Home ක්‍රීඩා පුවත් එස්එල්ටී ස්පීඩ්අප් තරගාවලිය දෙසැම්බර් 5 කටුකුරුන්දේ

එස්එල්ටී ස්පීඩ්අප් තරගාවලිය දෙසැම්බර් 5 කටුකුරුන්දේ

by Hela news

එස්එල්ටී මොබිටෙල් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන වෙළෙඳ විධායක රෝහණ එල්ලාවල මහතා අතින් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් සභාපති අෂ්හර් හමීම් මහතාට එස්.එල්.ටී. මොබිටෙල් ස්පීඩ්අප් අනුග්‍රාහකත්වය පිරිනමමින්. තරගාවලියේ ලේකම් වින් කමාන්ඩර් ජාලිය ජයසේකර, ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් ලේකම් ෂෙහාන් ඩී. තිසේරා, කලිල් ඉක්බාල් හා එරංග වාකිස්ට මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය – සුලෝචන ගමගේ

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩාවේ මව් සංගමය වන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට්ස් (Sri Lanka Automobile Sports – SLAS) සංවිධාන කරන ‘ස්පීඩ් අප් කටුකුරුන්ද 2021’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය ලබන දෙසැම්බර් 5 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුකුරුන්ද ධාවන පථයේදී පැවැත්වෙයි. කොවිඩ් වසංගතය හමුවේ දැඩි පසුබෑමකට ලක් වූ මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩා ක්ෂේත්‍රයට නව ජවයක් දීමේ අරමුණ ඇතිව සංවිධාන කර ඇති මේ තරගාවලියට ඔටෝමොබයිල් සංගමයේ ලියාපදිංචි සියලු සංගම්වල පූර්ණ සහයෝගය ලැබී ඇත.

ලබන වසරේ මෝටර් රථ ක්‍රීඩාව සාර්ථකව ආරම්භ කිරීමේ පළමු පියවර ලෙස කටුකුරුන්ද තරගාවලිය සංවිධාන කරන බව පසුගියදා ඔලිම්පික් නිවහනේ පැවැති මාධ්‍ය හමුවේදී ඔටෝමොබයිල් සංගමයේ සභාපති අෂ්හාර් හමීම් මහතා ප්‍රකාශ කළේය. මෝටර් රථ කාර්මිකයන්, ඉංජිනේරුවන් සහ අමතර කොටස් සැපයුම්කරුවන්ගේ ආදායම් මාර්ග ධාවන තරග මත රඳා පවතින බවත්, ඔවුන් දිරිගැන්වීමට සහ විශාල පිරිවැයක් යොදා නඩත්තු කරමින් සිටින ධාවන තරග සඳහා භාවිත කරන මෝටර් රථ හා යතුරුපැදි යළි ධාවන පථයට එක් කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වෙන කටුකුරුන්ද ස්පීඩ්අප් මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියට තරග අංශ 8ක් ඇතුළත් වන අතර, තරගකරුවන් 129 දෙනකු අයැදුම්පත් යොමු කර ඇත. මේ තරගාවලියේ පුහුණුවීම් සහ සුදුසුකම් ලැබීමේ තරග තරගාවලියට පෙර දින එනම්, දෙසැම්බර් මස 4 වැනිදා පැවැත්වෙන අතර, පසුදින පෙරවරු 9.00ට තරගාවලිය ආරම්භ කිරීමට නියමිතය. එස්එල්ටී මොබිටෙල් සමාගමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන මේ තරගාවලියේ සජීව විකාශය පියෝ ටීවී රූපවාහිනි නාලිකාව ඔස්සේ සිදු කෙරේ.

0 comment
0

Related Posts

Leave a Comment