ඒ කාලේ ලොක්කෝ කාපු සුවඳ ගිතෙල් මොනර මස් සමග ඇල් හාලේ බත

0
107

මිනිසා යනු ඔහු ලබා ගන්නා ආහාරයේ ප්‍රතිඵලයක් බව ජනවහරේ පවතින්නකි. ආහාර යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවන් අතර ඉදිරියෙන්ම පවතින්නකි. නිරෝගිකම මෙන්ම සත්වයාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, සතුට හා පෘෂ්ඨිමත් බව යනාදි කායික මානසික තත්ත්වයන් ලැබෙන්නේ ආහාරවලිනි. මෙම තත්ත්වයන්ට ආහාරයෙන් බලපෑමක් කළ හැකිවන්නේ සත්වයා මෙළොව එළිය දැකීමෙන් අනතුරුවය. එහෙත් ආයුර්වේදයට අනුව සත්වයා මෙලොව එළිය දැකීමට පෙර සත්ව කලලය ඉපදීමෙහිලා සමත්වන ශුක්‍ර, ශ්‍රේණික දෙකද ආහාරය නිසාම හටගන්නා බව ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ සඳහන් වී තිබේ.

අතීතයේ දී අපේ පැරැණි ජනතාවගේ කායික, මානසික ශක්තිය, බලය, ප්‍රඥාව පිළිබඳව සොයා බැලීමේ දී ලාංකිකයන්ගේ ආහාර පරිභෝජන රටාව ධාන්‍ය ආහාර ප්‍රධාන කොට ගනිමින් අල වර්ග, එළවළු, පලතුරු, තාලවර්ග ගස්වලින් ලබා ගන්නා ඵලයන්, කුළු බඩු බෝග, තෙල් වර්ග, බුලත් පුවක් ආදි ලෙසින් බහුතරයක් ශාකමය ආහාරයන්ද, සිවුපා පක්ෂීන්, උරග ආදි සතුන් මස් මාළු මෙන්ම කිරි, දී කිරි, වෙඬරු, මෝරු, ගිතෙල් යන පස්ගෝරසයන් ද කිකිළියන්ගේ බිත්තර, මී මැස්සන්ගේ පැණි ආදියෙන් සමන්විතව තිබුණු බව පෙනේ.

ධාන්‍ය වර්ග අතර ප්‍රධාන වූයේ වීය. මීට අමතරව උඳු, මුං, තල, මෑ, අමු, මෙනේරි, කොංගු, වරා, කුරක්කන්, යව වැනි ධාන්‍ය රැසක් පැරැන්නන් ආහාරයට ගෙන තිබේ. පැරැණි පාලි පොත්වල මෙවැනි ධාන්‍ය වර්ග 7ක් ජනප්‍රියව පැවති බව බද්දේගම විමලවංශ නා හිමියෝ පවසති. අමු, මෙනෙරි, වරා ආදියෙන් පිසූ බත රජ දරුවන්ට අග්‍ර භෝජන වූ බව සද්ධර්මාලංකාරයේ සඳහන් වී තිබේ. ගෝඨාභය රජු හා ඔහුගේ සහෝදරයන් උඳු වැපිරීමට මහ වනය කොටා දැමූ අන්දම පිළිබඳව මහාවංශයෙන් හෙළි වී තිබේ. එසේම දුටුගැමුණු රජුට ස්ත්‍රියක් කොංගු ධාන්‍ය දුන් බවත් රජු ඒවා කොටා කොංගු බතක් පිළියෙල කරගත් බවද මහාවංශයේ සඳහන්ය. එකල වැසියාගේ ප්‍රධානම ආහාරය වූ ‘බත‘ සපයා ගත්තේ මෙම සහල්වලිනි. සුවඳ, ගිතෙල්, මස්මාංස, ව්‍යාංජන හා මිශ්‍ර කර බත් ආහාරයට ගැනීම එක් ක්‍රමයක් වූ අතර කිරිබත් හෝ යාගු පිස ආහාරයට ගැනීමද සිදු වී තිබේ. සුවඳ ගිතෙල් මොනර මස් සමග ඇල් හාලේ බත එදා උසස් පැළැන්තියේ පිරිස් අතර ජනප්‍රිය වූ අතර පලා මාලුව කාඩි ඇඹුල් සමග නිවුඩු හාලේ බත සමාජයේ දුප්පත් පිරිස අතර ජනප්‍රිය වී තිබූ බව සද්ධර්මාලංකාරයේ සඳහන්ය.

