Home දේශීය පුවත් ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් අඩු වෙලා

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් අඩු වෙලා

by Hela news
  • ළමා රෝහලට රැගෙන එන ආසාදිත දරුවන්ගේත් අඩුවක්
  • සෞඛ්‍ය බලධාරිහු කියති

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය සතියට සාපේක්ෂව අඩු වී ඇති අතර කොළඔ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ද තුනෙන් එකක් දක්වා පහත වැටී ඇති බව සෞඛ්‍ය බලධාරිහු පවසති.

මේ අතර සෞඛ්‍ය අංශ අපේක්ෂා කළ පරිදි ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට අඩු වී ඇති නමුත් කොයි අවස්ථාවේ හෝ නැවත වැඩි වීමක් සිදු විය හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සෞඛ්‍ය කාර්යාංශයේදී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේය.

කොවිඩ් ආසාදිතව සංකූලතාවට ලක් වූ රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව සපුරාලීමට රජය නිරන්තරයෙන්ම කටයුතු කළ බවත් පිටරටින් ඔක්සිජන් ගෙනැවිත් භාවිත කරනවාට වඩා මෙරට තිබෙන ඔක්සිජන් මත යැපීමට හැකි වන්නේ නම් එය සෞඛ්‍ය අංශවලට මහත් අස්වැසිල්ලක් බවත් ඔහු කීය.

පසුගිය දිනයන්හි දෛනිකව කොවිඩ් ආසාදිත දරුවන් 25ක් 30ක් පමණ රෝහලට ඇතුළත් කළ බවත් එය මේ වන විට 10ක් 12ක් දක්වා අඩු වී ඇති බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

වෙනත් දිනයන්හි කොවිඩ් ආසාදිතව සංකූලතා ඉහළ යෑම නිසා දෛනිකව දරුවන් 4ක් හෝ 5ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් එම සංඛ්‍යාව මේ වන විට එක් දරුවෙක් දක්වා අඩු වී ඇති බවත් හෙතෙම පැවසීය.

පසුගිය කාලයේ ඇතැම් දිනයන්හි දෛනිකව කොවිඩ් ආසාදිත දරුවන් 200කට වඩා රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවේ යැයි ද, ඊයේ (06) වන විට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංඛ්‍යාව 87ක් දක්වා පහළ ගොස් ඇතැයි ද ඔහු කීය.

කොවිඩ් ආසාදිතව දරුවන් 18ක් රෝහලේදී මරණයට පත් වූයේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් ආසාදිත දරුවන්ගේ වාර්තා වීම අඩු වුවත් එම තත්ත්වය හෑල්ලුවකට නොගෙන කටයුතු කිරීමට දෙමාපිය වැඩිහිටියන් තරයේ සිතට ගත යුතු බවත් නැවත කුමන අවස්ථාවක හෝ ආසාදිත දරුවන්ගේ වැඩිවීමක් ඇති විය හැකි බවත් ඒ මහතා කීය.

මව් පිය වැඩිහිටියන්ගේ හැසිරීම මත දරුවන්ට කොවිඩ් ආසාදනය වන්නේදැයි නොවන්නේදැයි තීරණය විය හැකි බවත් කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන් අනුගමනය කිරීමට දෙමාපිය වැඩිහිටියන් පෙළඹෙන්නේ නම් දරුවන් මේ වයිරසයෙන් ආරක්ෂා කර ගත හැකි බවත් ඒ මහතා පැවසුවේය.

0 comment
0

Related Posts

Leave a Comment