Home ක්‍රීඩා පුවත් එකමුතුකම බෙලෙන් දිනුවේ ඔලිම්පික් රන්

එකමුතුකම බෙලෙන් දිනුවේ ඔලිම්පික් රන්

by Hela news

කණ්ඩායම් ක්‍රීඩා යනු ක්‍රීඩාවේ සැබෑ ක්‍රීඩකත්වය ඔප්නංවන අවස්ථාවක් ය. සාමූහිකත්වය, සමගිය, පුද්ගලත්වයෙන් තොරව එක ම ඉලක්කයක් සාධනය පිණිස ගමන් කිරීම කණ්ඩායම් ක්‍රීඩාවන්ගෙන් විද්‍යමාන ය. සාමූහිකත්වය වැඩිදියුණු මිනිසුන් ජීවත් වන සමාජ ලෙස සැලකිය හැක්කේ කණ්ඩායම් ක්‍රීඩාවේදී වැඩිවශයෙන් ජය ගන්නා රාජ්‍යයන් ද? එය වැරැදිබෙදීමක් ද? එය කෙසේ වුව ද

මේ නිමාවුණු තිස් දෙවැනි ඔලිම්පික් උළෙලේ පැවැති කණ්ඩායම් ක්‍රීඩා හා ඒවායේ ඉතිහාසය සම්බන්ධ සංක්ෂිප්තයකි.’

කැනඩා පාපන්දු ක්‍රීඩිකාවෝ නිමා වුණු ඔලිම්පික් උළෙලේ දී තම රටේ ක්‍රීඩා ඉතිහාසය වෙනස් කළ හ. ඒ මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා පාපන්දු රන් පදක්කම මුල් වරට දිනා ගනිමිනි.

“ආරක්ෂාකාරී ක්‍රීඩා පිළිවෙත අතින් අප ඉන්නේ විශිෂ්ට ස්ථානයක. එය සැබැවින් ම ලෝක මට්ටමේ තැබිය හැකියි. ඒ නිසා අප තරග කළේ හරියට මීටර් 100 දුවන ක්‍රීඩකයන් වගෙයි” කැනඩා පාපන්දු පිලේ නායිකා ක්‍රිස්ටීන් සින්ක්ලෙයාර් පැවැසුවේ තම කණ්ඩායම ලද විශිෂ්ට ජයග්‍රහණයෙන් අනතුරුව ය.

ඔලිම්පික් උළෙලට කාන්තා පාපන්දු ක්‍රීඩාව ඇතුළත් කෙරුණේ 1996 සිට ය. අමෙරිකා එක්සත් ජනපදය 1996, 2004, 2008, 2012 වසරවල ද 2000 වසරේ දී නෝර්වේ හා 2016 එකී රන් දිනීමේ ගෞරවය ජර්මනිය ද හිමි කර ගෙන තිබේ.

මෙවර පිරිමි පාපන්දු රන් පදක්කම බ්‍රසීලයට හිමි විණි. ඒ ස්පාඤ්ඤය පරදවමිනි. මේ අනුව ඔවුන් අඛණ්ඩව ඔලිම්පික් පාපන්දු රන් පදක්කම දිනුවේ දෙවැනි වතාවට ය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ වන්නේ 1930 වසරේ වුව ද ඔලිම්පික් උළෙලට එම ක්‍රීඩාව ඇතුළත් වන්නේ 1900 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැති ඔලිම්පික් උළෙලේ සිට ය. එවර මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශ, බෙල්ජියම් පාපන්දු ක්‍රීඩා සමාජ තුනක් අතර තරගාවලිය පැවැත්විණි. එහි ජය බ්‍රිතාන්‍යයේ ක්‍රීඩා සමාජයට හිමි විය.

1904 වසරේ එය ජයගෙන ඇත්තේ කැනඩා පාපන්දු සමාජයකි. කෙසේ නමුත් ජාත්‍යන්තර වශයෙන් ඔලිම්පික් උළෙලේ පාපන්දු ක්‍රීඩාව පැවැත්වෙන්නේ 1908 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ සිට ය. එවර ශුරතාව මහා බ්‍රිතාන්‍යය ද දෙවැනි ස්ථානය ඩෙන්මාර්කය ද තෙවැනි ස්ථානය නෙදර්ලන්තය ට ද හිමිව තිබේ.

එතැන් පටන් පාපන්දු ක්‍රීඩාව ඔලිම්පික් උළෙලේ නොවරදින කණ්ඩායම් ක්‍රීඩාවක් විණි. කෙසේ නමුත් ජගත් පාපන්දු ශූරතාව ඇරඹි 1930 වසරෙන් පසු එම ක්‍රීඩාව ලෝක ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කළ බැවින් 1932 වසරේ පැවැති ඔලිම්පික් ක්‍රීඩා උළෙලින් එම ක්‍රීඩාව ඉවත් කෙරිණි. එහි නීති රීති තවදුරටත් සංශෝධනය කෙරුණේ 1992 වසරේ සිට ය. ඒ පාපන්දු තරගාවලිය සඳහා සහභාගි විය යුතු ක්‍රීඩකයන් ගේ වයස අවුරුදු 23 ට අඩු විය යුතු බවට තීරණය කරමිනි. එහෙත් 1996 වසරේ එය යළි සංශෝධනය වූයේ එක් කණ්ඩායමකට අවුරුදු 23 න් ඉහළ ක්‍රීඩකයන් තිදෙනකු ඇතුළත් කිරීමට අවසර ලබා දෙමිනි.

