Home විදෙස් පුවත් ඉන්දීය අගමැති ගොවීන් ට අවනත වූ හේතුව හෙළිවෙයි.

ඉන්දීය අගමැති ගොවීන් ට අවනත වූ හේතුව හෙළිවෙයි.

by Hela news

රට පුරා දැවැන්ත විරෝධතාවලට හේතුවූ, මතභේදාත්මක කෘෂි නීති හකුලාගැනීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඉන්දීය අගමැතිවරයා මේ බව සඳහන් කළේ, ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි. 

කෘෂිකර්මාන්තයට අදාළව අගමැති මෝදිගේ ආණ්ඩුව ඉදිරිපත් කළ නව පනත් කෙටුම්පත් ඉන්දීය පාර්ලිමේන්තුවේදී පසුගිය වසරේ සැප්තැම්බර් මසදී සම්මත විය. 

කෘෂි නිෂ්පාදන අලෙවිය, මිල තැබීම සහ ඵලදාව ගබඩාකිරීම සම්බන්ධයෙන් පැවති සීමා ලිහිල් කිරීම අදාළ නීති සංශෝධනය මගින් සිදුකර තිබුණි. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, සිය නිෂ්පාදන සෘජුව පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අලෙවිකිරීමට ගොවීන්ට සිදුවීමෙන් කෘෂි බෝග මිල නියම කිරීමේ වැඩි අවස්ථාව ව්‍යාපාරිකයින්ට හිමිවූ බවය.

එමෙන්ම අදාළ නීති මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අසීමිත ලෙස ගබඩා කිරීමේ අවස්ථාව ද පෞද්ගලික ව්‍යාපාරිකයින්ට හිමිව තිබුණි. 

මෙම පනත් වලට එරෙහි ගොවීන් උද්ඝෝෂණ ආරම්භ කළේ, මෙම නව නීති මගින් තම ඉරණම වෙළෙඳුන් අතට පත්වන බව පවසමිනි. 

ජන ජීවිත අඩාළ කරමින් හර්යානා ප්‍රාන්තයෙන් ඇරඹි ගොවි උද්ඝෝෂණ පන්ජාබ්, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් කරා ව්‍යාප්තවීමට වැඩි කාලයක් ගත නොවිණි. 

ගොවීන් දිල්ලිය වටලා විරෝධතා සහ උපවාස ක්‍රියාත්මක කළ අතර ඒ අතරතුර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ද හටගත්තේය.

එහිදී ගොවීන් සිය ගණනක් අත්අඩංගුවට පත්වූයේ මෝදි රජය මුහුණදුන් අසීරුතම ජන විරෝධය ලෙස ඉතිහාසයට එක්වෙමිනි.

වසරකට වැඩි කාලයක් පැවති ගොවි අරගලවලට මුල් වූ කෘෂි පනත් අහෝසි කිරීමට අවසානයේදී ඉන්දීය අගමැතිවරයාට සිදුවුණි.

නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් ප්‍රකාශ කළේ, කුඩා පරිමාණ වගාකරුවන් ශක්තිමත් කිරීමේ අරමුණින් නව නීති ගෙන ආවත් එය තේරුම් ගැනීමට ගොවීන් අසමත්වූ බවය. 

“අපි ඉදිරිපත් කළ ගොවි නීති තුනම ඉවත්කරගැනීමට අප තීරණය කරලා තියෙනවා. මේ මාසයේ අවසානයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයකදී, ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමටත් අප සූදානම්. එම නීතියේ වරප්‍රසාද ගැන ගොවීන් දැනුම්වත් කිරීමට අපි උත්සාහ කළත්, ඒ සියල්ල අසාර්ථක වුණා. ගොවි නීති හකුළාගැනීමට තීරණය කළේ ඒ නිසයි,” යනුවෙන් නරේන්ද්‍ර මෝදි පැවසීය.

සිදුවූ දේ සම්බන්ධයෙන් තමා කණගාටුව ප්‍රකාශ කරන බව ද ඔහු පැවසීය. 

නීති හකුළාගැනීම ගොවීන් ලබාගත් ජයග්‍රහණයක් ලෙස ඇතැම් මාධ්‍ය පෙන්වා දුන්නත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පන්ජාබ් සහ උත්තර් ප්‍රදේශ් මැතිවරණ ඉලක්ක කරමින් රජය මෙම තීරණයට පැමිණ ඇති බවය.

0 comment
0

Related Posts

Leave a Comment