පිසින ලද බත් දෙවර්ගයකි. ඒ කිරිබත් විශේෂයක් වන පායස මෙන්ම කැඳ වර්ගයක් වූ යාගුය. වසභ රජු රජවීමට පෙර සරණාගතයකු ලෙස මහා විහාරයේ පිහිට පතාගෙන ගිය අවස්ථාවේ දී මහා විහාරවාසී භික්ෂුන් ඔහුට කෑමට දී ඇත්තේ කිරිබත්ය.

යාගු පැරැණි සාහිත්‍ය කෘතිවල කැඳ නමින්ද සෙල්ලිපිවල යාගු නමින්ද සඳහන්ය. බුදුන් වහන්සේ තමාට කැඳ පිළිගැන්වූ බමුණෙකුට ‘‘බමුණ කැඳෙහි මේ ආනිසංස දසයෙක් වේ. කැඳ දෙන්නෝ අායුෂ් දෙයි, වර්ණය දෙයි, සැපය දෙයි, නුවණ දෙයි, කොළකැඳ පානය බඩගින්න නිවාලයි, පිපාසය දුරු කරයි, වාතය අනුලෝම කරයි. වස්තිය පිරිසුදු කරයි. නොපැසි ශ්‍රේෂ වූ ආහාරය පැසවයි. බ්‍රහ්මණය මේ ආනිශංස දහයයි.’’ දෙසූ බව මහාවග්ග පාලියේ සඳහන්ය. පැරැණි ශ්‍රී ලාංකිකයන් කැඳ පානය ඉතා ජනප්‍රිය නිරෝගීබව රැකදුන් පෝෂ්‍යදායි ආහාර වේලක් ලෙස භාවිත කොට තිබේ. එහෙත් ධාන්‍යවලින් පමණක්ම කැඳ ආහාරය සකස් නොවුණු බවටද සෙල්ලිපි සාධකවලින් තොරතුරු අනාවරණය වේ. මස්, මාංස, පලතුරු හා එළවළු ආදියෙන්ද කැඳ පානය එකල පිළියෙල කරගත් බව ප්‍රකාශ වේ. v කාශ්‍යප රජුගේ පුවරු ලිපියේද වෙස්සගිරි පුවරු ලිපියේද මේ බව සඳහන්ය.

ධාන්‍ය භෝගයන්ට අමතරව පරිසරයෙන් සොයා ගන්නා විවිධ අල වර්ග ද සිය ආහාරය සකසා ගැනීමට ලක්දිව පැරැණි ගැමියන් සමත් වී තිබේ. වැල් අල, කුකුළල, කටු අල, හොඬල, බතල වැනි අල වර්ගයන් සිය ආහාර වේලට එක්කර ගත්තේ සිය ශරීරියේ නිරෝගි බව රැක ගැනීම සඳහාය.

එසේම වැටකොළු, තම්පලා, වැරනිය දලු, කරකොළ, ලුනුවිල කොළ, ලබු පුහුල් ආදි ලෙසින් වූ එළවළු හා පලා වර්ගයන් ලක්දිව පැරැණි වැසියන් පරිභෝජනය කළ බව පැහැදිලිය. එමෙන්ම කොස් ද ඔවුන් ව්‍යාංජනයක් ලෙස හෝ ප්‍රධාන ආහාරයක් ලෙසට පරිභෝජනය කර ඇති බව සද්ධර්මාලංකාරයේ සඳහන්ය.

ආහාරයක් රස වන්නේ ඇති පදමට ලුණු ඇඹුල් දැමූ විටය යනු පැරැන්නන්ගේ මතයකි. මෙහි දී ලුණු ඇඹුල් පමණක් නොව මිරිස් කහ, ඉඟුරු, කොත්තමල්ලි, සූදුරු, මහදුරු, අබ වැනි වූ සියලු කුළුබඩු බෝග තුනපහ ලෙසින් භාවිත කොට තිබේ. අනුරාධපුර වැසියා මෙම තුනපහ වර්ග හඳුන්වා ඇත්තේ කටුක භාණ්ඩයක් ලෙසය. අතීතයේ දී මෙන්ම වර්තමානයේ දීද ගැමියන්ගේ ගෙවල්වල බඩරුජාවක් සමනය කර ගැනීමට තුනපහ මිශ්‍රකර සකසා ගත් මිරිස් මාලුවක් පිළියෙල කර ගැනීම සිරිතකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here