Home දේශීය පුවත් ඉන්ධන මිල දී ගන්න මුදල් නිදහස් කරනවා

ඉන්ධන මිල දී ගන්න මුදල් නිදහස් කරනවා

by Hela news
  • වාහන ආනයනය නැවැත්වීම ගැන සමාලෝචනය කරනවා

මහ බැංකු අධිපති

වසරේ ඉතිරි කාර්තුව සඳහා ඉන්ධන මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මුදල් නිදහස් කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙරේදා සම්මන්ත්‍රණයක් අමතමින් පැවසීය.

එමගින් ඩොලරය මත යැපීම අඩුවන බැවින් ඩොලරයේ ද්‍රවශීලිතාව වැඩි වන බවත් කබ්රාල් මහතා පෙන්වා දුන්නේය.

වාහන ආනයන තහනම දෙසැම්බර් මාසයේ සමාලෝචනය කරන බවත් භාණ්ඩ කීපයක් සඳහා පනවන ලද තාවකාලික ආනයන සීමා ක්‍රමයෙන් ලිහිල් කරන බවත් ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, ආනයන ඉහළ යාම සහ ආර්ථිකය මත විශාල බරක් පැටවෙන බැවින් වාහන ආනයන තහනම 100% ක් විවෘත නොවන බවත් කාලයත් සමග ක්ෂේත්‍රයේ හැසිරීම මත පදනම්ව එය ක්‍රමානුකූලව සිදු කරන බවත් ඔහු පැවසීය. බොහෝ අය ආර්ථිකය විවිධ කෝණවලින් ගෙනහැර දක්වන බවත් මහ බැංකුවේ යුතුකම වන්නේ ආර්ථිකය සමබර කර නිවැරදි දේ ප්‍රදර්ශනය කිරීම බවත් කබ්රාල් මහතා මෙහිදී සඳහන් කළේය. වසංගතය වැනි විවිධ හේතුන් නිසා මේ වන විට ආර්ථික අස්ථාවරභාවයක් පවතින අතර ඉදිරි මාස තුන තුළ තම ප්‍රමුඛතාව වනුයේ ආර්ථික ස්ථාවරභාවය ගෙන ඒමෙන් පසුව ඉලක්ක වෙත යාම බව ඔහු අවධාරණය කළේය. මේ සඳහා ඉදිරි මාස හතරක කාලය උදෙසා මාර්ගෝපදේශයක් ඔක්තෝබර් 01 දා එළි දක්වන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ අදහස් දක්වමින් කබ්රාල් මහතා පැවසුවේ ඉතා සාර්ථකව දේශීයව ලබා ගත් විසඳුම් සමඟ ඉදිරියට යාමට රට කැමති බවයි. ඊට හොඳම උදාහරණය වන්නේ මෙරට එන්නත්කරණ වැඩසටහන බව පැවසූ ඔහු එය ලෝකයේ හොඳම එන්නත්කරණ වැඩසටහන් අතර තිබෙන බවත් ඊට කිසිදු විදේශ ආයතනයක් උපදෙස් නොදුන් අතර එය 100% දේශීයව කළමනාකරණය කර ක්‍රියාත්මක කරන ලද්දක් බවත් අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා යම් කාලයක් සඳහා එකම පොලී අනුපාත පවත්වා ගැනීමට බලාපොරොත්තු වන බවද විදේශ ණය නියමිත කාලයට ගෙවීමේ වැදගත්කම ශ්‍රී ලංකාව දන්නා බවත් කලින් අවස්ථාවලදී සිදු කළ පරිදි ඒවා නියමිත වේලාවට පියවා ගැනීමට සැලසුම් ක්‍රියාත්මක බවත් කීය.

‘ඩොලර් හිඟයක්’ පවතින බව පිළිගත් කබ්රාල් මහතා පැවසුවේ එය මේ වන විට විසඳෙමින් පවතින බවත් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මණින් විසඳා ගත හැකි බවත්ය. ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය ආනයන සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති නමුත් කිරි පිටි, එල්පී ගෑස් සහ වෙනත් භාණ්ඩ කිහිපයක හිඟයක් පවතින බව ඔහු මෙහිදී පිළිගත්තේය.

0 comment
0

Related Posts

Leave a Comment