වොලිබෝල්

තවත් කණ්ඩායම් ක්‍රීඩාවක් වන වොලිබෝල් ක්‍රීඩාවේ පිරිමි ඉසව්වේ රන් පදක්කම මෙවර මුල් වරට හිමි කර ගත්තේ ප්‍රංශය විසිනි. ඔලිම්පික් සඳහා එම ක්‍රීඩාව නිල වශයෙන් ඇතුළත් කෙරුණේ 1964 වසරේ සිට ය. සෝවියට් සංගමය පළමු රන් පදක්කම දිනා ගත් අතර 1968, 1980 වසරවල ද ඔවුහු රන් පදක්කම දිනා ගත් හ. මේ හැර ජපානය, පෝලන්තය, එක්සත් ජනපදය, බ්‍රසීලය, ඕලන්දය, යුගොස්ලෝවියාව, රුසියාව රන් පදක්කම්ලාභී සෙසු රටවල් ය. වොලිබෝල් කාන්තා ඉසව්ව 1964 වසරේ දී ආරම්භ වූ අතර මුල් ම රන් පදක්කම හිමි වූයේ ජපාන ක්‍රීඩිකාවන්ට ය. ඔවුහු යළි 1976 වසරේ දී රනින් පිදුම් ලැබූ හ.

සෝවියට් සංගමය 1968, 1972, 1980, 1988 වසරවල ද චීනය 1984, 2004, 2016 වසරවල ද කියුබාව 1992, 1996, 2000 වර්ෂවල ද බ්‍රසීලය 2008 හා 2012 වසරවල ද රන් පදක්කම් හිමි කර ගත්තේ ය.

”බ්‍රසීලය කියන්නේ වොලිබෝල් පුරාවෘත්තයක්. අපි 2008 හා 2012 ඔවුන්ට පැරදුණා. මුල් වරට මෙවර (2020) අපේ කණ්ඩායම රන් පදක්කම දිනා ගැනීමට සමත්වීම සැබැවින්ම ඉතිහාසගතයි.”මෙසේ පැවසුවේ එක්සත් ජනපද කාන්තා කණ්ඩායමේ පුහුණුකරු කාච් කිරලි ය.

පැසිපන්දු

1904 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රදර්ශනාත්මක ක්‍රීඩාවක් ලෙස පැසිපන්දු ක්‍රීඩාව එක්වූව ද එය පදක්කම් පිරිනමන ඉසව්වක් ලෙස පිළිගත්තේ 1936 වසරේ සිට ය. මෙහි කාන්තා ඉසව්වේ ආරම්භය 1976 වසර විණි. මෙය තනිකරම එක්සත් ජනපදයේ ආධිපත්‍යයට යටත්වූ ඉසව්වක් ලෙස හඳුන්වතොත් එය අතිශයෝක්තියක් නොවේ.

පිරිමි ඉසව්වේ රන් පදක්කම 1936, 1948, 1952, 1956, 1960, 1964, 1968, 1976, 1984, 1992, 1996, 2000, 2008, 2012, 2016 දිගින් දිගටම හිමි වූයේ ඔවුන්ට ය. මෙවර ද එය වෙනස් වූයේ නැත. සෝවියට් සංගමය 1972 හා 1988 වර්ෂවල ද යුගොස්ලෝවියාව 1980, ආර්ජන්ටිනාව 2004 මෙහි රන් පදක්කම් දිනා තිබේ.

මෙවර (2020) කාන්තා ඉසව්වේ රන් පදක්කම හිමි වූයේ ද අමෙරිකාවටම ය. අතීතය දෙස බලන විට සෝවියට් සංගමය 1976, 1980 වසරවල දී ත් අමෙරිකා එක්සත් ජනපදය 1984, 1988, 1996, 2000, 2004, 2008, 2012, 2016 හා සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ඒ යටතේ තිබූ රටවල් 12 ක් ඒකාබද්ධව එකම කණ්ඩායමක් ලෙස තරග වැදී 1992 වසරේ රන් පදක්කම දිනා ගැනීම ද අමතක කළ නොහැක.

රගර්

2016 ඔලිම්පික් උළෙලේ දී සත් සාමාජික රගර් ක්‍රීඩාව ඔලිම්පික් පිටියට හඳුන්වා දුන්න ද රගර් ක්‍රීඩාව 1900, 1908, 1920, 1924 ලෙස ඔලිම්පික් උළෙල හතරක් නියෝජනය කළේ එක කණ්ඩායමකට සුපුරුදු ලෙස ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් කර ගනිමිනි. නමුත් 1924 ඔලිම්පික් උළෙලින් පසු රගර් ක්‍රීඩාව ඔලිම්පික්වලින් ඉවත් කරනු ලැබීය.

වසර ගණනකට පසු 2016 බ්‍රසීල ඔලිම්පික් උළෙලට රගර් ක්‍රීඩාව යළි ඇතුළත් විණි. ඒ සත් සාමාජික තරගාවලියක් ලෙසිනි. මේ අනුව ෆිජි කණ්ඩායම පිරිමි ශුරතාව ද ඔස්ට්‍රේලියාව කාන්තා ශුරතාව ද අත් කර ගන්නා ලදි. මෙවර ද (2020) පිරිමි රන් පදක්කම ෆිජි කණ්ඩායමට හිමි විය. කාන්තා රන් පදක්කම දිනා ගත්තේ නවසීලන්තයයි. ඊට පෙර එනම්, 1900 ප්‍රංශය ද 1908 ඕස්ට්‍රේලියාව ද 1920 හා 1924 එක්සත් ජනපදය මෙහි ශුරතාව හිමි කර ගෙන තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment