Home ව්‍යාපාර පුවත් ඇඟලුම් ආදායම් වැඩි කිරීමට ජාතික වැඩපිළිවෙළක් ඕනෑ

ඇඟලුම් ආදායම් වැඩි කිරීමට ජාතික වැඩපිළිවෙළක් ඕනෑ

by Hela news

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ විධායක කමිටු සාමාජික හා ශ්‍රී ලංකා ඔමේගා ලයින් සමාගමේ සමූහ අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු

ඇඟලුම් ක්ෂේත්‍රය මෙරට ප්‍රමුඛතම කර්මාන්තයකි. රටට විදෙස් විනිමය ගෙන දෙන ප්‍රමුඛ අංශයකි. ශ්‍රමය මූලික කර ගෙන ඇති මේ ක්ෂේත්‍රයට කොවිඩ් 19 හේතුවෙන් අභියෝග රැසකට මුහුණදීමට සිදු විය. ඒ පිළිබඳත් ආර්ථිකය සවිමත් කරන ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉදිරි පියවර පිළිබඳත් සංවාදයක නිරත වූයේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ විධායක කමිටු සාමාජික හා ශ්‍රී ලංකා ඔමේගා ලයින් සමාගමේ සමූහ අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු මහතා සමඟිනි.

 කොවිඩ් 19 හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය අභියෝග රැසකට මුහුණ දී තිබුණා?

2020 මාර්තු වනවිට කොරෝනා හේතුවෙන් රටම වසාදැමූ අවස්ථාවේ මේ පිළිබඳ සෑම අංශයකටම තිබුණේ අඩු අත්දැකීම් ප්‍රමාණයක්. ඒ වනවිට අපගේ ආයතන බොහොමයක් ඇණවුම් දීම සඳහා ගිවිසුම්ගත වී තිබුණේ. ආයතන වසාදැමීම නිසා ඇණවුම් භාරදීමට නොහැකි වුණා. වසංගත තත්ත්වය ගෝලීය තත්ත්වයක් වීම නිසාම ඇණවුම් භාර නොදීම එතරම් විශාල ගැටලුවක් වුණේ නෑ. නමුත් මේ කර්මාන්ත වසා තිබියදීත් වැටුප් ගෙවමින් ආයතන නඩත්තු කිරීම ක්‍රමයෙන් අසීරු තත්ත්වයකට ළඟා වෙමින් තිබුණා. බොහෝ දෙනෙක් තත්ත්වය මැනවින් කළමනාකරණය කර ගත්තත් ඇතැම් කර්මාන්තකරුවන් අසීරු අඩියකට ළඟා වෙමින් සිටියා. එවැනි කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර කඩා නොවැටී ආරක්ෂා කර ගැනීමටත් අපි සංගමයක් ලෙස කටයුතු කළා. කෙසේ වෙතත් කඩිනමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කර්මාන්තශාලා විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා බලධාරීන් සමඟ අපි නිරන්තරයෙන් සාකච්ඡා කළා. ඒ සඳහා BOI ආයතනයේ මැදිහත්වීමත් වැදගත්වුණා. කර්මාන්ත ශාලා වසා නොදමා අඩු සේවක සංඛාවකින් හෝ කටයුතු කිරීමට අවස්ථාව උදා වුණේ ඉන් අනතුරුවයි. මේ අවස්ථාවේ අප මුහුණ පෑ ප්‍රධාන ගැටලුව වුණේ සේවකයන් ගෙන්වා ගැනීමයි. දුරබැහැර ගම් ප්‍රදේශවලට ගිය සේවකයන් ගෙන්වා ගැනීම වගේම ඇතැම් ප්‍රදේශවල නවාතැන් ගැනීමේ ගැටලු ඇතිවී තිබුණා. ආයතනය තුළ ඔවුන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර ඇති බවට විශ්වාසය ගොඩනැඟිය යුතු වුණා. සෞඛ්‍ය අංශ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් අනුව අපි ආයතන පරිශ්‍රයන් මුළුමනින්ම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සකස් කළා. අප⁣ උපදෙස් දුන්නේ යම් ශරීරික අපහසුතාවක් ඇත්නම් මානව සම්පත් කළමනාකරණ අංශය දැනුම්වත් කොට සේවයට නොපැමිණිය හැකි බවයි. එවැනි අයගේ අපහසුතාව අනුව ඇන්ටිජන් හෝ පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීම කඩිනමින් කෙරුණා.

