Home ක්‍රීඩා පුවත් ඇඹුල්දෙණිය කොදෙව්වන්ගේ මුහුණු ඇඹුල් කරයි

ඇඹුල්දෙණිය කොදෙව්වන්ගේ මුහුණු ඇඹුල් කරයි

by Hela news

ළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 187ක දැවැන්ත ජයක්

වර්ෂාවත්, පන්දු රකින්නන් උඩ පන්දු අත්හැරීමත් නිසා ජයපරාජයෙන් තොරව තරගය බේරා ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල තැබූ බලාපොරොත්තු සුනු විසුනු කළ දඟපන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත් වූ පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 187ක දැවැන්ත ජයක් අත් කර දුන්නේය. මේ ජයග්‍රහණයත් සමඟ දෙපිල අතර සෝබර්ස් – තිසේරා කුසලාන ටෙස්ට් තරගමාලාව 1-0 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. මේ තරගය වසර 2023 අයිසීසී ටෙස්ට් ශුරතාවලිය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගය ද වූ අතර, ජයග්‍රහණයත් සමඟ එම ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් විය. 

සිව්වැනි දිනය වූ පෙරේදා නිමා වන විට කොදෙව් පිලේ කඩුලු 6ක්ම බිඳ වැටී තිබිණි. කොදෙව් පිලේ 6 වැනි කඩුල්ල බිඳ වැටෙද්දී මුළු ලකුණු සංඛ්‍යාව 18ක්ව තිබූ බැවින් තරගය එදිනම ශ්‍රී ලංකා පිලට ජය ගෙන දෙමින් නිමාවට පත් වනු ඇතැයි විචාරකයෝ පවා අනුමාන කළහ. එහෙත් පරාජය පෙනි පෙනී සිටියදී කෘමා බොනර් සහ ජෝෂුවා ද සිල්වා එක්ව ලකුණු 52 දක්වා ඉනිම ඇදගෙන ගිය අතර, ඊයේ දිනයේදී දෙදෙනා අතර 7 වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 100ක් දක්වා ගොඩ නැගුවේ මුළු ලකුණු සංඛ්‍යාව ද 118 දක්වා ඉහළ දමමිනි.

මිනිත්තු 165ක් කඩුල්ලේ රැඳී සිටි ජෝෂුවා ලකුණු 54ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් උඩපන්දු 4ක්ම අත්හැරීම නිසා කොදෙව් පිතිකරුවෝ දිවා ආහාරයෙන් පසුවත් තවත් පැයක් ඉනිම ඇදගෙන ගියහ.

කෙසේ වුවත් දිවා ආහාරයෙන් පසු පැයක් යෑමට පෙර කොදෙව් පිලේ ඉතිරි කඩුලු 3ම බිඳ දැමීමට ශ්‍රී ලංකා පිල සමත් වූයේ විශිෂ්ට ජයග්‍රහණයකට හිමිකම් කියමිනි. තරගය නිමා වූ සැණින් ගාල්ලට වර්ෂාව ඇද හැලීම කොදෙව් පිලේ පසුතැවිල්ලට හේතු වූවාට සැකයක් නැත.

ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය පමා කළ බොනර් නොදැවී ලකුණු 68ක් රැස් කළේ මිනිත්තු 273ක්ම කඩුල්ල ආරක්ෂා කරගනිමිනි. කොදෙව් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ෂැනොන් ගේබ්‍රියෙල් දවාගත් ඇඹුල්දෙණිය සිය කඩුලු 5 සම්පූර්ණ කළ අතර, එය ඔහු ටෙස්ට් ඉනිමක කඩුලු 5ක් දවාලූ පස්වැනි අවස්ථාව ලෙස සටහන් විය. ඔහුට නොදෙවැනි පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් කොදෙව් පිලේ කඩුලු 4ක් උදුරා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී අගනා ශතකයක් සහ දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් රැස් කළ නායක දිමුත් කරුණාරත්න විසිනි.

දෙපිල අතර දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය සඳුදා (29) වැනිදා ගාල්ලේදීම ආරම්භ වේ.

0 comment
0

Related Posts

Leave a Comment