Home දේශීය පුවත් ආර්ථිකය තර කරන්න ප්‍රදේශීය-දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්ත කලාප 200ක් ප්‍රතිපාදන වෙන් කර ඇතැයි මුදල් ඇමැති පවසයි

ආර්ථිකය තර කරන්න ප්‍රදේශීය-දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්ත කලාප 200ක් ප්‍රතිපාදන වෙන් කර ඇතැයි මුදල් ඇමැති පවසයි

by Hela news

රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින් ප්‍රදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් නව කර්මාන්ත කලාප 200ක් ආරම්භ කිරීමට ආණ්ඩුව සැරසෙයි. එක් ආසනයකට එක් කලාපයක් හෝ බැගින් මේ කලාප ස්ථාපිත කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයට මුදල් වෙන් කර ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.  මේ වෙනුවෙන් හඳුනාගත් අංශ කිහිපයක් තිබෙන බවත් ඇතැම් කර්මාන්ත කලාපවල දැනටමත් ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඇති බවත් රාජපක්ෂ මහතා පවසා සිටියේය.

ඇමැතිවරයා මේ බව පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පෙරේදා පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2022 අයවැය සමාලෝචනය කරමින් සමස්ත ආර්ථිකයේ ඉදිරි ගමන්මඟ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුම්වත් කිරීමට මේ මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවසීය.

“අයවැය යෝජනාවේදී මට කියවන්න බැරි වුණාට අපි ඇතුළත් කරලා තිබුණු වැදගත් කරුණක් තියෙනවා. ඒ නව නිෂ්පාදන ආයෝජන කලාප. අපි හා සමාන රටවල් ශීඝ්‍රයෙන් දියුණු වුණේ නව නිෂ්පාදන භාණ්ඩ අපනයන වෙළෙඳපොළට යැවීම තුළින්. ඒ තුළින් රැකියාත් විදේශ විනිමයත් දෙකම උපයා ගත්තා. ඒ නිසා අපි හඳුනාගත් අංශ කිහිපයක නව නිෂ්පාදන ආයෝජන කලාප ඇති කරනවා. කාබනික පොහොර නිෂ්පාදනය, ඖෂධ නිෂ්පාදනය, රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය, රබර් ආශ්‍රිත නිෂ්පාදනය, කෘෂිකාර්මික උපකරණ හා පසුසම්පත් නිෂ්පාදනය, ධීවර හා ජලජීවී නිෂ්පාදනය, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය, ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය ඒ අතර වෙනවා. මෙහිදී ඖෂධ නිෂ්පාදනය කරන්න ඔයාමඩුව, මිල්ලණිය, හම්බන්තොට ප්‍රදේශවල කලාප තුනක් ඇති කරනවා.

“රෙදිපිළි ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න එරාවූර්, පුත්තලම, ඉරණවිල, කිලිනොච්චිය හා මොනරාගල යන ප්‍රදේශවල කලාප ඇති කරනවා. අපනයන කෘෂිකර්ම සැකසුම් කලාප මත්තල, ඇල්පිටිය, හම්බන්තොට හා යාපනයේ ඇති කරමින් මේ රටේ වෙළෙඳපොළට නොයන ආකාරයට සීමිත බල ප්‍රදේශයක නිෂ්පාදන විදේශයන්ගෙන් ගෙන්වා ඒවා වැඩිදියුණු කොට අපනයනය කිරීමට අපේක්ෂා කරනවා. ධීවර හා ජලජීවී නිෂ්පාදන කලාප ලෙස පුත්තලම හා මන්නාරම, හම්බන්තොට, යාපනය, කොක්කඩිචෝලේ ප්‍රදේශ හඳුනාගෙන තිබෙනවා. රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වෙනුවෙන් පරන්තන්, පුල්මුඩේ, එප්පාවල තෝරාගෙන තිබෙන අතර විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සහ තොරතුරු තාක්ෂණ ආයෝජන කලාප වශයෙන් හේනේගම, සූරියවැව සහ කුණ්ඩසාලය, හෝමාගම තෝරාගෙන තිබෙනවා. ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය වෙනුවෙන් හම්බන්තොට, සූරියවැව ආරම්භ කරන්නත් වානේ හා බැර කර්මාන්ත මිරිජ්ජවිල ආරම්භ කරන්නත් පියවර ගෙන තිබෙනවා. මෙලෙස විශේෂ ආයෝජන කලාප ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

“ඊට අමතරව ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් කර්මාන්ත කලාප ආසනයට එකක් හෝ බැඟින් කලාප 200ක් ආරම්භ කිරීමට කර්මාන්ත අමාත්‍යාංශයට මුදල් වෙන් කර තිබෙනවා. එහිදී ඉඩම් ලබාගෙන ඊට අවශ්‍ය ප්‍රවේශය සකස් කිරීම ද එයින් අපේක්ෂා කරනවා. මහා පරිමාණයේ කලාප ඇති කරන්න ද පියවර ගෙන තිබෙනවා. මේ තුළින් කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට කරදරයක් නැතිව පරිසර හිතකාමී ලෙස මේ කර්මාන්ත ආරම්භ කරන්න හැකියාව ලැබෙනවා.

“පසුගිය වසරේ හඳුන්වාදුන් බදු ප්‍රතිපත්තියේ ලොකු වෙනසක් නොකර ඒ ප්‍රතිපත්තියේම සිටිය යුතුයි කියා සඳහන් වුණා. ඒ ක්‍රමයට අවමය අවුරුදු තුනක් හෝ සිටිය යුතුයි කිව්වා. ජනතාවගේ ජීවන සැලසුම් පවා ඒ තුළින් සැලසුම් කරන්න පුළුවන් වෙනවා. ඒ වෙනුවෙන් නීති කෙටුම්පත් කරන්න අවශ්‍ය වුණා. ඒ අනුව සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීම තමයි 2022 වසරේ ජනවාරි මාසයේ සිට කරන්නේ. ඒ තුළින් අපි වෙනසක් නොකර එකම ප්‍රතිපත්තියේ රඳා පවතින බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. බදු අය කර ගන්නා ක්‍රමයන් අපි එහි සඳහන් කර තිබෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු අය කරන්නේ නෑ.”

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ද මේ අවස්ථාවට එක් වී සිටියේය.

0 comment
0

Related Posts

Leave a Comment