සේවය සඳහා පැමිණෙන බස් රථයට නඟින අවස්ථාවේ සිටම අත් පිරිසුදු කර ගැනීම, මුව ආවරණ පැලඳීම කෙරෙහි මෙන්ම ශරීර උෂ්ණත්වය මැනීම පිළිබඳ අවධානය යොමු වුණා. ආයතන පරිශ්‍රයන්ට ඇතුළු වීමේදී, ආහාර ගැනීමේදී, සේවයෙහි නිරතව සිටින අවස්ථාවන්හිදි මේ ක්‍රියාවලිය දිනකට හතර පස් වතාවක් කෙරුණා. තමාගෙත් අන් අයගේත්, පවුලේ ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීම් දිගින් දිගටම වුණා. මේ නිසා මුලින් සේවයට වාර්තා කිරීම් ඉතා අඩු මට්ටමක පැවතියත් සේවක ⁣මහත්ම මහත්මීන්ගේ විශ්වාසය තහවුරු කිරීම මඟින් සේවයට ගෙන්වා ගැනීමට හැකි වුණා. මේ අවස්ථාවේ නිවෙස්වලින් පිටතට ගියේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ හා වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි. අපගේ සේවාව අත්‍යවශ්‍ය සේවයක් බවට පත් වුණා. මේ කර්මාන්තය පවත්වාගෙන යා හැක්කේ සේවක මහත්ම මහත්මීන් ආරක්ෂා කර ගතහොත් පමණයි. ඒ නිසාම ඒ වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගැනීමට ක්‍රියා කළා.

දෙවැනි තුන්වැනි රැලි අතරේ වුවත් කර්මාන්තය පවත්වා ගැනීමට හැකි වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව විද්‍යාත්මක ක්‍රමෝපායන් සඳහා මූලිකත්වය දීම නිසායි. අහඹු ලෙස කරන පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ, පළමු ආසාදිතයන්, දෙවැනි ආසාදිතයන් හඳුනා ගැනීම, ඔවුන් වෙන් කිරීමට කටයුතු කිරීම නිරන්තරයෙන් සිදු වුණා. ඒ නිසාම දරුණු ලෙස පැතිරුණු කොවිඩ් රැලි කිහිපයක් හමුවේ වුණත් කර්මාන්තය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යෑමට හැකි වුණා.

එන්තත්කරණයේදී ⁣ අපනයන හා නිෂ්පාදන කර්මාන්ත සඳහා ප්‍රමුඛතාව හිමි වුණා නේද?

මේ කාර්ය කළමනාකරණය කිරීමේදී ලොව අනෙකුත් රටවල් ගනු ලබන පියවර පිළිබඳ අපි නිරන්තර අවධානයෙන් පසු වුණා. ඒ අනුව අපගේ වියදමින් හෝ සේවක මහත්ම මහත්මීන්ට එන්නත් දීම සඳහා අනුමැතිය ගැනීමටත් ඒ සඳහා ක්‍රමවේදයක් සකසා ගැනීමටත් උත්සාහ කළා. කෙසේ වෙතත් එන්නත්කරණය ආරම්භ කිරීමෙන් අනතුරුව නිෂ්පාදන කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය ගැනීමට ඒ උත්සාහයන් බෙහෙවින් බලපෑවා. වයස් සීමා අනුව එන්නත්කරණය ක්‍රමානුකූලව වුණත් අප ආයතන තුළ වයස 18ට වැඩි සියලු දෙනාට ඉතා කෙටි කලකින් එන්නත් මාත්‍රා දෙකම දීමට හැකි වුණේ බලධාරීන් ඒ පිළිබඳ දැක්වූ සහයෝගය නිසයි. කෙසේ වෙතත් දිනපතා අප ආයතනවල සේවයට එක්වන (වයස18 -30 ) නවක සේවක සේවිකාවන්ටත් එන්නත දීමේ අවශ්‍යතාවක් පැනනැඟී තිබෙනවා. ඒ සඳහාත් සෞඛ්‍ය අංශවල සහාය ලැබේ යැයි අපේක්ෂා කරනවා. ඒ සඳහා සුදුසු ක්‍රමයක් සකස් කරන ලෙස අපි ඉල්ලීම් කර තිබෙනවා.

පසුගිය වකවානුවේ නාවුක හා ගුවන් ගමන් සීමා වීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්තයට බලපෑම් වූ බවට සඳහන් වුණා.?

ඇණවුම් ගත හැක්කේ ඒවා නියමිත වකවානුවට නැවත දීමෙන් පමණයි. පසුගිය මාස කිහිපය තුළ නාවුක කටයුතු අක්‍රිය වුණා. ඒ නිසාම ඇණවුම් යැවීම මෙන්ම අමුද්‍රව්‍ය ගෙන්වීම නිසි පරිදි කළ නොහැකි වුණා. බහාලුම් හිඟ වීමේ තත්ත්වයක් ඇති වුණා. වරාය රේගු වැනි ආයතන කටයුතු සංචරණ සීමා මෙන්ම රට වසා තැබීම හේතුවෙන් යම් පමණකින් අඩපණ වුණා. එම තත්ත්වය ක්‍රමයෙන් පහවෙමින් පවතිනවා.

වසර 40ක ඇඟලුම් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අප කර්මාන්තයේ නිපුණයෙක් නේද?

ඔවු නමුත් මේ ⁣ක්ෂේත්‍රයේ වැඩි අත්දැකීම් නැති බංග්ලාදේශය, වියට්නාමය වැනි රටවල් ඉන් ඔවුන්ගේ ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය වඩාත් ඉහළට වර්ධනය කරගෙන තිබෙනවා.

ලෝකයේ ඉහළින්ම ඇති සන්නාමයන් බොහොමයක් අපේ රටත් සමඟ ගිවිසුම්ගත වී කටයුතු කරනවා. බොහෝ අයට අසීරු ඇණවුම් අපි ඉතා මැනවින් නිෂ්පාදනය කරනවා. එවැනි නිෂ්පාදන සඳහා දෙන මිලත් ඉහළ අගයක්. සාක්ෂරතාවයෙන් යුතු හොඳ පුහුණු ශ්‍රමිකයන් සිටීම මීට හේතුවයි.⁣ කෙසේ වෙතත් අනෙකුත් රටවල්වලට සාපේක්ෂව අපේ කාන්තා ශ්‍රම දායකත්වය අඩු මට්ටමකයි පවතින්නේ. චීනය, ඉන්දියාව, වියට්නාමය වැනි රටවල කාන්තා ශ්‍රම දායකත්වය 50%ක් දක්වා වැඩි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ තවමත් එය 30% ක පමණ අගයක්. ශ්‍රමිකයන් ප්‍රමාණවත් නැති බව නිරන්තරයෙන් බලපාන ගැටලුවක්. එපමණක් නොවේ ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබඳ පවතින සමාජ ආකල්ප මෙන්ම මේ ක්ෂේත්‍රය සඳහා විදෙස් ආයෝජන ළඟා කර ගැනීම සඳහා ආකර්ෂණීය ක්‍රමවේද නැතිවීම නිසාම කඩිනම් වර්ධනයකට ළඟා වීමට අවස්ථාව අහිමිවී තිබෙනවා. ඒ සඳහා ජාතික වැඩපිළිවෙළක් සැකසිය යුතු වෙනවා. අප ආයතනවල වසර ගණනක් සේවය කරන පුහුණු ශ්‍රමිකයන් රජයේ රුකියා ලැබුණු බව පවසමින් අප දෙන වැටුපටත් වඩා අඩු වැටුපකට රෝහල් කම්කරු, උපස්ථායක, කාර්යාල කාර්ය සහායක වැනි රැකියාවලට යන අවස්ථා දැක තිබෙනවා. මෙවැනි ආකල්ප වෙනස් නොකොට කර්මාන්තය දියුණු කිරීම අසීරුයි. වියට්නාමයේ ජාතික ආර්ථිකයෙන් 30%කට වඩා ආවරණය වෙන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයෙන්. ඊට බලපෑ මූලික කරුණ ද්වි පාර්ශ්වික වෙළෙඳ ගිවිසුම්. කෙටි කාලයක් තුළ ලොව හොඳම වෙළෙඳපොළ සහිත රටවල් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් ඇති කර ගැනීම⁣ට එරට සමත් වුණා. ඒ නිසාම ආයෝජනය සඳහා දෙස් විදෙස් ආයෝජකයන් ඉදිරිපත්වී තිබුණා. එවැනි ද්විපාර්ශ්වීය ගිවිසුම් ඇති කර ගැනීම සඳහා යෝජනා තිබුණත් පසුගිය වකවානුවේ ඒවා අතර මඟ නැවතුනා. කර්මාන්තයෙන් ආදායම් ඉහළ දැමීමට නම් ජාතික වැඩපිළිවෙළක් සකසිය යුතු වෙනවා.

එරාවුර් රෙදි උද්‍යානය පිහිටුවීමට අපේක්ෂා කරන්නේ එවැනි වැඩපිළිවෙළක පියවරක් ලෙසද?

එරාවුර් රෙදි උද්‍යානය කලක සිට ඇඟලුම් ක්ෂේත්‍රයට අවශ්‍යව පැවති අංගයක්. අපනයන කර්මාන්තයක් වුවත් මහන මැෂින් වැනි යාන්ත්‍රික උපකරණවල සිට රෙදි, නූල්, බොත්තම් ආදි සියලු ආයිත්තම් ආනයනය කළ යුතු වෙනවා. අප ආනයනය කරන අමුද්‍රව්‍ය බොහොමයක් චීනය, වියට්නාමය, ඉන්දියාව වැනි රටවලින් ගන්නේ. නමුත් මේ ද්‍රව්‍ය අප රටෙන්ම ගැනීමට ක්‍රමයක් සැකසිය හැකි නම් එය වඩාත් වැදගත්. දැනට මූලික ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතින එරාවුර් රෙදි උද්‍යානයෙන් පිරිමැසීමට අපේක්ෂා කරන්නේ මේ අඩුවයි.

මෙහිදී කපු වවමින් රෙදි සැකසීම වැනි පරිසරයට දැඩි බලපෑමක් එල්ල වෙන අන්දමේ නිෂ්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීමක් සිදු නොවේවි. රෙදි ආනයනය කොට වර්ණ ගැන්වීම, නූල් ආනයනය කොට රෙදි විවීම වැනි අගය එකතු කරන ලද නිෂ්පාදන ක්‍රියාවලියක් පමණයි වෙන්නේ. කෙසේ වෙතත් සියලු අමුද්‍රව්‍ය පිටරටින් ඇණවුම් කිරීමට වඩා මෙවැනි ක්‍රමයක් සැකසීම කර්මාන්තයේ දියුණුවට මෙන්ම විදෙස් විනිමය ආරක්ෂා කර ගැනීමටත් හේතු වෙනවා.

2019දී ඇඟලුම ක්ෂේත්‍රයෙන් ජාතික ආදායමෙන් 5.4%ක් පමණ නියෝජනය වුණා. එය විදෙස් ඉපයීම්වලින් දෙවැනි ස්ථානය බවට පත්වුණා?

2020දී එය යම් අඩු වීමක් පැවතියත් මේ වසරේ 5%ක් ඉක්මවීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා. තත්ත්වය තවමත් සමනය වී නැහැ. රට විවෘත කිරීමත් සමඟම රෝගීන් වාර්තා වීම සුළු මට්ටමකින් වැඩිවී තිබෙනවා. තවමත් අපගේ සේවක සහභාගිත්වය 100% මට්⁣ටමක නැහැ. ඊට හේතුව නිරෝධායන ක්‍රියාවලි නිරන්තරයෙන් සිදු වීමයි. ආසාදිතයන් මෙන්ම පළමු පෙළ ආශ්‍රිතයන් දින 14ක් වෙන් කර තැබීමේ රෙගුලාසි තවමත් එපරිද්දෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. එවන් රෙගුලාසි තවදුරටත් ලිහිල් විය යුතු බවයි අපගේ යෝජනාව. සේවකයාගේ ආරක්ෂාව උපරිමයෙන් සලසමින් කර්මන්තය සුරක්ෂිතව ඉදිරියට ගෙන යෑමයි අප සැමගේ අපේක්ෂාව.

0 comment
0

Related Posts

Leave a Comment