Home දේශීය පුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව සියලු ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා පහසුකම් සැලසිය යුතුයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව සියලු ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා පහසුකම් සැලසිය යුතුයි

by Hela news

ජනපති ජගත් සමුළුව අමතමින් කියයි

  • කොවිඩ් කළමනාකරණයට ශ්‍රී ලංකාව සාධනීය පියවර ගත්තා
  • කොවිඩ්වලින් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත් කිරීමට අපේක්ෂා කරනවා
  • සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික අවිනිශ්චිතතාව මඟ හරින්න ජගත් යන්ත්‍රණයක් ඕනෑ
  • සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිමත් ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැඟීම රජයේ ප්‍රමුඛ අරමුණයි
  • ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයක් නැවත ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට සහතික වෙනවා
  • ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නවා

සියලු ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එම ස්වෛරී රාජ්‍යයන්හි යන්ත්‍රණයන් සහ උරුමයන් කෙරෙහි නිසි ගෞරවයෙන් සැලකිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

 “කොවිඩ් 19 – වයිරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්න මෙවර එහි තේමාව විය. ලෝකයම මුහුණ දී ඇති කොවිඩ් වසංගතය මනුෂ්‍ය වර්ගයාට විනාශකාරී බලපෑමක් ඇතිකර තිබේ. වසංගත තත්ත්වය හමුවේ සිය සමීපතමයන් අහිමි වූ සියලු දෙනාට සංවේගය පළ කළ ජනාධිපතිවරයා වසංගත තත්ත්වය කළමනාකරණය සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික පරිත්‍යාගශීලින් ශ්‍රී ලංකාවට සපයන මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර පිළිබඳ සිය ස්තූතිය පිරිනැමීය.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා මේ වන විට පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා කොවිඩ් අභියෝගය ජය ගැනීමට සහ ජනතාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව ගෙන ඇති සාධනීය පියවර ද ලෝක නායකයන් ඉදිරියේ පැහැදිලි කළේය. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් උගත් පාඩම් හුවමාරු කර ගැනීමට ශ්‍රී ලංකාව කලාපීය දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

වසංගතයේ ආර්ථික බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපා ඇති බවත් මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ අවධානමකට ලක් කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යන්ත්‍රණයක් තුළින් සංවර්ධන මුල්‍යකරණ සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය කරුණක් බව ද පෙන්වා දුන්නේය. රටේ ආර්ථිකය නැවත පණ ගැන්වීමේ හා ජාතික සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී අන්තර්ජාතික ප්‍රජාවගේ සහයෝගය ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට භූ උපායමාර්ගික පිහිටීම සහ සවිමත් ආයතන, ශක්තිමත් සමාජ යටිතල පහසුකම් සහ පුහුණ ශ්‍රම බලකාය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය. මේ සඳහා පහසුකම් සැලසීමට මෙන්ම සියලුම ජනතාවගේ සමෘද්ධිය වෙනුවෙන් නීති, නියාමන, පරිපාලන හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි පුළුල් ප්‍රතිසංස්කරණ කෙරෙහි තම රජය අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනවාර්ගික, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිමත් ස්ථාවර හා සුරක්ෂිත අනාගතයක් ගොඩනැගීම සිය රජයේ ප්‍රමුඛ අරමුණ වන අතර මෙම ක්‍රියාවලිය සඳහා සියලුම දේශීය පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධවීමට සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට සූදානම් බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව, අධිකරණය සහ එහි ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනවලට තම කාර්යයන් හා වගකීම ඉටු කිරීම සඳහා සීමා රහිත අවකාශයක් තිබිය යුතු බවද ජනාධිපති රාජපක්ෂ මහතා කියා සිටියේය. ගෝලීය අභියෝගයක් වන ත්‍රස්තවාදය ජය ගැනීමට බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා පසුගිය අඩ සියවසේදී ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකාවේ දහස් ගණනකගේ ජීවිත සහ රටේ ආර්ථික සමෘද්ධිය අහිමි කළ බවත් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු නොවන බවට තම රජය සහතික වන බවත් පැවසීය. ඇෆ්ගනිස්තානයේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම දිරිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී ජනාධිපතිතුමා තිරසර අනාගතයක් වෙනුවෙන් සැබෑ සහයෝගිතාව, ත්‍යාගශීලීව සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් එක්ව කටයුතු කරමු යැයි ජගත් සමුළුව අමතමින් වැඩි දුරටත් සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment