Home කාලීන පුවත් ආහාර සුරැකීමේ ජාතික වගකීම

ආහාර සුරැකීමේ ජාතික වගකීම

by Hela news

අපේ මුතුන් මිත්තන්ට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ හසළ දැනුමක් පැවැති බවට කදිම නිදසුන් ඇත. ඒ අනුව සෑම නිවසකම පැවැති අටුව භවභෝගවලින් පිරී තිබුණි. එසේ අටුව භවභෝගවලින් පුරවා තිබුණේ ආහාර සුරක්ෂිතතාවයටයි. අපේ මුතුන් මිත්තන්ගේ සිට ආහාර සුරක්ෂිතතාවය මැනවින් හඳුනා ගෙන ජීවත් විය. අද නොව හෙට ගැන සිතූ ජාතියක් වශයෙන් පැහැදිලි ක්‍රමවත් සැලසුමක් අප සතුව පැවතුණේය.

ලෝකයම තිරසර සංවර්ධනය වෙනුවෙන් ඇප කැපවී ක්‍රියා කරති. එහි මූලික අභිමථාර්ථය වනුයේ අනාගත පරපුර වෙනුවෙන් යමක් ඉතිරි කිරීමයි. එහිදී පරිසරමය සාධක ජෛව විවිධත්වය, ගෝලීය උණුසුම ආදී කරුණු සාකච්ඡාවට බඳුන් විය. ඒවා කෙසේද ඉදිරි අනාගත පරපුර වෙනුවෙන් රැක ගන්නේ යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම, ක්‍රියාත්මක වීම තිරසර සංවර්ධනයේ සාධනීය ලක්ෂණයන්ය. එසේම ආහාර සුරක්ෂිතතාවය එහිදී සාකච්ඡාවට බඳුන් වූ තවත් ඉතාම වැදගත් මාතෘකාවකි.

විවිධ රටවල ආහාර වර්ග එකිනෙකට වෙනස්ය. ලෝකයේ විවිධ ආහාර වර්ගවලට මිනිසුන් මෙන්ම සත්වයන්ද පුරුදු වී සිටිති. මානව සමාජය ගත් කළ විවිධ ආගමික සංස්කෘතික සාධක මෙන්ම ආර්ථික සාධක මත මෙලෙස ආහාර පානවලට යොමුව ඇත. බුදුන් වහන්සේ පවා “සබ්බේ සත්තා අහරට්ඨිතිකා” යනුවෙන් වදාරා ඇත්තේ සියලු සතුන් ආහාරයෙන් යැපෙන බව අවධාරණය කරමිනි.

ඕනෑම සත්ත්වයකුට දරා ගැනීමට නොහැකි එකම දෙය කුසගින්නයි. සුදාගින්දර යනුවෙන් ද පවසන මේ ගින්දර බාල, තරුණ මහලු කිසිවකුට දරා ගැනීමට නොහැකි තත්වයකි. වර්තමාන ලෝකයේ දිළිඳුකම සමඟ බද්ද කරුණ කුසගින්නයි. මේ කුසගින්න සමඟ ළමයින් සැසඳීමේදී එහි අවසන් ප්‍රතිඵලය මන්දපෝෂණයයි. දිළිඳුකමින් මිරිකෙන අප්‍රිකානු රටවල් අතර සෝමාලියාව ඉහළ අගයක් ගත් රටකි. වර්තමානයේ ආර්ථික අතින් බංකොළොත් වූ හයිටි රාජ්‍යයේ වැසියන් කුසගින්න නිවා ගැනීමට පොළොවේ පස්වලින් හටගන්නා මැටිවලින් රොටි වර්ගයක් සාදා අනුභව කරන බව මාධ්‍ය මගින් දැන ගැනීමට පුළුවන් විය. ලෝකයේ සෑම මොහොතකම කුසගින්නෙන් මිය යන පිරිසක් සිටින බව නොරහසකි.

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ රටකි. වැවයි දාගැබයි ගමයි පන්සලයි යන ආර්ථික සාමාජික සංස්කෘතික වටාපිටාවකට උරුමකම් කියන ජාතියකි. මිනිසුන් සොබා දහම සමඟ ඉතාම සමීපව ජීවත් වූ බව ද නොරහසකි.

හිරුඑළිය, සුළඟ, වැස්ස මැනවින් හඳුනා ගත් අපේ මුතුන් මිත්තන් ඉතාම අරපරිස්සමෙන් අහසින් වැටෙන දිය බි‍ඳෙන් පවා වැඩ ගත්තේය. වාපි ශිෂ්ටාචාරයේ ආරම්භය ඇති වූයේ ඒ අයුරිනි. ගහකොළ සතා සිවුපාවුන් පවා මේ වාපි ශිෂ්ටාචාරයේ රැකවරණය ලබා ගත්තේය. අපේ රටේ ජීවත් වූ ජනයා කුසීතව අලසව සිටි ජාතියක් නොවූ බව ඉතිහාසයෙන් පැහැදිලිය. වෙර වීරියෙන් මහපොළොව සමඟ පොර බදා ඔවුන්ගේ බත සරිකරගත් ජාතියකි. අපේ මහපොළොවත් එසේමය.

බුදු දහමින් ලද ආභාසය

ඕනෑම භවභෝගයක් ඉතාම සශ්‍රීකව මේ පොළොවේ හට ගැනීම ද අප ලද තවත් ජයග්‍රහණයකි. නාස්තිය පිටුදැකීම ආර්ථික සංරක්ෂණය, ඉතිරි කිරීමේ පුරුද්ද මේ සියලු දේවල් බුදුදහමින් ලද ආභාෂයන්ය. සරල බව, චාම් බව, හැදියාව මේ සියලු ගුණාංග සමඟ ඔවුන් ජීවත් වූහ. වෙහෙර විහාර, පිළිම, දාගැබ් කලා නිර්මාණ ඔවුන්ගේ අතින් නිම වූ විශිෂ්ට කලා කෘතීන් වූහ. බත බුලතින් සරු ජාතියක් වශයෙන් ජීවත් වූ ඔවුහු නිරන්තරයෙන්ම අනාගත පරපුර ගැන සිතා කටයුතු කළ ජාතියකි. නොඑසේ නම් මහ මුහුද පරයා යන වැව් අමුණු පමණක් නොව වෙහෙර විහාර ද මේ අයුරින් ගොඩ නොනැගෙනු ඇත. සහල් සභ්‍යත්වය සහල් සංස්කෘතිය අපේකම රැක ගත්තේය. හේනේ පැලේ පැල් රකින ගොවියාගේ පාළුව කාන්සිය දුරු කර ගැනීමට ගැයූ කවි ගායනාවන් ජන ගී ජන ගායනාවන් බවට පත්විය. අපේ රටේ ආහාර හිඟයක් ඇති වූ යුගයක් ගැන ඉතිහාසයේ කියැවේ “බැමිනිටියාසාය” නම් ඒ සාගතය ඇති වූ අවස්ථාවේ අපේ රටේ භික්ෂුන් වහන්සේලා පවා කරකොළ ආහාරයට ගත් බව සඳහන් වේ.

අපේ මුතුන් මිත්තන්ට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ හසළ දැනුමක් පැවැති බවට කදිම නිදසුන් ඇත. ඒ අනුව සෑම නිවසකම පැවැති අටුව භවභෝගවලින් පිරී තිබුණි. එසේ අටුව භවභෝගවලින් පුරවා තිබුණේ ආහාර සුරක්ෂිතතාවයටයි. අපේ මුතුන් මිත්තන්ගේ සිට ආහාර සුරක්ෂිතතාවය මැනවින් හඳුනා ගෙන ජීවත් විය. අද නොව හෙට ගැන සිතූ ජාතියක් වශයෙන් පැහැදිලි ක්‍රමවත් සැලසුමක් අප සතුව පැවතුණේය.

වර්තමානයේ ආහාර සුරක්ෂිතතාවය යනු ආහාර නිසා ඇති වන රෝග සහ ආබාධ වැළැක්වීම සඳහා ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම සකස් කිරීම සහ පරිභෝජනය අතරතුර ඇති ආරක්ෂාවයි. ගොවිපොළේ සිට කර්මාන්තශාලා දක්වාත් පසුව පාරිභෝගිකයාගේ මේසය දක්වාත් ආහාර නිෂ්පාදන සැපයුම්දාමය හරහා ගමන් කරනවිට විවිධ සෞඛ්‍ය උපද්‍රවයන්වලට මුහුණ දෙයි. මෙම අවදානම වළක්වා ගැනීම සහ පාරිභෝගිකයින්ට හානියක් නොවන බව සහතික කිරීම සඳහා ආහාර නිෂ්පාදන ජීවන චක්‍රයේ සෑම අදියරකදීම ආරක්ෂිත ආහාර සැකසුම් නිර්ණායකයන් අනුගමනය කිරීම් අවශ්‍ය වේ. ආහාර සුරක්ෂිතතාවය විද්‍යාත්මක විනයක් ලෙස සලකන අතර, රසායන විද්‍යාව, ක්ෂුද්‍ර ජීව විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව ඇතුළු විවිධ අධ්‍යයන ක්ෂේත්‍රයන් මෙයට උකහාගෙන ඇත.

