දෙකක් මඟ හැරීමට පියවර ගෙන තිබේ. එම අක්ෂර දෙක නම් Nu සහ Xi වේ. නූ නමින් හැඳින්වීමේදී එය නිව් ලෙස උච්චාරණය වනු ඇතැයි ද, ෂි නමින් හැඳින්වීම චීන ජනාධිපති ෂි ජින්පින්ට අපහසුතාවක් සිදු වනු ඇතැයි ද නිගමනය කරමින් මේ පියවර ගෙන ඇත.

0 comment
0

Related Posts

Leave a Comment