Home දේශීය පුවත් ‘එක රටක් එක නීතියක්’ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක්

‘එක රටක් එක නීතියක්’ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක්

by Hela news

ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්‘ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර, ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාමාජිකයන් 13 දෙනකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බළකායක් පෙරේදා පත් කළේය.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් යුත් ‘එක රටක් එක නීතියක්‘ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය අතිවිශේෂ ගැසට් පත්‍රියක් මඟින් පෙරේදා බලාත්මක කෙරිණි.

එහි ලේකම්වරයා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මහත්මිය පත් කර ඇති අතර, මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහාචාර්ය සුමේධ සිරිවර්ධන, එන්. ජී. සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානී වෑවල, මවුලවි මොහොමඩ්, කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ්, කලීල් රහුමාන් සහ අසීස් නිසාර් සෙසු සාමාජිකයෝ වෙති.

ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පැවරී තිබෙන අතර, ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වනවිට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් සහ සංශෝධනයන් අධ්‍යයනය කර ඒවායේ යෝග්‍යතාව හා සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම එම කාර්ය සාධක බළකායට පැවරී ඇති තවත් කාර්යයක් බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කමිටුව විසින් මසකට වරක් ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර, මෙහි අවසන් වාර්තාව ලබන වසරේ පෙබරවාරි 28 දා හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය.

0 comment
0

Related Posts

Leave a Comment