ආහාර සැකසුම් ආරක්ෂාව

ආහාර නිෂ්පාදනය සැපයීම, සකස් කිරීම ගබඩා කිරීම හෝ පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කරන ඕනෑම තැනක ආහාර සැකසුම් ආරක්ෂාව අවශ්‍ය වේ. මේ අරුතින් ගත් කළ ආහාර සුරක්ෂිතතාවය යනු සෑම අංශයකින්ම ගෝලීය ආහාර කර්මාන්තය ගැන සැලකිලිමත් වන පද්ධතිමය සනීපාරක්ෂාව සහ වගකීම සහිත ප්‍රවේශයකි. ආහාර ද්‍රව්‍ය වෙළෙඳාම ගෝලීය පරිමාණයෙන් සිදුවේ. ලෝක ජනගහනය අඛණ්ඩව ඉහළ යන අතර, සෑම වසරකම වෙළෙඳ පොළ වඩාත් ගෝලීයකරණය වෙමින් පවතී. මීට සමගාමීව ගෝලීය ආහාර සැපයුම් දාමය ප්‍රමාණය හා සංකීර්ණත්වය අනුව අඛණ්ඩව පුළුල් වේ. මේ සම්බන්ධයෙන් ගත් කළ ආහාර විශාල වශයෙන් නිෂ්පාදනයට හා බෙදා හැරීමට බලපාන ‍ෙමම ප්‍රවණතාව හේතුවෙන් ආහාර සුරක්ෂිතතාවයට අනුකූල වීම වඩ වඩාත් වැදගත් වී තිබේ. රටින් රටට ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් නිර්වචනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ නියාමන මූලධර්ම සහ අධීක්ෂණ ආයතන තිබේ. ආහාර සුරක්ෂිතතාවය සඳහා එම රටේ නීති රීති භාවිතයන්ට යටත්ව ඕනෑම රටක නිෂ්පාදන නිෂ්පාදනය කිරීම හෝ විකිණීම කළ යුතුය. අද වනවිට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ලොව පුරා නීතිමය රෙගුලාසි ප්‍රධාන වශයෙන් සංකල්ප දෙකක් මත පදනම් වේ.

තත්ත්ව සහතික

(HACCP, උපද්‍රව විශ්ලේෂණය සහ විවේචනාත්මක පාලන ලක්ෂ්‍යයන්) සහ හොඳ නිෂ්පාදන පිළිවෙත් GMP, හොඳ නිෂ්පාදන (HACCP) යනු නිෂ්පාදන ඇසුරුම් සහ බෙදාහැරීම් සහ බෙදාහැරීමේ පරිසරයන්හී ආහාර ද්‍රව්‍යවල ජීව විද්‍යාත්මක, රසායනික හා භෞතික දූෂණය වැළැක්වීම සඳහා පද්ධතිමය හා අවදානම් පදනම් කරගත් ප්‍රවේශයකි. මෙම ප්‍රවේශය සැලසුම් කොට ඇත්තේ සෞඛ්‍ය අවධානයට ලක් වී ආහාර සුරක්ෂිතතා ගැටලු ඇතිවීමට පෙර හඳුනා ගැනීමටය. HACCP ක්‍රියාත්මක කිරීම සඳහා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධාන කරුණු ගණනාවක අපවිත්‍ර ද්‍රව්‍ය පාලනය කිරීම සහ අවසානය දක්වා සනීපාරක්ෂක පිළිවෙත අනුගමනය කිරීම් අවශ්‍ය වේ. හොඳ නිෂ්පාදන පිළිවෙත (ජී.එම්.පී.) සමන්විත වන්නේ ආහාරපාන, ආලේපන ඖෂධ, පෝෂණ අතිරේක සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව සහතික කිරීමේ නිර්ණායකයන්ගෙන්ය. මෙම නිර්ණායකයන් නිෂ්පාදකයන් විසින් ක්‍රියාවට නැංවිය යුතුය. ඔවුන්ගේ නිෂ්පාදන ස්ථාවර ගුණාත්මක බවින් යුක්ත විය යුතුය. තීරණාත්මක පාලන ස්ථානවල අනිවාර්ය නිෂ්පාදන පරීක්ෂාව ඇතුළුව කණ්ඩායමෙන් කණ්ඩායමට මිනිස් පරිභෝජනය සඳහා ආරක්ෂිත විය යුතු බව අවධාරණය කොට ඇත. ආහාර සුරක්ෂිතතාවය පද්ධතිය (FSS, ආහාර සුරක්ෂිතතා ප්‍රමිති) මෙම මූලික සංකල්ප දෙක මත ගොඩ නගා ඇත.

ලෝක ආහාර සහ කෘෂි කර්මාන්ත සංවිධානයට අනුව ලොව සමස්ත ජනගහනයෙන් 8% ක් එනම් මිලියන 690 ක පමණ ජනතාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ඇස්තමේන්තු කර ඇත. නමුත් කනගාටුවට කරුණ වන්නේ වර්තමානයේ ඉතා ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී ඇති දේශගුණික විපර්යාසයන් සහ කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ මෙම ප්‍රමාණය ඉතා ඉහළ අගයක් දක්වා වර්ධනය වීමයි. මෙනිසා මේ සඳහා පෙරට වඩා ඉහළ ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බව ඉතා පැහැදිලිය. දේශගුණික විපර්යාස සහ ආහාර සුරක්ෂිතතාවය අද වනවිට ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ ඒ නිසාය.

0 comment
0

Related Posts

Leave a Comment