Home කාලීන පුවත් එජාපය එපාවූ ඔසී

එජාපය එපාවූ ඔසී

by Hela news

ඔසී අබේගුණසේකර යනු ශ්‍රී ලංකා දේශපාලනයේ සදා අනුස්මරණීය චරිතයකි. ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක් ලෙස ජනප්‍රසාදයට පත් ඔසී අබේගුණසේකර මහතා පළාත්සභා මන්ත්‍රීවරයෙක්, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් ආදි ලෙස ලක්දිව දේශපාලනයේ යුග ගණනාවක් පසු කරන්නට සමත් විය.

1950 අගෝස්තු මස 7 වනදා උපන් ඔසී අබේගුණසේකර මහතා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සහ ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් සිප් සතර හැදෑරුවේය. හෙතෙම ලක්දිව දේශපාලන කරළියට සම්ප්‍රාප්ත වන්නේ පිය උරුමයෙන් යැයි කිවහොත් වැරැදි නැත. ඔසී අබේගුණසේකර මහතාගේ පියා වූ ඒ. ඩබ්ලිව්. ඒ. අබේගුණසේකර මහතාද 1950 දශකයේ ලක්දිව දේශපාලනයේ ප්‍රකට චරිතයක් විය. ඒ. ඩබ්ලිව්. ඒ. අබේගුණසේකර මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් ලෙස මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. එවන් දේශපාලන පසුබිමක් සහිත පවුලකින් පැවත ආ ඔසී අබේගුණසේකර මහතා තුරුණු වියට එළඹෙත්ම සිය පියාගේ අඩිපාරේ යමින් ලක්දිව දේශපාලන කරළියට පිවිසියේය.

මුලදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව දේශපාලන කටයුතුවල නිරත වූ ඔසී අබේගුණසේකර මහතා පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්‍තේය. 1980 වසරේ පැවති ජූලි වර්ජකයන්ගේ වැඩ වර්ජනය පාලනය කිරීමට එවකට ආණ්ඩු පක්ෂය විසින් යොදා ගත් සැහැසි ක්‍රමවේද සියැසින්ම දැකගත් තරුණ ඔසී එතුළින් කම්පාවට පත් වුණු අතර, හෙතෙම එක්සත් ජාතික පක්ෂය හැර යෑමට එය ප්‍රධාන වශයෙන් බලපෑවේය. ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට උප ලේකම්වරයාව කටයුතු කළ විජය කුමාරණතුංග මහතා හමු වූ ඔසී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව විජය කුමාරණතුංග මහතා සමඟ ඉතා කිට්ටු ඇසුරක් පැවැත්වූ ඔසී, විජය සමඟ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් හමුවන්නට යාපනයටද ගියේය. රටේ උද්ගත වෙමින් පැවති යුද්ධය නතර කොට වාර්ගිකයන් අතර සමඟිය ගොඩනැඟීම සඳහා විජය සමඟ ඔසීද ඒ අනුව කැප වී කටයුතු කළේය.

දේශපාලනය තුළ ඔසීගේ ක්‍රියාකාරීත්වය ද අතිශයින්ම සුවිශේෂී වෙයි. 1982 ජනාධිපතිවරණයේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මහත් වෙහෙසක් ගෙන කටයුතු කළේය. 1982 වසරේදී නැක්සලයිට් කුමන්ත්‍රණ චෝදනා නිසා ඔහුට සිර ගත වන්නටද සිදු විය. 1984 වසරේ දී විජය කුමාරණංතුංග මහතා විසින් පිහිට වූ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ උප ලේකම් තනතුරට පත් වූයේද ඔසී අබේගුණසේකර මහතාය. 1988 වසරේදී විජය කුමාරණතුංග මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසුව ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා ලෙස ඔසී අබේගුණසේකර මහතාව තෝරා ගැනුණි. 1994 වසරේ ඔහු මෙලොව හැරයන තුරුම එහි නායකත්වය දරනු ලැබීය.

1988 වසරේ ලක්දිව පැවති ප්‍රථම පළාත් සභා මැතිවරණයේදී ඔසී අබේගුණසේකර මහතා බස්නාහිර පළාතට ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් තරග කළේය. එහිදී ශ්‍රී ලංකා මහජන පක්ෂය පරාජයට පත් වූ නමුත් ඔසී අබේගුණසේකර මහතා පළාත් සභාවට තේරී පත් විය. බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස තේරී පත් වූයේද ඔසී අබේගුණසේකර මහතාය. ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ පළමු විපක්ෂ නායකයා ලෙස ඉතිහාසගත වන්නටද ඔහු භාග්‍යවන්ත විය.

1989 ජනාධිපතිවරණයටද ඉදිරිපත් වුණු ඔසී අබේගුණසේකර මහතා එහිදී ඡන්ද 235719 ක් ලබා ගන්නට සමත් විය. එහිදී ත්‍රිකුණාමලය ආසනය ඔසී අබේගුණසේකර මහතා ජයග්‍රහණය කර තිබීම සුවිශේෂී කරුණකි. 1994 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය හා එක්වන්නට ඔසී අබේගුණසේකර මහතා කටයුතු කළේය. ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්නටද එතුමාට අවකාශය උදා විය. 1994 වසරේ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ගාමිණි දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු දැවැන්ත කාර්යයක් සිදු කරමින් සිටියේය. 1994 නොවැම්බර් මස 09 වනදා ගාමිණි දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පැවති ප්‍රචාරක රැලියට ඔසී අබේගුණසේකරද සහභාගී විය.

එම අවස්ථාව තම දේශපාලන ජීවිතයේ පමණක් නොව සිය ජීවිතයේද තීරණාත්මක මොහොත බව ඔසී කිසිවිටකත් නොසිතන්නට ඇත. නමුත් එම අවස්ථාවෙහි මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ බෝම්බකාරියක් විසින් පුපුරවා ගත් බෝම්බයට ගාමිණි දිසානානයක මහතා මරණයට පත්වු අතර ඔසී අබේගුණසේකර බරපතළ තුවාල ලැබූ අතර දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ගුණසේකර මහතා පසුව අභාවප්‍රාප්ත විය.

0 comment
0

Related Posts

Leave a Comment